IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


රටකට සිස්ටම් ඕනෑ ඇයි?

රටේ පවත්නා අර්බුද විසඳා රට ගොඩනගන්නේ කෙසේදැයි ප්‍රකට ව්‍යවසායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- ජනපති සිහිනයේ සිටින කෙනකු හැටියට අද රටේ තත්වය සම්බන්ධයෙන් ඔබගේ කියවීම කුමක්ද?

පිළිතුර:- සිහිනයක් නොවෙයි. මම සාමාන්‍යයෙන් සිහින දකින්නේ දවල්ට. දවල්ට දකින ඒ ඒ සෑම සිහිනයකටම යන්න පුළුවන් මාර්ගයක් තිබෙනවා. ජනපති ධුරයට පත්වන්නේ මහජන ඡන්දෙන්. එනිසා ඒක තිබෙන්නේ ජනතාවගේ අතේ මිසක් තමන්ගේ අතේ නෙමෙයි. මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.

ජනතාව බඩගින්නේ සිටීම අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන අභියෝගය තිබෙනවා. මේ රට තිබෙන්නේ ඇනලොග් යුගයක. අච්චර මෙච්චර වගා කරනව කිව්වට කොහේවත් දත්ත නැහැ. ඒත් අද ඉන්දියාවේ තිබෙන කුඹුරු ප්‍රමාණය, අඟල් පහක වැවී ඇති ගොයම් කොච්චර තිබෙනවද යනාදී සියල්ල සැටලයිට් තාක්ෂණයෙන් සොයා ගන්න පුළුවන්. ඉතිරි බෝගවල තත්වයත් එයයි. මේ රට ඩිජිටල් කරනකම්, ඩිජිටල් ගැන දන්න ජනපතිවරයකු පත්වෙනකම් මේ ප්‍රශ්න මෙහෙමම තියේවි. ජනතාවගේ බඩගින්න නිවන්න පුළුවන් වෙන්නෙත් ඒ ක්‍රමයට විතරයි. හරියටම දුප්පතා තෝරාගෙන නගා සිටුවන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් තාක්ෂණයෙන් පමණයි. මේවා කළ වෙනත් රටවල් සාර්ථක වී තිබෙනවා. ජනතාවට ගමනක් බිමනක් යන්න සල්ලි නෑ. ඕන නම් මේ සියල්ලටම විසඳුම් මම ගාව තිබෙනවා.

 

ප්‍රශ්නය:- ආර්ථික අර්බුදය උග්‍රයි. මේ අර්බුදය විසඳන්න තරම් ශක්තියක් ඔබට තිබෙනවද?

පිළිතුර:- දැන් රටේ මුදල් නැහැ. මුදල් නැතුව ආර්ථික අර්බුදය විසඳන්නේ කොහොමද කියලයි ප්‍රශ්නය වෙන්නේ. ආර්ථික අර්බුදයකදී මුල්ම කරුණ රැකී රක්ෂා උත්පාදනය කිරීමයි. තාමත් මේ රටේ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් ගෙවන්නේ ලක්ෂ 24ටයි. මේ ලක්ෂ 24කින් ලක්ෂ 220ක් ගොඩදාන්න බැහැ. මේ ගණන අඩුම තරමේ ලක්ෂ 40ක් වත් කළ යුතුයි. ඒකට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. කෘෂිකර්මාන්තය, කර්මාන්තය, සේවා අංශ ආර්ථිකය හැටියට පාසලේදී ඉගෙන ගත්තද ඇත්තටම එහි අංශ 49ක් තිබෙනවා. ආර්ථිකය ගොඩගන්න පුළුවන් මේ අංශ 49යම දියුණු කළොත් විතරයි. ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන කාරණය රැකී රක්ෂා උත්පාදනයයි. බලයට ඇවිත් නෙමෙයි මම මේ වනවිට අයි.ටී. ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 10ක් ඇති කරන්න කැම්පස් 121ක් රට පුරා විවෘත කර තිබෙනවා. රටේ තුනෙන් එකකට මේ වනවිට මම විසඳුම් ලබාදී තිබෙනවා. මේ කැම්පස්වලට ළමයි 110,000ක් එනවා. තවත් 120,000 ඔන්ලයින් හරහා ඉගෙන ගන්නවා. අද වනවිට ළමයි 230,000ක් අයි.ටී. ඉගෙන ගනිමින් සිටිනවා. මේවායේ ඉගෙන ගන්නා අය ඩී.සී. සිලිකන් වැලි අයි.ටී. ඔෆිස්වල රැකියා කරනවා. තිස්ස, අම්පාර, ඌරුබොක්ක, හාතගල යන ප්‍රදේශවල ඒවා පිහිටුවා තිබෙනවා. ඉදිරි මාසහයේදී මෙවැනි ඔෆිස් 20ක් රටපුරා ඇති කරනවා. තනි පුද්ගලයකුගේ මුදලින් මේ සියල්ල කරන්න බැහැ. රජයටත් වුවමනාවක් තියෙන්න ඕන. තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගත්තොත් ඉලක්ක සපුරා ගන්න අමාරු නැහැ.

