ශ්රී ලංකාවේ 2026 ජාතික අයවැය ලේඛනය, ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ රටේ ආර්ථික ප්‍රකෘතියේ තීරණාත්මක සන්ධිස්ථානයකදීය.
2022 වසරේ සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් සහ ඩොලර් බිලියන 2.9ක අයිඑම්එෆ් වැඩසටහනෙන් අනතුරුව, මෙම අයවැය ආර්ථික ස්ථායිකරණය තිරසර ප්‍රතිසංස්කරණයක් බවට පත් කිරීමට ඇති හැකියාවේ පරීක්ෂණයක් නියෝජනය කරයි.
මෙම අයවැය අයිඑම්එෆ් නිර්ණායක සමග පෙළගැසෙමින්, හිඟය අවම කිරීම, ආදායම් ගොඩනැංවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන ඉලක්ක සකස් කර ඇති අතර, සමාජ වියදම් ආරක්ෂා කිරීමට ද ප්‍රතිඥා දෙයි. කෙසේ වෙතත්, 2026 අයවැය මූල්‍ය පාලනයේ ගැඹුරු, දීර්ඝ කාලීන අසමතුලිතතාවක් නිවැරැදි කිරීමට උත්සාහ කරයි.
දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු විසින් ව්‍යුහාත්මක හිඟයන් (ආදායමට වඩා වියදම වැඩි) පවත්වාගෙන ගියේ දේශපාලන සැලසුම් අනුවය. ආර්ථික මූලධර්ම අබිබවා කෙටි කාලීන දේශපාලන වාසිය ප්‍රමුඛ විය. පුළුල් සහනාධාර, සැලසුම් නොකළ රාජ්‍ය සේවක බඳවා ගැනීම්, සහ දේශපාලනිකව ජනප්‍රිය බදු සහන ආදි දේවල් සම්මත බවට පත් විය. අයවැය, ආර්ථිකය කළමනාකරණය කිරීමට වඩා බලය පවත්වාගෙන යාමේ මෙවලමක් බවට පත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, ඉහළ යන ණය, පිරිහෙන මූල්‍ය ආයතන, ආර්ථික කඩාවැටීම සහ සමාජ නොසන්සුන්තාවයි.
2026 අයවැය මෙම විනාශකාරි උරුමයෙන් මිදී, එය නීති මත පදනම් වූ මූල්‍ය කළමනාකරණය (Rule-based fiscal management) සමග ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරයි. මෙම ඇගැයීම, අත්‍යවශ්‍ය කුලුනු පහක් ඔස්සේ සිදු කෙරේ.
1. මූල්‍ය විනය සහ ණය තිරසාරභාවය: 2026 අයවැයේ කේන්ද්‍රය වන්නේ මූල්‍ය ඒකාබද්ධ කිරීම සඳහා වන ස්ථිර කැපවීමයි. රජය 2025 දී රුපියල් බිලියන 1,202ක අතිරික්තයකින් පසුව, 2026 දී රුපියල් බිලියන 860ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කරයි. රජයක් තම පැරැණි ණයවලට ගෙවිය යුතු පොලිය ගණන් නොගෙන, දෛනික කටයුතු සහ සංවර්ධන වියදම් සඳහා වැය කරන මුදලට වඩා වැඩි ආදායමක් උපයන විට, එම තත්වය ප්‍රාථමික අතිරික්තයක් ලෙස හඳුන්වනු ලැබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඍණ ප්‍රාථමික ශේෂයක් (ප්‍රාථමික හිඟයක්) වාර්තා කර තිබේ. මෙමගින් රාජ්‍ය ණය අඛණ්ඩව වර්ධනය විය. අවම වශයෙන් සිය මූලික මෙහෙයුම් වියදම පියවා ගැනීමට තරම් සෞඛ්‍ය සම්පන්න තත්වයකට ආර්ථිකය ළඟා වීම දීර්ඝ කාලයක් බලා සිටි සිහිනයක් වූ අතර, එය දැන් සැබෑ වෙමින් පවතී.
සමස්ත මූල්‍ය හිඟය 2026 දී රුපියල් බිලියන 1,757 දක්වා තරමක් පුළුල් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, මෙය ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන වියදම් ඉහළ යාම නිසා සිදු වේ. එයින් අදහස් වන්නේ, රජයට සිය සියලු වියදම් පියවා ගැනීම සඳහා එම වසරේදී ද මෙම මුදල ණයට ගැනීමට සිදුවන බවයි. කෙසේ වෙතත්, මෙම හිඟය පුළුල් වීමට ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන වියදම් ඉහළ යාම හේතු වන බව වාර්තා වීම, සාමාන්‍යයෙන් ආර්ථික විශ්ලේෂකයන් විසින් ධනාත්මක ලක්ෂණයක් ලෙස සලකනු ලබයි. ප්‍රාග්ධන වියදම් යනු, මාර්ග, යටිතල පහසුකම් වැනි දිගු කාලීන වත්කම් සඳහා කරන රජයේ ආයෝජන වේ. රජය ණය ගන්නේ පරිභෝජනය සඳහා නොව, අනාගත ආර්ථික වර්ධනයට අඩිතාලම දමන නිෂ්පාදන ආයෝජන සඳහා බව මෙයින් ඇඟවෙයි. කෙටියෙන් කිවහොත්, ණය ගැනීම් තවදුරටත් සිදු වුවත්, එම ණය මුදල් යොදවනු ලබන්නේ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් වන ආයෝජන කටයුතු සඳහා බවයි.
2026 අයවැයේ මූල්‍ය විනය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රතිපත්තිමය තේරීමක් පමණක් නොව, නෛතික අවශ්‍යතාවක් ද වේ. මෑතකදී පනවන ලද මහජන මූල්‍ය කළමනාකරණ පනත (PFMA) මගින් අයවැය හිඟය, රාජ්‍ය ණය සහ මූලික වියදම් සඳහා ව්‍යවස්ථාපිත සීමා (Statutory Limits) ස්ථාපිත කිරීම මගින් මෙම විනය ආයතනගත කරයි. PFMA මගින් මූල්‍ය වගකීම නීත්‍යනුකූලව තහවුරු කර ඇති අතර, ශිෂ්ට භාවිතය ස්ථිර පාලනයක් බවට පරිවර්තනය කරයි. 2026 අයවැය කෙටුම්පත මගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක මූලික අතිරික්ත ඉලක්කයක් සඳහන් කරන අතර, මෙය අවම තීරණාත්මක සීමාවක් ලෙස සැලකිය යුතුය.
2. ආදායම් ගොඩනැංවීම සහ බදු ප්‍රතිසංස්කරණ: 2026 අයවැය මගින්, බදු අනුකූලතාව ශක්තිමත් කිරීමේ සහ රටේ ආදායම් පදනම පුළුල් කිරීමේ රජයේ උපායමාර්ගය තහවුරු කරයි. ඒ අනුව, සමස්ත ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 5,300ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එයින් රුපියල් බිලියන 4,910ක් බදු ආදායම් මගින් දායක වීමට නියමිතය. මෙම ඉහළ ආදායම් ඉලක්කයේ වැදගත්ම දර්ශකය වන්නේ, 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.3ක් ලෙස වාර්තා වූ ආදායම, 2026 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කිරීමයි.
වඩාත් සාධාරණ බදු ව්‍යුහයක් කරා මාරු වීමට නම්, ඍජු බදු පදනම සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට සිදුවන අතර (උදා: ධනය කේන්ද්‍ර කරගත් නව බදු ක්‍රම, ඉහළ වටිනාකමක් ඇති දේපළ සඳහා වන ආදායම් බද්දක් වැනි දේ අනාගතයේදී හඳුන්වා දීමට සිදු විය හැකිය), වක්‍ර බදු ආදායම් ශක්තිමත් කිරීම ද සිදු කළ යුතුය. කෙසේ වෙතත්, වක්‍ර බදු ආදායම් ශක්තිමත් කිරීමේ සහ බදු පදනම පුළුල් කිරීමේ අරමුණින්, 2026 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, වටිනාකම් එකතු කළ බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා වන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට ද අයවැය යෝජනා කරයි. මෙම වක්‍ර බදු පදනම පුළුල් කිරීම මගින් අනාගතයේදී වැට් බදු අනුපාත අඩු කිරීමට හැකි වී මහජනතාවට සහනයක් සැලසීම අපේක්ෂා කෙරේ.
ඩිජිටල්කරණය (Digitalization) නව බදු ක්‍රමයේ තීරණාත්මක කුලුනකි:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) බදු පරිපාලන කාර්යභාරයන් නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම මගින් කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ ආදායම් එකතු කිරීම ඉහළ නැංවෙනු ඇත.
3. වියදම් තාර්කිකකරණය සහ සමාජ ආරක්ෂණය: 2026 සඳහා වන සමස්ත රජයේ වියදම් රුපියල් බිලියන 7,057ක් ලෙස අයවැයගත කර ඇත. රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව තිබියදීත්, සමාජ ආරක්ෂණය ප්‍රධාන ප්‍රමුඛතාවක් ලෙස පවතින අතර, මූල්‍ය සමානාත්මතාව (Fiscal Equity) කෙරෙහි රජයේ කැපවීම මෙයින් අවධාරණය කරයි. උදාහරණයක් ලෙස; අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 205ක් වෙන් කර ඇත. පෙර පැවැති විශ්වීය යෝජනා ක්‍රම මෙන් නොව, මේවා අලුතින් සංවර්ධනය කරන ලද ඩිජිටල් සමාජ ලේඛනයක් (Digitized Social Registry) මගින් මෙහෙයවනු ලබන අතර, ආධාර අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙත ළඟා වන බව සහතික කරයි, අනිසි භාවිතය වළක්වයි. මෙම වෙනස, දේශපාලනිකව තෝරාගත් සහනාධාර පද්ධතියකින්, ඉලක්කගත සමාජ ආරක්ෂණ දැලක් (Targeted Social Safety Net) වෙත තාර්කික සහ අත්‍යවශ්‍ය මාරු වීමක් සනිටුහන් කරයි.
4. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ පාලනය: පාලනයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම යථා තත්වයට පත් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් සියයට 75ක් පමණ වක්‍ර බදු මාර්ගයෙන් ලැබෙන බැවින්, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන සහ අකාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සඳහා වෙන් කරන අරමුදල් නිසා සාමාන්‍ය මහජනතාවට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ.
රාජ්‍ය සේවා සහ රාජ්‍ය අයිතිය සහිත ව්‍යාපාර (SOE) ප්‍රතිසංස්කරණ:
ඩිජිටල් ප්‍රසම්පාදන තාක්ෂණය මගින් පිරිවැය අඩු කිරීමෙන් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් ආර්ථික ප්‍රතිලාභ සපයනු ලබයි. මෙම තාක්ෂණය, පරිපාලනමය ඉහළ පිරිවැය අවම කරන අතර, ක්‍රියාකාරි චක්‍ර කාලය (cycle times) වේගවත් කරයි, එමෙන්ම දත්ත මත පදනම් වූ (data-driven) අවබෝධයක් ලබා දෙයි. මෙම ක්‍රියාවලිය මගින් මූල්‍ය වර්ෂය සඳහා වෙන් කරන ලද රාජ්‍ය අරමුදල් අදාළ ව්‍යාපෘති අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නිසි පරිදි භාවිත කෙරෙනු ඇති අතර, අවසානයේදී රටේ බදු ගෙවන මහජනතාව සඳහා වඩා හොඳ සේවාවක් සැපයීමට එය උපකාරි වනු ඇත. වර්තමානයේදී, රජයේ ප්‍රසම්පාදන පද්ධතියේ පවතින දැඩි අකාර්යක්ෂමතාව හේතුවෙන් රාජ්‍ය අරමුදල්වල ඉහළ ප්‍රතිශතයක් භාවිත නොකළ අරමුදල් ලෙස නැවත භාණ්ඩාගාරය වෙත යොමු වේ.
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත: රාජ්‍ය අයිතිය සහිත ව්‍යාපාර (SOEs) පාලනය සහ කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මෙම නව පනත හඳුන්වා දෙන බව අයවැයෙන් පැහැදිලි කෙරේ. SOE හිමිකාරිත්ව සමාගම් පනත: රාජ්‍ය අයිතිය සහිත ව්‍යාපාර සඳහා වඩාත් විනිවිදභාවයකින් යුත් සහ කාර්යසාධන-නැඹුරු (performance-driven model) පාලන ආකෘතියක් ආයතනගත කිරීම සඳහා ඉදිරියේදී SOE හිමිකාරිත්ව සමාගම් පනතක් හඳුන්වා දෙනු ඇත.
