(ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)

හිටපු කතානායක අසෝක සපුමල් රන්වලට මහර මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වරෙන්තු නිකුත් කළේය.

හෙයියන්තුඩුව , දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය  හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා තිබෙන නඩුව ඉකුත් සිකුරාදා කැඳවූ අවස්ථාවේ  අසෝක සපුමල් රන්වල මහතා අධිකරණයට නොපැමිණි හෙයින් ඔහුට වරෙන්තු නිකුත් කෙළේය.

මෙදින සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ද අධිකරණයේ ගොනු කරනු ලැබීය.

මේ අනුව අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව රිය අනතුරක් වළක්වා නොගැනීම , අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම , බරපතල තුවාල සිදු කිරීම , සුලු තුවාල සිදු කිරීම හා ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා ගොනු කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවු ජීප්රථය මෝටර් රථයක හා යතුරු පැදියක ගැටීමෙන් මේ රිය අනතුර සිදුවු අතර එහිදී මෝටර් රථයේ ගමන් කළ එකම පවුලේ මව , මාස හතක් පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුහ.

එහි වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වන දිනට කල් තැබීය.