මීගමුව බන්ධනාගාරයේ පසුගිය ඉරිදා හා සඳුදා  (ජූලි 5 සහ 6) ඇති වූ සිරකරුවන්ගේ කැරැල්ල, රජයට එරෙහිව භාවිත කිරීමට සංවේදී මාතෘකා සොයමින් සිටින විපක්ෂයේ දේශපාලන පක්ෂවලට නම් හදිසියේ පහළ වූ නිධානයකි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු ඇතුළුව අවම වශයෙන් 27 දෙනෙක් මියගියහ. තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටිති.

එම සිද්ධිය වන තෙක් මෙරට විරුද්ධ පක්ෂ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය ගෙන එන්නට සැරසෙන බව කියන යෝජනාවකට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටියේය. එම යෝජිත සංශෝධනයෙන් රජය වංචාවක් කරන්නට සැරසෙන බව මහජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන් දැරූ උත්සාහය සාර්ථක වූයේ දැයි පැහැදිලි නැත. මන්දයත් අධිකරණ පරිපාලනය වැනි කරුණු බහුතර ජනතාවට බෙහෙවින් ආගන්තුක හා ඔවුන්ගෙන් බොහෝ සෙයින් ඈත් වූ මාතෘකා වන බැවිනි.

ආණ්ඩුව ගෙන එන්නට යන බව කියන මෙම සංශෝධනයට විරුද්ධව උද්ඝෝෂණය කරන සමහර පිරිස් තමන් එම සංශෝධනයට විරුද්ධ නොවන බවත් විරුද්ධ වන්නේ එය සම්මත කර ගන්නට යන ආකාරයට බවත් කියති. පසුගියදා ශ්‍රී ලංකා නීතීඥයන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් පවත්වන ලද රැස්වීමේදීද බොහෝ දෙනෙක් ඒ බව පැවසූහ. එහෙත් එය සම්මත කර ගත යුතු ආකාරය පිළිබඳව මෙම විරෝධතා දක්වන්නන් අතර එකඟතාවක් ඇති බවක් ද පෙනෙන්නට නැත.

මෙසේ විරුද්ධ පක්ෂවලට ජනතාව දිනාගත හැකි ආකාරයේ සටන්පාඨ නැතිව සිටින පසුබිමක, ජීවිත දුසිම් ගණනාවක් බිලිගත් බන්ධනාගාර කැරැල්ලක් වැනි සංවේදී සිදුවීමක් නිසැකවම නිධානයක් පහළ වීමකි. එබැවින්, මෙම බන්ධනාගාර කැරැල්ල මුල් කරගනිමින් රජයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පාර්ලිමේන්තුව භාවිත කිරීමට විපක්ෂය දැක්වූ හදිසිය තේරුම් ගත හැකිය. බන්ධනාගාරය තුළ සහ ඒ අවට සාමය උදාවීමටත් පෙර, මෙන්ම තුවාලකරුවන් සහ මියගියවුන් පිළිබඳ සැබෑ සංඛ්‍යාව සොයා ගන්නටත් පෙර, විපක්ෂයේ නියෝජිතයෝ මේ පිළිබඳව පාර්ලිමේනතුවේ විවාදයක් ඉල්ලා සිටීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.

එසේ වුව ද, බන්ධනාගාර රැඳවියන් දෙදහසකට අධික පිරිසකගේ සහ නිලධාරීන් දුසිම් ගණනාවකගේ ජීවිත අනතුරට හෙළු මෙම දින දෙකේ කලහකාරී තත්වයේ වගකීම, අවම වශයෙන් සදාචාරාත්මකව හෝ බාර ගැනීමට රජයට සිදුවේ. පරීක්ෂණවලදී රජයේ පාර්ශ්වයෙන් හෝ නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් හෝ සිදුවූ කිසියම් අතපසුවීමක් අනාවරණය වුවහොත් ඔවුනට ඊට වඩා වැඩි වගකීමක් බාරගැනීමට ද සිදුවනු ඇත.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳුදා බන්ධනාගාරය බලා යන අතරතුර මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ තමන් මෙම සිද්ධියේ වගකීම බාරගන්නා බවයි. එහෙත් එම අවස්ථාව වන විට සිද්ධියේ බරපතළකම, විනාශයේ ප්‍රමාණය සහ සිද්ධියට හේතු වූ ක්ෂණික මෙන්ම දිගු කාලීන හේතු පිළිබඳව ඔහු සම්පූර්ණයෙන්ම දැනුවත් වී නොසිටියේය.

ඔහු එසේ මෙම සිද්ධියට සදාචාරමය වගකීම හෝ බාර ගැනීම අගය කළ යුතු වුව ද, ඔහුගේ ප්‍රකාශය එක්තරා දුරකට අපැහැදිලි එකකි. වගකීම බාරගැනීම යන්නෙන් ඔහු අදහස් කළේ කුමක්ද? නිසැකවම විපක්ෂය ඉල්ලා සිටින දෙය, එනම් ඔහුගේ ඉල්ලා අස්වීම නම් නොවේ.

