(යොහාන් භාසුර)
පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය  ආයතන ලබන වසරේ (2022) විශේෂ ප්‍රගතියක් ලබාගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය.
වර්තමානයේ පාඩු ලබන ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කර ගැනීම කෙරෙහි සියලු නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අභියෝගාත්මක කාලයේ  වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය  තීරණ ගෙන නීත්‍යානුකූලව අදාල කාර්යයන් නිසිපරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ද කීය.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ආයතන අතර සහයෝගයෙන් කරන ව්‍යාපෘතිවලදී එය අවසන් කිරීම සඳහා සියලු ආයතනවල සහයෝගය ලබාදීම වැදගත්, වෙළඳපොලේ ටයිල් හිඟයක් ඇති වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සිමෙන්ති සහ යකඩ හිඟවීමකින් තොරව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි.
ඉදිකිරීම් සඳහා ආනයන කරන අමුද්‍රව්‍යවල තත්ත්වය නිවැරදි විය යුතුයි. නිවැරදි තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟපෙන්වීම වැදගත්. පසුගිය යහපාලන රජය ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙළ සමඟ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වය දක්වා පැමිණෙමින් තිබෙනවා”
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය  කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී අරමුණ පැහැදිලි කළ අතර එම අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වර්තමාන සමස්ත ප්‍රගතිය ඉදිරිපත් කළේය.