මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදයේ වැඩිම අවධානයක් දිනාගෙන තිබෙන්නේ ආර්ථිකය හෝ මැතිවරණය නොව, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවය. එයට හේතු වී ඇත්තේ ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සූදානම් වීමයි. ආණ්ඩුවේ පැහැදිලි කිරීම වන්නේ නඩු ගොඩ ගැසීමේ ප්‍රශ්නය විසඳීම සඳහා පළපුරුදු විනිසුරුවන් තවදුරටත් සේවයේ තබා ගැනීම අවශ්‍ය බවයි. එහෙත් නීති ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයන්, හිටපු විනිසුරුවරුන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරන බවයි.

මෙය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ විවාදයක් පමණක් නොවේ. මෙය රාජ්‍ය බලය සහ අධිකරණ බලය අතර තිබිය යුතු තුලනය පිළිබඳ ප්‍රශ්නයකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය මැන බැලෙන්නේ එහි මැතිවරණ පැවැත්වෙන ආකාරයෙන් පමණක් නොව, අධිකරණයට දේශපාලන බලයෙන් තොරව කටයුතු කළ හැකිද යන්නෙනි.

වත්මන් ගැටලු‍ව නඩු ප්‍රමාදය ශ්‍රී ලංකාවේ අලු‍ත් ගැටලු‍වක් නොවේ. සිවිල් නඩුවක් අවසන් වීමට වසර දහයක්, පහළොවක් ගත වන අවස්ථා තිබේ. අපරාධ නඩු ද වසර ගණනාවක් පුරා ඇදෙයි. එය ජනතාවගේ විශ්වාසය බිඳ දමන ප්‍රශ්නයකි.

එහෙත් මෙහි මූලික ගැටලු‍ව වන්නේ නඩු ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ද යන්නයි. ඇත්ත වශයෙන්ම නඩු ගොඩ ගැසීමට හේතු වී ඇත්තේ විනිසුරුවන්ගේ හිඟය, අධිකරණ පරිපාලනයේ දුර්වලතා, නව තාක්ෂණය භාවිත නොකිරීම, නඩු කළමනාකරණයේ ප්‍රමාදය සහ ප්‍රමාණවත් අධිකරණ සංඛ්‍යාවක් නොතිබීමය.

එවැනි ගැටලු‍වකට විසඳුම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම විය යුතුද? නැතහොත් අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම විය යුතුද? යන ප්‍රශ්නය සාධාරණ ලෙස මතුවේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නැත. එය ස්වාධීන බවට ජනතාවගේ විශ්වාසය ද නොබිඳිය යුතුය.

 

ඉතිහාසය අපට උගන්වන පාඩම

ශ්‍රී ලංකාවේ අධිකරණය හා දේශපාලනය අතර ගැටුම අලු‍ත් දෙයක් නොවේ. 1972 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය ශක්තිමත් කෙරිණි. 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් සමග බලය පිළිබඳ නව සංවාදයක් ආරම්භ විය.

2013 වසරේ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්වූ සිදුවීමක් විය. ඒ අවස්ථාවේ රටේ ඇතිවූ තත්වය කාටත් තවමත් මතකය. එවකට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඩ නැගූ සමහරුන් අද සිටින්නේ වත්මන් ආණ්ඩුවේය.

ඉන් අනතුරුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට උත්සාහ කළ අතර, 20 වැනි සංශෝධනයෙන් නැවත විධායක බලය පුළුල් විය. 21 වැනි සංශෝධනයෙන් යම් තුලනයක් ඇති කළ ද, ආයතනික ස්වාධීනත්වය පිළිබඳ ගැටලු‍ව සම්පූර්ණයෙන්ම විසඳී නැත. 17 වැනි සංශෝධනයේ සිට 21 වැනි සංශෝධනය දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කීපයේම සාකච්ජා කළ එක් කාරණයක් වූයේ විධායක ජනාධිපතිවරයා අනෙක් ක්ෂේත්‍ර වෙත මුදාහරින බල අඩු කිරීමයි. ජවිපෙ යනු ඒ හැම සටනකම මුලින්ම සිටගත් බලවේගයකි.

ඉතිහාසය අපට උගන්වන ලොකුම පාඩම වන්නේ, ආණ්ඩු වෙනස් වුවත් බලයේ ස්වභාවය වෙනස් නොවන බවයි.

 

බලයෙන් මොළය දූෂණය කිරීම

ඉංග්‍රීසි දේශපාලන චින්තක ලෝඩ් ඇක්ටන් ප්‍රකාශ කළේ,”‍ “Power tends to corrupt, and absolute power corrupts absolutely.””‍ යනුවෙනි. මෙය ලෝක දේශපාලනයේ සදාකාලික සත්‍යයකි.

ඊටත් පෙර ප්‍රංශ දාර්ශනික මොන්ටෙස්කියු පෙන්වා දුන්නේ, නිදහස ආරක්ෂා කළ හැක්කේ බලය බෙදා වෙන් කිරීමෙන් පමණක් බවයි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙකා පාලනය කළ යුතුය. එම සංකල්පය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම බවට පත්ව ඇත. අද අප දකින විශාලම ගැටලු‍ව වන්නේ විපක්ෂයේ සිටින විට ස්වාධීන ආයතන ගැන කතා කරන බොහෝ දේශපාලන බලවේග, බලයට පැමිණි පසු ඒ ආයතන තම දේශපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. බලය පුද්ගලයා පමණක් නොව ඔහුගේ චින්තනය ද වෙනස් කරයි.