අනෙකුත් සෑම ප්‍රශ්නයකදීම මෙන්ම, මේ ප්‍රශ්නයේදී ද විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද අතීත කියුම් කෙරුම් ඉස්මතු වන්නේ ඒ දෙපාර්ශ්වයම අසීරුවට පත් කරමිනි. උදාහරණයක් වශයෙන්, බන්ධනාගාර අයත් වන අධිකරණ අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂය කියා සිටින විට, අතීත ආණ්ඩු යටතේ මෙවැනි ව්‍යසන සිදු වූ අවස්ථාවල දී ඉල්ලා අස්වූයේ කවුද යන ප්‍රශ්නය පැන නගී.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඉකුත් අඟහරුවාදා එවැනි තත්වයකට මුහුණ දුන්නේය. ඔහු අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඉල්ලා අස්විය යුතුයැයි ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ විට ඔහු ද නියෝජ්‍ය ඇමැතිවරයකු වූ යහපාලන රජය සමයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 300 කට ආසන්න පිරිසක් මියගිය අවස්ථාවේදී ඉල්ලා අස්වූයේ කවුදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

එවිට පෙරේරා මහතා කෝපයෙන් කෑ ගසමින් ජනමාධ්‍යවේදියාගේ හඬ යටපත් කිරීමට උත්සාහ කළේය. මාධ්‍යවේදියා ප්‍රශ්න කරන්නේ සජබ මන්ත්‍රීවරයකු අමාත්‍ය නානායක්කාර මහතාට ඉල්ලා අස් වන ලෙස කියා සිටීමේ සදාචාරාත්මකභාවය පිළිබඳවයි යන්න පෙරේරා මහතාට පැහැදිලි වන්නට ඇත.

විරුද්ධ පක්ෂ මෙන්ම ඇතැම් ජනමාධ්‍යවේදීහු ද ආණ්ඩු පක්ෂයට ද මෙසේම ඔවුන්ගේ අතීත කියුම් කෙරුම් සිහිපත් කරති. 2020 දී මහර බන්ධනාගාරයේ මෙවැනිම ගැටුමකින් රැඳවියන් පිරිසක් මියගිය විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තර්ක කළේ, රැඳවියන් රජයේ බාරයේ පසුවන බැවින්, රජය ඔවුන්ගේ බාරකරු වශයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි. අද විපක්ෂයේ ඇතැම් පිරිස් මෙම ප්‍රකාශය සිහිපත් කරමින් මීගමුව බන්ධනාගාරයේදී මියගියවුන්ගේ ජීවිතවලට ආණ්ඩුව වගකිව යුතුයැයි කියති.

අතීතයේ දී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ ආණ්ඩු යටතේ බන්ධනාගාර තුළ කැරලි සිදුවී ඇත. ඒ අතුරින් දරුණුතම කැරැල්ල වූයේ 1983 දෙමළ විරෝධී කළු ජූලිය සමයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලයි. එහිදී බන්ධනාගාර නිලධාරීන්ගේ සහ හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව රැඳවියන් සහ පිටස්තර පුද්ගලයන් විසින් දෙමළ රැඳවියෝ 53 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ.

මෙහි ඇති විශේෂත්වය නම්, මෙම ප්‍රහාර එක් දිනකින් හෝ අඛණ්ඩව හෝ නොව විටින් විට, දින දෙකකදී සිදුවීමයි. එයින් නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල මැදිහත් වීම මැනවින් පැහැදිලි වේ. මේ දක්වා මෙම ඝාතන සම්බන්ධයෙන් කිසිවකු අධිකරණයකින් වරදකරු වී නැත.

පසුව, 2000 ඔක්තෝබර් 24-25 දිනවල බණ්ඩාරවෙල, බිඳුණුවැව පිහිටි රජයේ පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයකට පිහි, පොලු සහ වෙනත් ආයුධ රැගෙන කඩා වැදුණු පිටස්තර මැර පිරිසක් කොටි සංවිධානය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු, තරුණ දෙමළ රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තවත් 14 දෙනකුට බරපතළ තුවාල කළහ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ කිසිවෙක් මෙහි වගකීම අවම වශයෙන් සදාචාරාත්මකව හෝ බාර නොගත්හ.

කොළඹ මහාධිකරණය විසින් 2003 වසරේදී මෙම සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු වරදකරුවන් කර ඔවුන්ට මරණ දඬුවම නියම කළ ද, 2005 මැයි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුහු නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ජනතා විමුක්ති පෙරමුණ 1988 වසරේ දී කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කර, එහි සිරගත කර සිටි ඔවුන්ගේ සාමාජිකයන් 170 දෙනකු පමණ මුදාගත්තේය. එකල අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා මෙම සිද්ධියේ වගකීම බාර ගනිමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. අඟහරුවාදා දින මාධ්‍යවේදියාට කෑගසන අවස්ථාවේ දී අජිත් පී. පෙරේරා මහතා මෙම සිදුවීම ද සිහිපත් කළේය. එහෙත් 1983 වැලිකඩ බන්ධනාගාර සමූල ඝාතනය සිදු වූ අවස්ථාවේදී ද බන්ධනාගාර බාරව සිටියේ නිශ්ශංක විජයරත්න මහතා බවත් එම අවස්ථාවේදී ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය නොකළ බව අජිත් පී. පෙරේරා මහතාට අමතක විය. නැතහොත් ඔහු එය සිතාමතාම මග හැරියේය.

