(අංජුල මහික වීරරත්න)

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 300කට ආසන්න මූල්‍ය පිරිවැයකින් ස්ථාපිත කරන ලද සිව්වන හෘද කැතීටකරණ රසායනාගාරය (Cardiac Catheterization Laboratory – Cath Lab) ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි.

නව රසායනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සිදුකළ පළමු කිරීටක ධමනි රූපගත කිරීමේ පරීක්ෂණයේදී (Coronary Angiography) හඳුනාගත් ධමනි අවහිරතාවකට අදාළව ස්ටෙන්ට් බද්ධ කිරීමේ ප්‍රතිකාරය (Coronary Stenting) ද සාර්ථකව සිදුකර තිබේ. ඒ අනුව, රසායනාගාරය විවෘත කළ දිනයේදීම රෝගියෙකුට අවශ්‍ය විශේෂඥ හෘද ප්‍රතිකාර ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.

සිව්වන හෘද කැතීටකරණ රසායනාගාරය ද ප්‍රතිකාර සේවාවට එක්වීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ දෛනික ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මීට පෙර දිනකට සිදුකළ පරීක්ෂණ 20ක පමණ සංඛ්‍යාව මේ වන විට දිනකට පරීක්ෂණ 60ක් දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇත.

මෙම රසායනාගාරය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් සපයා තිබේ.

ඒ අනුව, මෙම වර්ෂය තුළදී කොළඹ ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාර තුනක්, මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාරයක්, ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාර ද්විත්වයක්, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහ යාපනය ශික්ෂණ රෝහලේ එක් රසායනාගාරය බැගින් ද මේ වන විට ස්ථාපිත කර ප්‍රතිකාර සේවාවන් ආරම්භ කර ඇත. එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාරය මේ වන විට ස්ථාපිත කෙරෙමින් පවතින අතර, එය ලබන මාසයේදී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිතය.