ජාතික මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය විනය යනු රාජ්‍ය මූල්‍ය කටයුතු දුර දක්නා නුවණින් සහ තිරසාරව පවත්වාගෙන යාමය. ප්‍රායෝගිකව ගත් කල, ආර්ථික ස්ථායීතාව දෙදරා යා හැකි අනවශ්‍ය ණය ගැනීම් හා නිදන්ගත අයවැය හිඟය වළක්වා ගනිමින්, අයවැය හිඟය සහ රාජ්‍ය ණය තිරසාර මට්ටමක පවත්වා ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.

දියුණු හෝ දියුණු වෙමින් පවතින කවර රටක වුව ද ආර්ථිකයේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන පරිදි රජයේ වියදම්, ආදායම් සහ ණය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින් භාණ්ඩ හා සේවා මිල, බැංකු පොලී අනුපාත සහ ඩොලරයේ අගය වැනි සාධක ස්ථාවර මට්ටමක පවත්වා ගන්නා අතරම, අඛණ්ඩ ආර්ථික වර්ධනයක් සහ යහපත් රැකියා උත්පාදනයක් වැනි පුළුල් සාර්ව ආර්ථික ඉලක්ක ද ජනතාවට හිතකර අයුරින් තහවුරු කරගත හැකිය.

රාජ්‍ය මූල්‍ය විනය තීරණය කරන ප්‍රධාන ආර්ථික විද්‍යාත්මක සාධක විචක්ෂණශීලී අයවැයකරණය සහ වියදම් පාලනය: යථාර්ථවාදී අයවැයක් සකස් කර ඊට අනුගත වීම මූල්‍ය විනයෙහි කේන්ද්‍රීය ලක්ෂණයයි. අපේක්ෂිත ආදායමට ගැළපෙන පරිදි වියදම් පෙළ ගැස්වීම, අත්තනෝමතික වියදම් වැළැක්වීම සහ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා සඳහා පමණක් මුදල් වෙන් කිරීම මින් අදහස් කෙරේ. අයවැය ඉලක්ක සහ සැබෑ වියදම් අතර පරතරය අවම වීම මෙහි ප්‍රධාන දර්ශකයකි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම: බදු පදනම පුළුල් කර ප්‍රමාණවත් ආදායමක් උත්පාදනය කිරීමෙන්, අධික ලෙස ණය නොවී අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට රජයට හැකියාව ලැබේ.

අයවැය තුලනය සහ හිඟය කළමනාකරණය: දිගින් දිගටම පවතින අයවැය හිඟය මූල්‍ය අවිනයේ සංකේතයකි. එබැවින්, හිඟය ක්‍රමයෙන් අඩු කරමින් එය තිරසාර මට්ටමක පවත්වා ගැනීම රජයේ මූල්‍ය සංයමය පෙන්නුම් කරයි.

ණය කළමනාකරණය සහ තිරසාරභාවය: ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව රාජ්‍ය ණය දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම අනිවාර්ය වේ. ණය සහ පොලී ගෙවීම් හේතුවෙන් අත්‍යවශ්‍ය සංවර්ධන වියදම් කපා හැරීමට සිදුවන තත්වයක් (Crowding out) ඉන් වළක්වයි.

මූල්‍ය නීති සහ පාරදෘශ්‍යභාවය: අයවැය සහ ණය වාර්තා ප්‍රසිද්ධ කිරීම මගින් රජයේ මූල්‍ය සැලසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වගවීම තහවුරු කළ හැකිය.

ජාත්‍යන්තරව පිළිගත් මෙම ආර්ථික විද්‍යාත්මක මූල්‍ය ප්‍රමිති හුදෙක් න්‍යායන්ට සීමා නොකර, වත්මන් රජය ඒවා ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට පත් කර ඇති බව 2024-2026 මූල්‍ය දත්ත මගින් මනාව තහවුරු වේ.

 

රාජ්‍ය මූල්‍ය විනය රටකට වැදගත් වන්නේ ඇයි?

සාර්ව ආර්ථික ස්ථායීතාව සහ විශ්වාසය තහවුරු වීම: මූල්‍ය කටයුතු නිසි පාලනයකට යටත් වීමෙන් ආර්ථිකයේ අත්තිවාරම ශක්තිමත්වේ. අයවැය හිඟය සහ ණය බර දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම හරහා රජයට අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම් හෝ ණය අවදානම්වලට මුහුණ දීමට සිදු නොවේ. එමගින් උද්ධමනය සහ පොලී අනුපාත ස්ථාවර වී, ව්‍යාපාර කටයුතු හා රැකියා උත්පාදනය දිරිගැන්වේ. එසේම, රාජ්‍ය ණය නිසි පාලනයක පවතින විට ආයෝජක විශ්වාසය ඉහළ ගොස්, සංවර්ධන කටයුතු සඳහා අඩු පොලියට ණය ගැනීමේ අවකාශය ද රජයට හිමි වේ.

එහෙත් මූල්‍ය විනයක් නොමැති විට, එනම් විශාල අයවැය හිඟයක් සහ ණය බරක් පවතින විට, ආයෝජක විශ්වාසය පළුදු වී පොලී අනුපාත ඉහළ යන අතර, රටේ ප්‍රාග්ධනය පිටරටට ඇදී යාම හෝ මුදල් ඒකකය අවප්‍රමාණය වීම වැනි අර්බුද නිර්මාණය විය හැකිය. ඒසේම අපගේ රාජ්‍ය ආදායමෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් පෙර ආණ්ඩු ගොඩගැසූ ණය සහ පොලී වාරික පියවීම සඳහා වැය වන බව මෑත කාලීන සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මේ හේතුවෙන් වැටුප්, සහනාධාර සහ සංවර්ධන කටයුතු ආදී අනෙකුත් සියලු‍ම රාජ්‍ය වියදම් සඳහා ඉතිරිව තිබුණේ ආදායමෙන් ඉතා කුඩා කොටසක් පමණි. මෙය ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ දැඩි මූල්‍ය පීඩනය මනාව පෙන්නුම් කරයි.

අප මුහුණ දුන් අර්බුදය නිර්මාණය වූයේ වසර ගණනාවක් තිස්සේ පැවැති මූල්‍ය අවභාවිතය සහ පාලනයකින් තොර ණය කන්දරාව හේතුවෙනි. එහෙත් අද අප දකින ඉතා පහළ ස්ථාවර උද්ධමනය, මූලික වැටුප් වැඩි කිරීම, යටිතල පහසුකම් ව්‍යාපෘති, දිළිඳුකම පිටුදැකීමට හා ප්‍රජාව සවිබල ගැන්වීමට ක්‍රියාත්මක වැඩසටහන්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා දැවැන්ත ප්‍රතිපාදන වෙන් කිරීම්, මෙන්ම රුපියල ස්ථාවර වීම සහ සංචිත ගොඩනැගීම ආදිය යනු අප මෑතකදී ඇති කරගත් මූල්‍ය විනයේ සෘජු ප්‍රතිඵලයි. රජය අයවැය ඉලක්කවලට අනුගත වීම මගින් ලෝකයට දෙන පණිවිඩය වන්නේ “ශ්‍රී ලංකාව දැන් විශ්වාසවන්තයි”‍ යන්නයි. 2027-2028 වන විට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට නැවත පිවිසීමට ද මෙම විශ්වසනීයත්වය අත්‍යවශ්‍ය වේ.

ආර්ථික කම්පනවලට මුහුණ දීමේ හැකියාව: ආර්ථික කම්පන හමුවේ නොසෙල්වී සිටීමට රජයකට ඇති හැකියාව මූල්‍ය විනය මත තීරණය වෙයි. රටේ මූල්‍ය තත්වය සෞඛ්‍ය සම්පන්න නම්, ආර්ථික පසුබෑමක දී වුව ද ණය තිරසාරභාවයට හානි නොවන පරිදි ආර්ථිකය දිරිගැන්වීමේ පැකේජ ලබාදීමට රජයට හැකියාව ලැබේ. එහෙත් එය දුර්වල නම්, අර්බුදයක දී සිදුවන්නේ ජනතාව මත බර පටවමින් වියදම් කපා හැරීමටයි. එබැවින් විනයානුකූල මූල්‍ය පාලනයක් මගින් ආර්ථික අස්ථාවරත්වය පාලනයට අවශ්‍ය ඉඩකඩ (Fiscal space) සහ ආරක්ෂිත ස්ථර (Buffers) නිර්මාණය කර දේ. මෙයට හොඳම උදාහරණය මෑතක දී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවයි. සාමාන්‍යයෙන් මෙවැනි විපතක දී මුදල් අච්චු ගැසීමට හෝ ණය වීමට සිදු වුව ද, මෙවර දැඩි මූල්‍ය විනය හේතුවෙන් නිර්මාණය කරගත් අවකාශය නිසා ආර්ථිකය නොසෙල්වී තබා ගැනීමට රජයට හැකි විය. අපගේ ප්‍රාථමික අතිරික්තය මෙහිදී ආර්ථිකයේ “කම්පන අවශෝෂකය”‍ ලෙස ක්‍රියාකළේය.

