වත්මන් ලෝකය විද්‍යාව, තාක්ෂණය, නව චින්තනය, දේශපාලන දෘෂ්ටිවාද මෙන්ම ආර්ථික, දේශපාලන, සමාජමය සහ සංස්කෘතික වශයෙන් ලබා ඇත්තේ අසිරිමත් වූද ආශ්චර්යාත්මක වූද දියුණුවයි. එම ප්‍රගතිය කරා පිය නැගීමේදී මානව ශිෂ්ටාචාරය ආ ගමන් මග සරල, සුමට එකක් නොවේ.
එය ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී මතු වූ අභියෝග දෙස නව දෘෂ්ටිකෝණයකින් බලා ධෛර්යය සම්පන්නව මුහුණ දීමේ ප්‍රතිඵලයකි. මානව ඉතිහාසය යනු අභියෝගවලින් පිරුණු ගමන් මගක කථාන්තරයකි. නොසැලෙන අධිෂ්ඨානයකින්, වීර්යයකින්, ඥානාන්විතව, පැහැදිලි දැක්මකින් ක්‍රියාකිරීමකින් අභියෝග ජය ගත හැකිය. එක් අතකින් අභියෝග යනු වෙස්වළා ගත් ආශීර්වාදයකි. මානවයා වත්මන් ප්‍රගතිය අත්කර ගෙන ඇත්තේ විවිධ ආපදා සම්පන්න අවස්ථාවලදී තමන් මුහුණ දුන් අභියෝගවලට අභියෝගයක් වීමෙනි.
ජපානය සහ ඉන්දියාව
මහත් ව්‍යසන සහ විවිධ ආපදා අභියෝගවලට ධෛර්යය සම්පන්නව මුහුණ දී විස්මිත දියුණුවක් ලත් රටවල් ලෝකයේ බොහෝය. මෙයට හොඳම උදාහරණය ජපානයයි. දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළන ලද පරමාණු බෝම්බවලින් ජපානයට සිදුවූ මහත් විනාශය මානව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයයි. එම ඛේදවාචකයෙන් මිලියන දෙකයි දශම අටක ජනතාව මරණයට පත්වූහ. ජීවිත කාලයම ආබාධ සහ ලෙඩ රෝගවලට ලක්වූවෝ අපමණය. නගර සුන්බුන් වී අළුදූවිලි බවට පත් විය. එම අළුදූවිලිවලින් නැගී සිටි ජපානය ලෝකයේ දියුණුතම රාජ්‍යයක් බවට පත් කළ හැකි වූයේ නිවැරදි දේශපාලන නායකත්වය සහ දේශමාමක ජනතාවගේ අධිෂ්ඨානය මතය.
මෙයට දශක හතරකට පමණ පෙර ආර්ථික වර්ධන වේගය සියයට 0ක්ව එක තැන පැවති ඉන්දියාව අද වන විට පරිගණක තාක්ෂණය, අභ්‍යාවකාශ තාක්ෂණය, පරමාණුක බලශක්තියවැනි හැකියාව සහිතව සමාජ - ආර්ථික වශයෙන් ලෝකයේ බලගතු රාජ්‍යයක් බවට පත්වී ඇත්තේ විවිධ අභියෝගවලට, දූරදර්ශීව සහ දේශප්‍රේමිත්වයෙන් ජනතාවට මග පෙන්වූ දේශපාලන නායකත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ස්වාභාවික සම්පත්වලින් ආඪ්‍ය ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් නිම වන විට ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීම ඛේදජනක කරුණකි. අතිවිශිෂ්ට ජනවරමකින් බලයට පත්වූ වත්මන් රජය රට හමුවේ ඇති අභියෝග ජය ගනිමින් ඉදිරියටම ගමන් කරනු ඇත යන්න ජනතාවගේ පරම අපේක්ෂාවයි.
ඕඝ තරණය
ආගමික ශාස්තෘවරුන්, දර්ශනවාදීන්, චින්තකයන් මෙන්ම සුවිශිෂ්ට දේශපාලනඥයෝ, අභියෝග ජයගත් වීරයෝ වෙති. බුදුන් වහන්සේ යනු ලෝක පූජිත ශාස්තෘවරයෙකි. උන්වහන්සේ බියකරු සසර නමැති මහා ඕඝය (සැඩ වතුර පහර) තරණය කොට විමුක්ති මාර්ගය අත්පත් කර ගත්තේ අභියෝග ජය ගැනීමෙන් බව ඕඝ තරණ සූත්‍රයෙහිදී පැහැදිලි කර ඇත.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට යහපත් දේශයක් ගොඩනැගීමට තරණය කළ යුතු වන්නේ මහා පරිමාණ, දූෂණ, වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සහ මුල් බැස ගෙන තිබූ දූෂිත ප්‍රභූ දේශපාලනය නමැති සැඩ පහරයි. එහි පවතින බිහිසුණු දිය වැල්, දිය සුළිවලට යට නොවී ඉවසීමෙන් සංයමයෙන් නිවැරැදි නායකත්වයක් යටතේ එක්සත්ව එක්සිත්ව ක්‍රියා කිරීමෙන් ලත් මේ දක්වා ලබා ඇති ජයග්‍රහණය මහත් ආදර්ශයකි. එබැවින් කවර අභියෝග පැමිණියේවි නමුත් වත්මන් රජය ජනවරමට අනුව ඉදිරියටම යමින් තමන්ගේ අපේක්ෂා මුදුන් පමුණුවනු ඇතැයි ජනතාව තුළ ඇත්තේ මහත් විශ්වාසයකි.
අස්ථාන භීතිය වැපිරීම
මෑතදී ඇති වූ ස්වාභාවික ආපදාව නිසා රජය මහත් අපහසුතාවකට පත්ව එළැඹෙන 2026 වසරේ සිංහල - හින්දු අවුරුදු සමය එන විට ජනතාව මහත් පීඩාවට පත්වනු ඇතැයි උදම් අනමින්ද එසේ වීමෙන් තමන් අතට බලය මාරු වෙනු ඇතැයිද ඇතැම් දේශපාලනඥයන් පුරෝකථනය කරනු දක්නට ලැබුණි. කවර හෝ ආකාරයකින් තමන් අතට බලය ගැනීමට පොටක් පෑදෙනු ඇත යන්න ඔවුන්ගේ සිහිනයයි. එබැවින් උදාවන නව අවුරුද්දේදී සිංහල, හින්දු අවුරුද්ද අනෙකුත් සියලු වසරවලට වඩා ජනතාවට ප්‍රීතියෙන් සැමරීමට අවස්ථාවක් සැලසීමට රජය සැලසුම් කළ යුතුය.
අනපේක්ෂිතව ඇති වූ සුළි කුණාටුව සහ ගංවතුර ආපදාවෙන් වාසි ලබා ගැනීමට කණාටු වූ පක්ෂවල දේශපාලනඥයන් දේශපාලන සුළිකුණාටු නිර්මාණය කරමින් මානබලන නමුත් අවසානයේ එම දේශපාලන සුළිකුණාටුවලට ගොදුරු වනු ඇත්තේ ඔවුන්මය. “ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හෝ එල්ලෙන්නේ යැයි” කියමනක් ඇත. ඇතැමුන් ලොකු කුඩා කවර හෝ අර්බුදයක් තමන්ගේ ආත්මාර්ථකාමී පටු වුවමනාකම් වෙනුවෙන් යොදා ගන්නට තැත් කරනු පෙනෙන්නේ ජනතා අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකරමිනි.
යහපත් මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව
ජනතාව තුළ බොරු වපුරමින් තමන්ගේ පටු න්‍යාය පත්‍රවලට අනුව ඇතැම් දේශපාලනඥයන්ට උඩගෙඩි දෙන මාධ්‍ය ආයතනද ඇත. එම ආයතන, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරනු දක්නට ඇත. දේශපාලන හා සමාජ සංවාද - විසංවාද මධ්‍යයෙහි 70 දශකයේ පුවත්පත් මණ්ඩල පනත ගෙන එන ලද්දේ පුවත්පත් කලාවට යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් හඳුන්වා දීම සඳහාය. සියලු මාධ්‍ය ආවරණය වනසේ ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත් ජනමාධ්‍ය පනතක් ඇති කිරීම හෝ පවතින පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කාලෝචිතය. එය බලයේ සිටින රජයට පමණක් නොව අනාගතයේ බලයට පත්වන කවර රජයකට වුවද හිතකර වනු ඇත.
ආගමික නායකයන්ගේ හා විදේශ සංචාරකයන්ගේ ශ්‍රම දායකත්වය
හදිසි ආපදාවේදී පීඩාවට පත් ජන ජීවිත යළි ප්‍රකෘතිමත් කිරීමේ භාරදූර වගකීමක් රජයට ඇත. ඒ වෙනුවෙන් පුරවැසියන්ගේ දායකත්වයද නොඅඩුව ලැබිය යුතුමය. විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ බුදුන් වහන්සේ සහ මහා සංඝරත්නය එහි වැඩම කර තුන්බිය දුරු කිරීමට ආශීර්වාද කිරීම සිහිපත් කරවන සිදුවීමක් පසුගියදා දැකගත හැකි විය. ආපදාවට ලක් වූ ප්‍රදේශවලට වැඩම කළ මහා සංඝරත්නය ශක්ති ප්‍රමාණයෙන් මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදෙනු දැකිය හැකි විය. වෙනත් දිනවල දායකයන්ගේ පින්කම් සඳහා පෙරහැර හා සුදු පාවාඩ මතින් වැඩම කරන මහා සඟරුවන කඳු හෙල්, මඩගොහොරු තරණය කරමින් සිය කරමතින් බඩු බාහිරාදිය ඔසවා ගෙන යමින් කරන ලද ශ්‍රම දායකත්වය යළි මේ රට ගොඩනැගීමේ අපේක්ෂා දනවන මහඟු ආදර්ශයකි. සෙසු ආගමික පූජකතුමන්ලාද විපතට පත් ප්‍රදේශවලට බැතිමතුන් සමග ගොස් කරන ලද ප්‍රජාසේවා සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ විවේක සුවය ගත කිරීමට පැමිණි මුහුදුබඩ සංචාරක හෝටල්වල සිටි විදේශීය සංචාරකයන්ද විපතට පත් ප්‍රදේශවලට ගොස් සිය ශ්‍රමදායකත්වය ලබාදෙන දර්ශනද සමාජ මාධ්‍ය හා රූපවාහිනී මාධ්‍යවල දක්නට ලැබුණි. මෙයින් පැහැදිලි වන්නේ රට ගොඩනැගීමේ අභියෝගයට ජාති- ආගම් භේද නොසලකා ජන පවුරක් නිර්මාණය වී ඇති ආකාරයයි.
