(සුජිත් හේවාජුලිගේ )

අගමැතිනී හරිනි අමරසූරිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි යන මහත්ම මහත්මීන්ට විරුද්ධව ළඟදීම විශ්වාසභංග යෝජනා බාරදීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.

මුල්ම විශ්වාසභංගය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන 18 වැනිදා කතානායකවරයාට බාරදීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

එම විශ්වාසභංගයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම 17 වැනිදා ආරම්භ කරන බව පැවසූ මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරගෙන යන බවද සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම පදනම් කරගෙන අගමැතිනියට එරෙහිවද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සහ විවිධ දූෂණ චෝදනා පදනම් කරගෙන කතානායකවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට සාධාරණ කාලයක් ලබා නොදෙන නරක තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.

මෙම විශ්වාසභංග සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දැනටමත් නීති උපදෙස්ද ලබාගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය