(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.

එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සඳහා දායක කර ගැනීමට නියමිතය.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.