ඩිජිටල් ප්‍රසම්පාදන තාක්ෂණය සහ කාර්තුමය SOE වාර්තාකරණය මගින් වාර්ෂිකව රුපියල් බිලියන 40ක් ඉතිරි කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, මහජනතාව මත පවතින බදු අනාගතයේදී අඩු කරනු ඇත.
5. වර්ධනයට නැඹුරු ආයෝජන සහ ආර්ථික ප්‍රකෘතිය: ආයෝජන මගින් මෙහෙයවනු ලබන ප්‍රකෘතියක් මත පදනම්ව, අයවැය මධ්‍ය කාලීන වර්ධනය සියයට 7ට වඩා ඉහළ ඉලක්ක කරයි. 2026 අවසන් වන විට අර්බුදයට පෙර දළ දේශීය නිෂ්පාදිත මට්ටම් කරා ළඟා වීමට අපේක්ෂා කෙරේ. රුපියල් බිලියන 1,369ක ප්‍රාග්ධන වෙන් කිරීම ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්තිය සහ තාක්ෂණය වැනි පරිවර්තනීය ආයෝජන කෙරෙහි අවධානය යොමු කරයි. ග්‍රාමීය දරිද්‍රතාව ඍජුවම ආමන්ත්‍රණය කිරීමට අරමුණු කරන මෙම රාජ්‍ය ආයෝජන, පෞද්ගලික අංශයේ සහභාගිත්වය දිරි ගැන්වීම සඳහා නිර්මාණය වී ඇත.
නිගමනය
2026 අයවැය හුදෙක් මූල්‍ය මාර්ග සිතියමක් නොවේ. එය ශ්‍රී ලංකාව සිය ආර්ථිකය පාලනය කරන ආකාරය පිළිබඳ ව්‍යුහාත්මක යළි නිර්වචනයකි. මූල්‍ය වගකීම සමෝධානික වර්ධනය සමග පෙළගැස්වීමෙන් සහ විනිවිදභාවය නීතියට කාවැද්දීමෙන්, රජය පෙර පැවැති දූෂිත භාවිතයන්ගෙන් තීරණාත්මක ලෙස ඉවත් වීමක් සංඥා කරයි. කෙසේ වෙතත්, නව බදු ක්‍රම, SOE නීති සහ ඩිජිටල් ප්‍රසම්පාදන වැනි දැවැන්ත ප්‍රතිසංස්කරණ රාශියක් එකම මූල්‍ය වර්ෂයක් තුළදී ක්‍රියාත්මක කිරීමේදී ඇති වන නිලධාරිවාදි ප්‍රමාදය සහ ආයතනික ප්‍රතිරෝධයේ අවදානම කළමනාකරණය කිරීම මෙම අයවැයේ සාර්ථකත්වය සඳහා තීරණාත්මක අභියෝගයක් වනු ඇත. මෙම අයවැය, ක්‍රියාත්මක කිරීමේ අභියෝග සාර්ථකව ජය ගන්නේ නම්, ශ්‍රී ලංකාව චක්‍රීය අස්ථාවරත්වයේ සිට තිරසාර ජාතික පුනර්ජීවනය වෙත සංක්‍රමණය වූ මොහොත සනිටුහන් කළ හැකිය.
(***)
රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චන්දික ගුණසිංහ
2025 නොවැම්බර් මස 17
105
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
946
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2552
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුනරුදයට අතවනන අයවැය
pj Tuesday, 18 November 2025 07:16 AM
දරන තනතුරට සහ පිළිගත් ආර්ථික මූලධර්මයනට නොගැලපෙන ලෙස ආණ්ඩුචට තදින් කඩෙි යමින් සිටින බවකි. උපකුලපති තනතුරකට ද යෝජනා විය හැකි තරමේ පසුබිමක් සහිත ලිපියකි...
seneTuesday, 18 November 2025 11:16 AM
විශාල දරුනු වචන උඩ ගොඩ නැගපු පුස්සක් , ඔබගේ අදහස කදිමයි.