 

ප්‍රශ්නය:- ඔබ කියන්නේ මේ රටේ ප්‍රශ්නය අධ්‍යාපනයෙන් විසඳන්න පුළුවන් කියලද?

පිළිතුර:- අද තිබෙන ප්‍රශ්නයට විසඳුම රස්සා හදන ක්‍රමයක්. හැබැයි හෙට තිබෙන ප්‍රශ්නයට උත්තරේ අධ්‍යාපනය. රස්සාවේ ස්වභාවය අනුව ආර්ථිකයේ වර්ධනය තීරණය වෙනවා. රැකියා කීයක් අලුතෙන් හැදුනද කියා ඇමරිකාවේ පවා සතිපතා සොයනවා. චීනය සෑම මාසයකම මේ කටයුත්ත කරනවා. සිංගප්පූරුවේ අලිඛිත නීතියක් තිබෙනවා. උපදින සෑම ළමයි 100කගෙන් 90ක් එක්කො උපාධියක් ගත යුතුයි. නැතිනම් වෘත්තීය පුහුණු සුදුසුකම් තිබිය යුතුයි. ළමයින්ට බලෙන් හෝ උගන්වන ආකාරයට සිංගප්පූරු රජය කටයුතු කරනවා. ළමයි ඕලෙවල් ෆේල් වෙන්නේ ඇයි කියා අපි අද වෙනතුරු සොයා බලා නැහැ. මේ සියල්ල බැඳී තිබෙන්නේ දුප්පත්කමත් සමගයි. ඩිජිටල් ක්‍රමයට මේවා අධීක්ෂණය කර කටයුතු නොකළොත් මේ රට කවදාවත් ගොඩ එන්නේ නැහැ. ගමට සල්ලි යන්නේ නැත්නම් මේ ආර්ථිකය දියුණු වෙන්නෙම නැහැ. කුඩා ව්‍යාපාර දියුණු වෙන්න නම් ගමේ සල්ලි තියෙන්නම ඕන.

 

ප්‍රශ්නය:- ඔය මොනවා කිව්වත් අද ජනතාව වේලක් හැර වේලක් කන බව රහසක් නෙමෙයි. මෙතැනින් ඔවුන් මුදාගන්නේ කොහොමද?

පිළිතුර:- මූලිකවම ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ යුතු වෙනවා. කුස්සියට වැදී ඇති බදු අයින් කරන්නම වෙනවා. ගෑස් එකේ වැට් එකේ ඉඳලම මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. සමෘද්ධියෙන් ලැබෙන මුදල පවුලකට හාල් ටික ගන්නවත් ප්‍රමාණවත් නෑ. අඩුම තරමේ හාල් කිලෝ දහයක්හරි දුප්පත්ම පවුල්වලට දිය යුතු වෙනවා. සෑම ආගමික සිද්ධස්ථානයකම පොදු මුළුතැන් ගෙයක් තිබිය යුතු බවත්, එහි වියදමින් සියයට 50ක් ආණ්ඩුවෙන් දිය යුතු බවත් මගේ යෝජනාවේ කියා තිබෙනවා.

 

ප්‍රශ්නය:- දේශීය ආර්ථිකයක්, මේ රටේ අර්බුදයට විසඳුම බව එක් කොටසක් කියනවා. එහෙම නම් ඇත්ත විසඳුම දේශීය ආර්ථිකයක් ගොඩනැංවීමද?

පිළිතුර:- දේශීය ආර්ථිකයෙන් කරන්න පුළුවන් එක කොටසයි. පරිප්පු ඇටයේ සිට ආනයනය කරන සියල්ලට ඩොලර් අවශ්‍යයි. ආර්ථිකය දියුණු වෙන්නේ රට ඇතුළට ඩොලර් ගෙනෙන ප්‍රමාණය අනුවයි. ඒ අනුව ඔය කියන කතාව බිඳ වැටෙනවා. උදාහරණයක් ගත්තොත් තව ඩොලර් බිලියනයක් තිබෙනවා නම් වාහන ආනයනයට ඉඩ දෙන්න පුළුවන්. ඒ වාහන ගෙනාවොත් රු බිලියන 330ක් රටේ ආර්ථිකයට එකතු වෙනවා. පනවා තිබෙන වැට් බද්දේ ආදායම රු. බිලියන 77යි. වාහන ආනයනයට ඩොලර් බිලියනයක් තිබෙනවා නම් වැට් එක සියයට හතරකින් අඩු කරන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- විදේශ ආයෝජන රටට ඩොලර් ගෙනෙන ප්‍රධාන මාර්ගය වුවත් ලංකාව සිටින්නේ පහළ තැනක. විදේශ ආයෝජන ආකර්ශනය කර ගන්නා මඟ කුමක්ද?

පිළිතුර:- අල්ලපු රටේ බිලියන 1.4ක ජනතාවක් සිටිනවා. සෑම විදේශ ආයෝජකයෙක්ම යන්න කැමැති ඉන්දියාවට. මේ රටේ ඉන්නේ මිලියන 22යි. කොටසක් රටට විකුණන්නත්, අනෙක් ටික අපනයනය කරන්නයි ගත්තොත් ආයෝජකයන් කැමැති වැඩි ජනතාවක් ඉන්න තැනටයි. දේශපාලකයන් නිතරම නීති වෙනස් කරන නිසා ආයෝජකයන් මේ රටට එන්න කැමැති නැහැ. වෙනත් රටවල දෙන පහසුකම් සහ බදු සහන දෙන්නේ නැතිනම් ආයෝජකයන් මේ රටට එන්නේ නැහැ. ඩොලර් බිලියනයක ආයෝජන ආවා කියන්නේ පැරැණි ගිවිසුම් අනුව පැමිණි ආයෝජනයි. අලුත් ගිවිසුම් ඇත්තෙම නැහැ. 2018 සිට අත්සන් කළ අලුත් ගිවිසුම්වලින් 2022 ට පැමිණියේ ඩො.මි. 37ක ආයෝජන පමණයි. තිබෙන නීති වෙනස් කර ආයෝජනවලට ඉඩ දෙනකම් අලුත් ආයෝජන එන එකක් නැහැ. අනික මේ රටට අමුද්‍රව්‍යත් ආනයනය කරන්න වෙනවා. එනිසා ඒවා තිබෙන තැනට ආයෝජකයන් යනවා.

 

ප්‍රශ්නය:- අපනයනවලිනුත් රට තිබෙන්නේ පහළ තැනක. අප සමග සම මට්ටමේ සිටි වියට්නාමය ආදී රටවල් අපට වඩා ගව් ගණනක් දුර ගිහින්. අපට වැරැදුණේ කොතැනද?

පිළිතුර:- අඩුවට විදුලිය දෙන්න සාම්පූර් බලාගාරය හදන්න යද්දී මිනිස්සු උසාවි යනවා. උමා ඔය ව්‍යාපෘතියට උද්ඝෝෂණ කළා. මේවායේ ප්‍රතිඵලයක් හැටියට අනෙක් රටවලට වඩා අපේ විදුලි මිල අති ඉහළයි. නව තාක්ෂණය ගෙනෙන ආයෝජකයෙක් මුලින්ම බලන්නේ විදුලියට පවතින මිලයි. නිතරම විදුලි මිල වැඩි වෙනවා. මේ රටේ තිබෙන නිවාඩු ගණන තව ප්‍රශ්නයක්. උද්ඝෝෂණ, වැඩ වර්ජන, වෘත්තීය සමිති හැසිරෙන ආකාරය බැලුවාම ආයෝජකයෙක් මේ රටට පැමිණිය යුත්තේ ඇයි? වියට්නාමයේ විදුලි මිල, ඉන්දියාවේ විදුලි මිල, ඒ රටවල නිවාඩු දවස් කීයක් තිබෙනවද ඒ රටවල වෘත්තීය සමිති හැසිරෙන්නේ කොහොමද යනාදිය ඔය ප්‍රශ්නයේදී සලකා බැලිය යුතුයි. යම් භාණ්ඩයක් අපනයනය කරන්න පුළුවන් කොළඹ වරායෙන් විතරයි. මේ නිසා යාපනයේ ෆැක්ටරියක් අරින්න කාටවත් බැහැ මොකද ඒ නිෂ්පාදනය කොළඹට ගේන්න විශාල වියදමක් දරන්න වෙනවා. රටේ හැම තැනම ව්‍යපාර කරන්න පුළුවන් පරිසරයක් මේ රටේ නැහැ. ඒ පරිසරය නැතිව රටක් දියුණු වෙන්නේ නැහැ.

 

ප්‍රශ්නය:- ඩොලර් බිලියන 58කට එහා ගිය ණය කන්දක රට හිරවී තිබෙනවා. මේසා විශාල ණය බරකින් රට නිදහස් කළ හැකිද?

පිළිතුර:- ප්‍රශ්නය ණය බර නෙමෙයි. ඒ අය බලාපොරොත්තු වෙන්නෙ පොලියයි. එනිසා තියෙන්න ඕන පොලිය ගෙවීමේ හැකියාවයි. ඒ පොලිය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය සොයාගත යුතුයි. රටක ආර්ථිකය වර්ධනය වෙනව නම් රට ඇතුළේ ඕන තරම් ඩොලර් තිබෙනවා. 2014දී අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3800යි. අවුරුදු අටකට පස්සේ ඒ ගණන ඩොලර් 3620යි. අඩුවෙලා. අවුරුදු අටක් තිස්සේ පවුලක ආදායම අඩු වුණොත් ඒ පවුල බංකොලොත් වෙනවා. රටේ ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රශ්නයකට මගේ ළඟ උත්තර තිබෙනවා. මේවා ගොඩක් සල්ලි වියදම්වන උත්තරත් නෙමෙයි. මොකද මේ වෙලාවේ රටේ ගොඩක් සල්ලි නැහැ. 2024 දී බිලියන 2800ක පොලී ගෙවන්න තිබෙනවා. රාජ්‍යසේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ප්‍රවාහනය, කෑම යනාදියට තවත් බිලියන 1350ක් අවශ්‍යයි. බිලියන 4000ක් පමණ මේ ටිකට යනවා. ඊට අමතරව බිලියන 183 ක් බෙහෙත් ගේන්න අවශ්‍යයි. රෝහල්, ආරක්ෂක අංශ ආදියට කෑම, නිල ඇඳුම් දෙන්න ඕනෑ. දුප්පත් අයට මුල්‍ය ආධාර දෙන්න ඕනෑ. මේ සියල්ලටම වියදම් කළ පසු සාමාන්‍යයෙන් බිලියන 3000ක් පමණ ණය වෙන්න වෙනවා. මේ යන ආකාරයට එන්න එන්නම ණය බර වැඩි වෙනවා. ඒකෙන් ගොඩ එන්න ආර්ථිකය දියුණු කළ යුතුමයි. එහි කොටස් 49 සංවර්ධනය කළ යුතුමයි.

ලෝකය පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලා 256ක් ඉන්දියාවෙන් මට තෑගි දී තිබෙනවා. තනි පුද්ගලයකු හැටියට මට ඒ සියල්ල දියුණු කරන්න බැහැ. ඒකට රජයක් අවශ්‍යයි. ඒත් හැකි අංශ මේ වනවිට දියුණු කර තිබෙනවා. ඒ දැනුම අරගෙන විදේශගත වීම රටට ඩොලර් උපයන්නත් පුළුවන්. ඒ අයට යළි රටට ඇවිත් ව්‍යාපාරයක් අරඹන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- ජනතාවට දරාගත නොහැකි බදු බරක් මේ වනවිට පටවා තිබෙනවා. තවත් බදු ගැසිය යුතු බව අයි.එම්.එෆ්. එක කියනවා. ජනතාවට බදු බරෙන් නිදහසක් නැතිද?

පිළිතුර:- ආර්ථිකය ප්‍රසාරණය වුණේ නැත්නම් ලබන වසරේදී වැට් බද්ද සියයට 25ක් කරන්න වේවි. බදු ආදායම වැඩි වෙන්නේ ආර්ථිකය ලොකු වුණොත් විතරයි. ආර්ථිකය හකුලන විට බදු ආදායම අඩු වෙනවා. එවිට අය කරන බදු ප්‍රතිශතය වැඩි කරනවා. එනිසා ආණ්ඩුවක පළමු ඉලක්කය විය යුත්තේ රැකියා උත්පාදනය කර ආර්ථිකය පුළුල් කිරීමයි. බදු ආදායම වැඩිවී අය කරන ප්‍රතිශතය අඩුකළ හැක්කේ එවිටයි. ඒ වගේම ඩොලර් උපයන්න උපාය මාර්ග තියෙන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛතාව දිය යුතුයි. එයට අවශ්‍ය පහසු වාතාවරණය ගුවන් තොටුපොළේ සිටම සැකසිය යුතුමයි.

 

ප්‍රශ්නය:- ඔය මොනවා කිව්වත් ගම නොහදා රට හදන්නේ කොහොමද? ගම හදන වැඩසටහනක් අවශ්‍ය නැතිද?

පිළිතුර:- ගමක් ගොඩ ගන්න අවශ්‍ය කරුණු 25ක් මම පෙළගස්වා තිබෙනවා. කෑම නැතිනම් ගමේ ආගමික සිද්ධස්ථානයක පොදු මුළුතැන් ගෙයක් ඇති කළ යුතුයි. ආණ්ඩුවේ උදව් ඊට අවශ්‍යයි. ගමේ සියලු දෙනාටම එකම වගාවකට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. ආර්ථික බෝග, පලතුරු මෙහිදී යොදාගත හැකියි. වල්පාලුගම කියා ගමක් කැකිරාවේ තිබෙනවා. මේ ගමේ හැමෝටම දෙලුම් පැළ 20 බැගින් දෙමු කියා ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මම යෝජනා කළා. හාමුදුරුවෝ ඒ වැඩේ කළා. දැන් ඒ ගම දෙලුම් යායක්. ඒ ගමේ නම දැන් දෙලුම්ගම කියා වෙනස් කරමු කියා මම යෝජනා කළා. ඒ ආකාරයට ඒ ඒ ප්‍රදේශයේ වැවෙන බෝග වර්ග තෝරාගෙන මේ වැඩේ කරන්න පුළුවන් මේ ආකාරයට ගම හදන වැඩ විසිපහක් ළඟදීම හෙළි කරනවා.

 

ප්‍රශ්නය:- ආර්ථිකයේ පදනම කෘෂිකර්මය බව කියනවා. මේ අංශය දියුණු නොකර ඉදිරි ගමනක් තිබෙනවාද?

පිළිතුර:- කෘෂිකර්මය මෙරට ආර්ථිකයෙන් සියයට 8යි. මේ කෘෂිකර්මය කොටස් 17කට බෙදනවා. වී ගොවිතැන මෙරට ආර්ථිකයෙන් සියයට 1.1යි. සම්පූර්ණ එළවළු වගාව සියයට 1යි. දිනකට අපි ආහාරයට ගන්නා එළවළු ප්‍රමාණය ටොන් 7000යි. ටොන් 20 ලොරිවලට පැටෙව්වොත් දිනකට අවශ්‍ය ලොරි 350යි. මාළුවලින් රටේ ආර්ථිකයට වන දායකත්වය 0.9යි. අපට පුරුදු කෘෂිකර්මාන්තය වන හාල්. එළවළු, මාළු කියන්නේ ආර්ථිකයෙන් සියයට 3යි. බඩගින්න නිවන්න ආහාර මිල අඩු කරන්න මේ අංශ දියුණු කළ යුතුමයි. මේ සියයට තුන දියුණු කළාට තවත් සියට 97ක් දියුණු කළ යුතුව තිබෙනවා. මේ සියයට 3 සියයට 20කින් වැඩි කළත් ආර්ථිකයේ වැඩි වෙන්නේ දශම 6යි. කුසගිනි නිවන්නයි ආහාර සුරක්ෂිතතාවටයි කෘෂිකර්මය ඉතා හොඳින් බලාගත යුතු වුවත් ඒකෙන් රට දියුණු වෙන්නේ නැහැ.

 

ප්‍රශ්නය:- වංචාව, දූෂණය ආර්ථිකයේ පිළිකාවක් බවට පත්වෙලා. මේ පිළිකාව ඉවත් කළ නොහැකිද?