2012 වසරේ දී, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කළ විරෝධතාවකින් අනතුරුව විශාල ගැටුමක් ඇති වූ අතර, කලහකාරී රැඳවියන් මර්දනය කිරීමෙන් පසු එදින රාත්‍රී එහි සිටි රැඳවියෝ 27 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ඔවුන්ගෙන් ඇතැම් රැඳවියන් නම් අඬ ගසා කැඳවාගෙන පසුව හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු බව කියැවිණි. මේ සම්බන්ධයෙන් 2022 ජනවාරි මාසයේ දී මරණ දඬුවම ලැබූ බන්ධනාගාර කොමසාරිස් එමිල් ළමාහේවාගේ මහතා 2024 අගෝස්තු මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

2020 නොවැම්බර් මාසයේ දී මහර බන්ධනාගාරයේ ද මෙවැනිම තත්වයක් ඇති විය. එහිදී රැඳවියන් බන්ධනාගාරය තුළ කොවිඩ් -19 රෝගයට අදාළ පීසීආර් පරීක්ෂණ වැඩියෙන් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් කලහකාරී තත්වයකට හැරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රැඳවියන් 11 දෙනකු මියගොස් තවත් රැඳවියන් 117 දෙනකුට බරපතළ තුවාල සිදු විය. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයකට ද ගිනි තබා තිබුණි.

රැඳවියන් රජයේ බාරයේ පසුවන බැවින්, රජය ඔවුන්ගේ බාරකරු ලෙස ක්‍රියා කර ඔවුන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී කතා කරමිනි. පසුගිය දින කිහිපය පුරා විපක්ෂය මෙම ප්‍රකාශය නැවත නැවතත් උපුටා දක්වමින් සිටියි. දැනට රටේ ජනාධිපතිවරයා වන දිසානායක මහතා එදා කියූ දේ අද ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයැයි ඔවුහු කියා සිටිති. එහෙත් දිසානායක මහතා මීගමුව සිද්ධිය ගැන මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

1971 තරම් ඈත කාලයේදීද බන්ධනාගාර තුළ තදබදය බරපතළ ගැටලුවක් වූ අතර එහෙයින් එම වසරේ පැන නැගුණු ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූවන් රඳවා තබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල දෙකක් සහ රජයේ ගොවිපොළ කිහිපයක් පුනරුත්ථාපන කඳවුරු බවට පත් කළේය. එහෙත් ඉන් පසු බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් බන්ධනාගාර තුළ පවතින මෙම තදබදය අවසන් කිරීම සඳහා ඵලදායී පියවරක් නොගත්තේය.

වත්මන් තත්වයට තවත් කරුණු කිහිපයක් ද හේතු වී තිබේ. මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් බන්ධනාගාර පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ පිළිබඳව පැහැදිලි ස්ථාවරයක සිටි බව පෙනෙන්නේ නැත. දැනට බන්ධනාගාර පවත්වාගෙන යනු ලබන්නේ චරිත ශෝධනාගාර වශයෙන් නොව දඬුවම් ලෙස පුද්ගලයන් සිර කර තබා ගෙන සිටීම සඳහාය. එහෙයින් ඒවා තුළ පවතින සමාජයට වෛර කරන්නන් බිහි කිරීමේ පරිසරය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් සිටි පාලකයන්ට නොතිබිණි.

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ යන ආදර්ශ පාඨය බන්ධනාගාර තාප්ප සැරසීම සඳහා යොදා ගනු ලැබුව ද එම තාප්ප ඇතුළත පවතින සැබෑ යථාර්ථය එම පාඨයෙන් සන්නිවේදනය කෙරෙන අදහසට හාත්පසින්ම පටහැනි වේ. චරිත ශෝධනය පිළිබඳ අදහස නොතකා හරිනු ලැබ ඇත්තේ හුදෙක් මුදල් ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නයක් නිසා පමණක් නොවේ. එතැන බලයේ සිටි පාලකයන්ගේ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් ද ඇත. තදබදය වැනි කටුක තත්වය ඔවුන් නොදුටුවේ එහෙයිනි. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරෙන අයුරින් පසුගිය ආණ්ඩුව නීති සංශෝධනය කළේ එහෙයිනි. එම නීතිය වෙනස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. එය සාර්ථක වුව ද මෙම ප්‍රශ්නයේදී එය ද සුළු කටයුත්තක් පමණි. මේ තත්වය වෙනස් කිරීමට බොහෝ දුර යා යුතුව ඇත. එතෙක් අඩු තරමින් බන්ධනාගාරවල සාමය හා ජීවිත හෝ රැක ගත යුතුව ඇත.

(*** එම්.එස්.එම්.අයුබ්)