 

ලාල් විජේනායකගේ ඉල්ලා අස්වීම

මෙම සංවාදය තවත් බරපතළ කළ සිදුවීමක් වූයේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහායකයකු මෙන්ම උපදේශකවරයකු ලෙසින් සි​ටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා මෙතැන දී ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමයි.

ඔහු දශක ගණනාවක් පුරා නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි. වාමාංශිකයෙකි. එවැනි පුද්ගලයකු මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මූලධර්මය එකඟතාවක් නොමැති බව පෙන්වමින් සිය ධුරයෙන් ඉවත් වීම දේශපාලනිකව සුළු සිදුවීමක් නොවේ.

ආණ්ඩුවකට එරෙහි විවේචන විපක්ෂයෙන් පැමිණීම සාමාන්‍ය දෙයකි. එහෙත් ආණ්ඩුවටම සමීප පුද්ගලයන් මූලධර්මය ප්‍රශ්න මත ඉවත් වීමට තීරණය කිරීම එම ආණ්ඩුව නැවත සිතා බැලිය යුතු සංඥාවකි.

මෙය පුද්ගලයකුගේ ඉල්ලා අස්වීමක් පමණක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රජාව තුළ ඇති කනස්සල්ලේ ප්‍රකාශනයක් ලෙස ද කියැවිය හැකිය.

 

ඉන්දියාවෙන් අපට ඉගෙන ගත හැකි පාඩම

ශ්‍රී ලංකාවට ආසන්නතම උදාහරණය ඉන්දියාවයි. 1973 වසරේ Kesavananda Bharati නඩු තීන්දුවෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා වැදගත් මූලධර්මයක් ස්ථාපිත කළේය. එනම්, පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි වුව ද, ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය (Basic Structure) විනාශ කළ නොහැකි බවයි.

එම මූලික ව්‍යුහයට අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ බලය බෙදා වෙන් කිරීම අයත් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එම තීන්දුවෙන් පසු ඉන්දියාවේ කිසිදු ආණ්ඩුවකට, කොතරම් විශාල පාර්ලිමේන්තු බලයක් තිබුණ ද, අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කරන සංශෝධන පහසුවෙන් සිදු කළ නොහැකි විය. ශ්‍රී ලංකාව ද මෙම අත්දැකීමෙන් ඉගෙන ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ ආණ්ඩුවක යහපත් චේතනාවන් නොව, ආණ්ඩුවටත් සීමා පනවන ශක්තිමත් ආයතනයි.

නඩු ගොඩ ගැසීමේ ප්‍රශ්නයට සැබෑ විසඳුම

නඩු ගොඩ ගැසීමේ ප්‍රශ්නය සැබෑවකි. එය විසඳිය යුතුය. එහෙත් ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රධාන විසඳුම විය නොහැකිය. අවශ්‍ය වන්නේ,

• නව විනිසුරුවන් පත් කිරීම.

• නව අධිකරණ පිහිටුවීම.

• ඩිජිටල් නඩු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම.

• මැදිහත්කරණය සහ විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම පුළුල් කිරීම.

• අධිකරණ පරිපාලනය නවීකරණය කිරීම.

මෙම පියවර නොගෙන විශ්‍රාම වයස පමණක් වෙනස් කිරීමෙන් මූලික ගැටලු‍ව විසදෙන්නේ නැත.

ආණ්ඩුවේ අවසානයේ ආරම්භයද?

මෙම සිදුවීම පමණක් නිසා ආණ්ඩුවක් අවසන් වන බව පැවැසීම අතිශයෝක්තියකි. එහෙත් ඉතිහාසය පෙන්වා දෙන්නේ ආණ්ඩු දේශපාලන වශයෙන් පිරිහීමට පටන් ගන්නේ තමන් බලයට පැමිණීමට හේතු වූ මූලධර්ම අත්හැර දැමූ විට බවයි.

මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ යහපාලනය, විනිවිදභාවය සහ ස්වාධීන ආයතන පිළිබඳ විශාල බලාපොරොත්තු ජනතාව තුළ ඇති කරමිනි. එවැනි ආණ්ඩුවක් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැකයක් මතු කරන තීරණ ගන්නා විට ජනතාවගේ විශ්වාසය දුර්වල වීම ස්වාභාවිකය.

ආර්ථික අපේක්ෂා තවමත් සම්පූර්ණ වී නැති මොහොතක, ආයතනික ස්වාධීනත්වය පිළිබඳ මතභේදයක් ද එකතු වීම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් අහිතකර විය හැකිය.

අවසානය

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම යනු විනිසුරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම පමණක් නොවේ. එය සාමාන්‍ය පුරවැසියාගේ නිදහස, අයිතිවාසිකම් සහ සාධාරණය ආරක්ෂා කිරීම සමග ගැට ගැසී ඇත. අද බලයේ සිටින්නේ කවුරුන් ද යන්නට වඩා වැදගත් වන්නේ හෙට බලයට එන ඕනෑම ආණ්ඩුවකට ද අධිකරණයේ ස්වාධීනත්වයට අත තැබීමට නොහැකි වන පරිදි ආයතන ගොඩ නැගීමයි.

ආණ්ඩු පැමිණේ. ආණ්ඩු යයි. දේශපාලන නායකයා වෙනස් වෙයි. එහෙත් රටක නිදහස ආරක්ෂා කරන්නේ ශක්තිමත් ආයතනයි. එබැවින් අද අප රැකගත යුත්තේ පුද්ගලයන් නොව ආයතනයි. තාවකාලික දේශපාලන වාසිය නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයයි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යනු, අවසානයේ දී, ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි.

 

(***)