පිළිතුර:- මගේ ළඟ 60,000ක් වැඩ කරනවා. සියල්ලටම සිස්ටම් තිබෙනවා. පොඩි සිල්ලර කඩේ සිස්ටම් නෑ. හැබැයි සුපර් මාර්කට් එකේ තිබෙනවා. සිල්ලර කඩේ කැෂියර් එකේ එහි අයිතිකරුගේ දුව, පුතා හෝ බිරිඳ තබන්න වෙනවා. මොකද පිට කෙනෙක් තිබ්බොත් හොරකම් කරනවා. හොරකම් කරන්නේ සිස්ටම් එකක් නැති නිසයි. මේ රටත් හරියට සිල්ලර කඩේ වගේ. මගේ ළඟ විශ්වාසවන්ත අය සිටින බවත් කඩේ බලා ගන්න ඔවුන් ගේන බවත් දේශපාලන පක්ෂ කියනවා. ඒ අය ගෙනත් වසර 5 ක් ගත වුණාම වෙනදේ ජනතාවට තේරෙනවා. ඒ නිසා ඊළඟට ඊට විරුද්ධ පක්ෂ අය ගෙනෙනවා. ආයෙම වෙන්නෙත් ඒකමයි. හැබැයි ඒ පළාතෙම තිබෙන සුපිරි වෙළඳ සැලේ සිස්ටම් එකක් සමග කැෂියර් පහ, හයක් තිබෙනවා. ගමේ ඕන කෙනකුට ඒ කැෂියර් එකේ ඉන්න පුළුවන්. එනිසා සිස්ටම් එකක් තිබෙන කෙනකුට ඡන්දය දිය යුතුවා මිස තමන්ට විශ්වාසවන්ත අය සිටිනවා කිව්ව පලියට තවදුරටත් ඡන්දය දිය යුතු නෑ. සිස්ටම් නැති රටක ‘විශ්වාසවන්ත’ කීම විශ්වාස කරන්න බැහැ. එනිසා මේ රටට අවශ්‍ය සිස්ටම් තියෙන කෙනෙක්. එහෙම බැලුවොත් මට තරම් අත්දැකීම් තිබෙන කෙනෙක් මේ ලංකාවේ සොයා ගන්න බැහැ. මගේ සමාගම් 260ක රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ. ප්‍රශ්නයට පිළිතුර එතැනම තිබෙනවා .

 

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. එකෙන් තොරව ගමනක් නැති බවට මත පළවෙනවා. ඇත්තටම අයි.එම්.එෆ්. එකෙන් තොර ගමනක් නැතිද?

පිළිතුර:- රටක් ගත් විදේශ ණය නොගෙවන පසුබිමක අයි.එම්.එෆ්. එක එයට මැදිහත්ව සිටින තාක්, ණය හිමියන් නඩු පවරන්නේ නැහැ. මේ රටෙ අයි.එම්.එෆ්. ඉවත් වුණොත් නඩු 500ක් 900ත් අතර ගණනක් ලංකාවට එරෙහිව වැටීමට නියමිතයි. ලෝකෙ වටේ එතරම් නඩු කියන්න මේ රටට සල්ලිත් නෑ. එහෙම නඩු පවරගෙන වැඩ ක​ෙළාත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි. මුදල් උපයන ක්‍රම පෙන්වා දෙමින් අයි.එම්.එෆ්. කොන්දේසි ඉවත් කර ගන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- දේශපාලන අත්දැකීම් නැති කෙනකු ගෙනැවිත් රටට තමන්ට අත්වූ ඉරණම දන්නා ජනතාව යළි එවැනි වැරැද්දක් කරාවිද?

පිළිතුර:- දැන් රටට අවශ්‍ය ජනාධිපති රජ්ජුරුවෝ කෙනෙක්ද නැත්නම් රටට වැඩ කළ හැකි සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්ද? දැන් අවශ්‍ය සිස්ටම් එක හදා වංචාව, දූෂණය, අල්ලස නැතිකර රටේ ආර්ථිකය දියුණු කිරීමයි. ඒකෙ නම ජනාධිපති කීම වෙනයි. ආර්ථිකයක් බංකොලොත් වූ තැනක තිබෙන්නේ ඉස්සර සිටි ජනපතිවරයකුගේ කාර්යභාරය නෙමෙයි. ගුවන් යානයක් පදවපු නැති නියමුවකුට ගුවන් යානයක් දුන්නොත් අනිවාර්යයෙන් ගුවන් යානය බිම දමනවා. ලංකාවේ සිස්ටම් හැදීම ගුවන් නියමුවකුට සමාන කළොත් වැඩිම පැය ගණනක් පියාසර කළ ගුවන් නියමුවා වන්නේ ධම්මික පෙරේරා තමයි. මේක හරියට තාත්ත කෙනෙක් තමන්ගෙ ළමයි ගැන සොයා බලනවා වගේ වැඩක්. තාත්තාගෙ හැඟීම තියෙන කෙනාට කරන්න ගොඩක් වැඩ තිබෙනවා.

 

(***)

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (8)

රටකට සිස්ටම් ඕනෑ ඇයි?

