(සුජිත් හේවාජුලිගේ )

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ලැබුණු පෙත්සම් 70ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලිණ.

මේ අතර විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකේදී වෙනත් ගමන් බිමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

එසේම එම දිනවල විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙසටද වැඩිදුරටත් දන්වා ඇත.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා බ්‍රහස්පතින්දා තීරණය කළේය.