2029 මැතිවරණ වසර
රාජ්‍ය බලයට පත්වී දැනට වසරක් ඉක්මවා ඇත. එම වසර තුළ ජනතා අපේක්ෂා සැලකිය යුතු අයුරින් මුදුන් පමුණුවා ඇති රජයට ජනවරමින් දෙන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තව ඇත්තේ වසර හතරකි. 2029 වසරේදී මැතිවරණයකට මුහුණ දීමට රජයට සිදුවේ. මෙම වසර මැතිවරණ වසරක් වන බැවින්, පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට තරග කරනු ඇත. මැතිවරණය ප්‍රකාශ කිරීමත් සමග රජයටද මැතිවරණ නීති අනුව කටයුතු කිරීමට සිදු වන බැවින් ඇතැම් මැතිවරණ පොරොන්දු එම වසරේදී ක්‍රියාත්මක කිරීමට මැතිවරණ නීති රීතිවලින් බාධා පැමිණිය හැකිය. එබැවින් උදාවන නව වසර සමග ඉදිරි වසර දෙක තුන තුළ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ මහජනයා ඉදිරියේ තබන ලද ප්‍රතිපත්ති බොහොමයක්ම ක්‍රියාවේ යෙදවීමේ අභියෝගය රජයට පවතී. අනෙක් අතින් එම අභියෝගය ජය ගැනීම යනු ජනතා අපේක්ෂා මුදුන් පමුණුවාලීමක් වනු ඇත.
ජාතික ජන බලවේගය විසින් රට යළි ගොඩනැගීම සඳහා ආකර්ෂණීය පොරොන්දු මාලාවක් මැතිවරණයේදී දෙන ලදී. මැතිවරණ පොරොන්දු අතර නීතිය හා අධිකරණය ස්වාධීන කිරීම ඉන් එකකි. එය බොහෝදුරට දැන් ක්‍රියාත්මකය. මහාපරිමාණ දූෂණ - වංචා පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා එයට සම්බන්ධ වූවන් අධිකරණය වෙත පමුණුවා නීත්‍යනුකූල පියවරද ගනිමින් සිටී. මහ බැංකු කොල්ලය, පාස්කු දා ප්‍රහාරය යනාදී පරීක්ෂණ ජනතාව කුල්මත් කළ ඒවා වුවද ඇතැම් ආන්දෝලනාත්මක පසුගිය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ විමර්ශන සිදුවෙමින් ඇත්තේ මන්දගාමී ලෙසය. පසුගිය පාලන සමයන්හිදී එසේ මන්දගාමී ස්වරූපයෙන් ඇදි ඇදී ගිය පරීක්ෂණ අවසානයේ ස්වාභාවික මරණයකට පත්වූ නමුත් වත්මන් රජයේ පාලන කාලය තුළදී එබඳු පරීක්ෂණ ස්වාභාවික මරණයකට පත් නොවෙනු ඇත යන්න ජනතා අපේක්ෂාවයි. ජනතාව ඉතිහාසයේ කිසිදිනෙක ලබා නොදුන් ජනවරමකින් තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයට ලබා දුන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් සෑම පොරොන්දුවක්ම ඉටු කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කොට හෝ ජනතා අපේක්ෂා මුදුන් පමුණුවාලීමේ අභියෝගය රජයට ඇත.
ජන ජීවිතය සංවර්ධනය කිරීමට අවශ්‍ය සියලු සංවර්ධන උපායමාර්ග සකස් කිරීම, ජනතාව සමග ඇති කරගත් සම්මුතිය මල්ඵල ගැන්වීමකි. සුළි කුණාටුවත් සමග කඩා වැටුණු ජන ජීවිත සහ ආර්ථිකය පැවති තත්වයට වඩා වැඩි ගුණාත්මක තලයකට ඔසවා තැබීමේත් ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති මාලාව සාක්ෂාත් කර ගැනීමේත් අභියෝගයට 2026 වසර තුළ තව තවත් ශක්තිමත්ව මුහුණදීමට රජයට සිදුවනු ඇත.
(*** මහාචාර්ය සුසිරිපාල මානවඩු)
2025 දෙසැම්බර් මස 18
671
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව වසරේ අභියෝග ජනතා අපේක්ෂා