චන්දිම Monday, 12 February 2024 11:57 AM

ඔක්කෝටම කලින් කියලා ඉන්න තමුන් මුලින්ම සල්ලි උපයා ගත්තේ කොහොමද කියන එක. මොකද නීතියට සදාචාරයට එකඟවද නීතියට පටහැනිවද මූලික ධනය හොයා ගත්තේ කියන එක ඉතාම වැදගත් කාරණාවක්. ඒ වගේම ඒ ධනය වර්ධනය කරගෙන ගිය ආකාරය රටේ ජනතාව ඉතා පැහැදිලිව දැනගත යුතුයි. එය කිසිඳු සැකයකින් තොරව ඉතාම පැහැදිලිව පිළිගන්න පුළුවන් නම් විතරයි ඔබ වන්නෙකුට රටක පාලනය බාරදිය යුත්තේ. ව්‍යාපාරිකයෙකුට රටක පාලනය බාරදීම නිකම් ආවට ගියාට කළහැකි දෙයක් නෙමෙයි....

:       15       41

samanTuesday, 13 February 2024 10:50 PM

රටකට සිස්ටම් ඕනෑ ඇයි? දුප්පත්ම පවුල් දුපත්ව තිබෙන හේතුව පළමුව සොයාබැලිය යුතුවේ. ඉන්පසු ඔවුන් වර්ගීකරණය කර ලබාදිය යුතු විසඳුම් ලබාදිය යුතුවේ. සෑම ආගමික සිද්ධස්ථානයකම පොදු මුළුතැන් ගෙයක් තිබිය යුතු වුවත් පොදු මුළුතැන් ගෙය අවශ්‍ය වනුයේ රට තුළ හදිසි අවශ්‍ය තත්වයක් මතු වුවහොත් පමණි. පොදු මුළුතැන්ගෙය සැමදා පවත්වාගෙන යාමට උත්සාහ කිරීම යනු දුප්පත් පුරවැසියන් රවටා ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට උත්සාහ කිරීමකි. සෑම ආගමික සිද්ධස්ථානයකම පොදු මුළුතැන් ගෙයක් තිබිය යුතු බවත්, එහි වියදමින් සියයට 100ක් ඔහුගේ පුද්ගලික වියදමින් පවත්වාගෙන යන්නේ නම් ගැටළුවක් නොමැත. ලෝකයේ දියුණු රටවල පවා පොදු මුළුතැන් ගෙය ( community kitchen ) තිබේ. එතැනදී ආහාර ලබාදීමක් සිදුකරයි. එතැනට පැමිණෙන බොහෝ පුද්ගලයින් දුප්පතුන් නොවේ. බහුතරයක් ධන්වත්ව සිටියි. ව්‍යාපාර හිමි සහ වෙනත් යෝජනා මගින් මුදල් ඉපැයූ පුද්ගලයින් වේ.

:       0       3

Vidura Monday, 12 February 2024 12:13 PM

සිස්ටම් චෙන්ජ් කරනවා කියල තමා කලින් අප්පුහාමිත් ඇවිත් රටේ ආර්ථිකේ කකුල් කඩලා ගියේ. ධම්මික ඔයා ආවත් අන්තිමටම නටන්නේ වෙන කෙනෙකුගේ පදේට. ඔයාගේ කතාව හරිම ලස්සනයි.

:       9       25

CC Monday, 12 February 2024 12:42 PM

මේ රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරේ කරන රට ගැන සැබෑ කැක්කුමක් ඇති පාලකයෙක් මේ රට හි නිදහසින් පසුබලයට පැමිණ නොතිබීමේ ප්‍රථිවිපාකය අද මේ රටේ සෑම ස්ථරයකම ජනතාව අඩු වැඩි වශයෙන් භුක්ති විඳිමින් ඇත. මේ රට හදන්න මොනතරම් සිස්ටම් ගෙනාවද? උදාහරණ ලෙස මහින්ද චින්තන ඉදිරි දැක්ම අංග සම්පූර්ණ උපායමාර්ගික සැලැස්මක් ඒය හැදුවේ මේ රටේ උගත් බුද්ධිමත් ඉහළම අද්දැකීම් ඇති අය නමුත් ඒක පාවිච්චි කළේ ජනතාව ඇන්දීමට මිසක් රටගැන රටේ දරුවන් ගැන සැබෑ කැක්කුමක් ආදරයක් ඇතුව නොවේ මොනතරම් සැලසුම් හැදුවත්.., එය ප්‍රායෝගිකව රටට ගැලපෙන ලෙස රට තුළ නව ආයෝජන ආකර්ශණය වන අයුරින් අවශ්‍ය ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කර නොමැත. මේ රටට බලශක්තිය සඳහා කොපමණ විභවතා තිබේද? දුන්නාද ඒ්කට ප්‍රමුඛතාවය අඩුමිල බලශක්තිය විදෙස් ආයෝජන ආකර්ශණය කරන්නේ නැද්ද? ඒ වෙනුවට කුළුණක් හදා ලැබෙන ආකර්ශණය තුමක්ද, යහපාලන ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ගෙනාවේය. එය මේ රටේ හොරකම, වංචාව නාස්තිය වලකන ප්‍රබල අභ්‍යන්තර පාලන පද්ධති වෙයි. ඒ්වා නිසි පරිදි බලගැන්නුවේද බොරුවට ජනතාව අන්දමින් බලයට ආවා මිස කළාද අවශ්‍ය වැඩ... කළදේ නම් තමන්ට තම හිතවතුන්ට ඥාතීන්ට ආධාර කරුවන්ට වාසිදායක වැඩ පමණි...

:       2       13

එරංග Monday, 12 February 2024 12:44 PM

කයියනායක හෝ පුතානෝට වඩා රටට වැඩක් කළ හැකි අයෙක්... නමුත් පොදු පෙරමුණේ උන්දැලාගෙන් ඔබතුමාට අපේක්ෂකත්වය ලැබෙයිද? එහෙම වුණොත් හොඳයි. සුබ පැතුම්...!

:       36       18

ChathR Tuesday, 13 February 2024 06:58 PM

හැබැයි ඉතින් එහෙම සිස්ටම් හැදුණොත් ඔයාගේ කම්පැනි වලට කුණු කන්ටේනර් ලංකාවට ගෙන්නන්න බැරිවෙයි නේද?

:       2       18

සමන් විමල් Tuesday, 13 February 2024 09:43 PM

සාම්ප්‍රදායිකව වමාරා කමින් අදහස් දැක්වූවද ධම්මික පෙරෙරාගේ අදහස් ගැන විමරශණාත්මකව බැලීමට තරම් නිවහල් බුද්ධියක් මෙහි අදහස් දැක්වූ අයට නැතිවිම කණගාටුවකි.

:       15       4

Gamikaru Dissanayaka Wednesday, 14 February 2024 06:07 PM

ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහුගේ වැඩපිළිවෙල එතෙක් මෙතෙක් නොදැක්ක, ඉදිරිපත් නොවූ ප්‍රායෝගික ප්‍රයත්නයක්. ඉතින් ඔහුට ස්වාධීන අපේක්ෂකයකු ලෙස හො ඡන්දයට එන්න හැකියාවක් තියෙනවා.

:       14       5

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 469 5

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


විධායකය අහෝසි කතා උප්පරවැට්ටියක්
2024 පෙබරවාරි මස 19 436 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා, ඉදිරි ජනාධිපතිවරණය, ජාතිකවාදී දේශපාලන කඳවුරේ අනාගතය ආදී කාලීන ආර්ථික හා දේශපාලනික තේමා රැසක් ප්‍රශ්න කරමින් පිවිතුරු


රටකට සිස්ටම් ඕනෑ ඇයි?
2024 පෙබරවාරි මස 12 1451 8

රටේ පවත්නා අර්බුද විසඳා රට ගොඩනගන්නේ කෙසේදැයි ප්‍රකට ව්‍යවසායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සමග කළ සාකච්ඡා


අශිෂ්ට දේශපාලනයේ අවසානය...?
2024 පෙබරවාරි මස 05 2571 4

2024 වසරේ පළමු පුර පොහෝ දින එළිවන යාමයේ කවුරුත් තිගැස්සුමට පත් කළ ප්‍රවෘත්තියක් මගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලෙස පැමිණියේ මා අවදි කරමින්ය. එය විදේශග


සුරංගනා කතා ප්‍රශ්නවලට විසඳුමද?
2024 ජනවාරි මස 29 520 0

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට උසාවියෙන් ලබා දුන් සංශෝධන ඇතුළත් නොකිරීම, යුක්තිය මෙහෙයුමට එල්ල වෙන චෝදනා, ශ්‍රී ලංකා පොදුජන පෙරමු


අපේ ක්‍රමය නිෂ්පාදන ආර්ථිකයක්
2024 ජනවාරි මස 22 780 8

ජනාධිපතිවරණ රේස් එක, අයි.එම්.එෆ්. හොරෙන් හමුවුණාද? රට හදන ක්‍රමය කුමක්ද යනාදී කරුණු සම්බන්ධයෙන් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 421 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site