ව්‍යුහාත්මක ජයග්‍රහණ: මූල්‍ය විනයක් නොමැති විට විශාල අයවැය හිඟයක් සහ ණය බරක් නිර්මාණය වේ. එහෙත් අයවැය හිඟය ක්‍රමයෙන් අඩු කිරීම සහ ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම මගින් ණය කන්ද විශාල වීම වළක්වා ගත හැකිය. ඒ අනුව, දශක ගණනාවක් පුරා අඛණ්ඩව ඉහළ යමින් 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114ක් දක්වා පුපුරා ගිය රජයේ ණය බර මේ වන විට සියයට 104දක්වා අඩුවී ඇති අතර, 2027 වන විට එය සියයට 96 දක්වා පහළ යනු ඇතැයි ෆිච් ආයතනය පුරෝකථනය කරයි. දශක ගණනාවක් පුරා සියයට 7-8 ක්ව පැවැති නිදන්ගත අයවැය හිඟය, ශක්තිමත් බදු ආදායම් සහ යහපත් වියදම් කළමනාකරණය මත 2025 දී සියයට 4.5 ක ප්‍රතිශෝධිත අගයක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු කරගැනීමට හැකි විය.

අතීතයේදී එක් එක් බෝග සඳහා පවා වෙන වෙනම අමාත්‍යාංශ කැබලි කරමින් විශාල අනවශ්‍ය රාජ්‍ය වියදමක් දැරූ රටක, වර්තමානයේ ක්‍රියාත්මක වන මෙම මනා වියදම් කළමනාකරණය සුවිශේෂ ජයග්‍රහණයකි. මීට අමතරව, රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින ව්‍යුහාත්මක බාධා හේතුවෙන් වෙන් කළ ප්‍රාග්ධන ප්‍රතිපාදන සම්පූර්ණයෙන් භාවිතයට නොගැනීම ද මෙම හිඟය අඩුවීමට එක් හේතුවක් විය. එබැවින් 2026 අයවැය මගින් හිඟය සියයට 5.1 මට්ටමකට ඉලක්ක කර ඇත්තේ, මූල්‍ය විනය රඳවා ගන්නා අතරතුරම 2025 දී සීමා වූ අත්‍යවශ්‍ය සංවර්ධන හා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දීමේ අරමුණෙනි (දිගු කාලීන වර්ධනයක් උදෙසා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් පමණ ප්‍රාග්ධන ආයෝජන ලෙස පවත්වා ගැනීම රජයේ මධ්‍යකාලීන ඉලක්කය වී ඇත). 2030 දී අයවැය හිඟය සියයට 3.8 දක්වා අඛණ්ඩව අඩු කිරීමට වැඩ කිරීම ජාතික ආර්ථිකයේ අතිශය වැදගත් ව්‍යුහාත්මක ජයග්‍රහණයකි. මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ, දශක ගණනාවකට පසු 2025 දී අත්පත් කරගත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.8 ක ප්‍රාථමික අතිරික්තයයි (දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 1.25 ක් පමණ). එම ප්‍රාථමික අතිරික්තය හේතුවෙන්, පෙර පැවැති ආණ්ඩු මෙන් රාජ්‍ය බැංකු පද්ධතිය හිස් කිරීමකින් තොරවම, අපට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 3.9 ක පමණ විදේශ ණය වාරිකය පියවා දැමීමට සෘජුවම හැකියාව ලැබුණි.

දිගුකාලීන ආර්ථික වර්ධනය සහ ආයෝජන: මූල්‍ය විනයෙහි ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ ජාතික ඉතිරිකිරීම් සහ ආයෝජනයයි. රජය දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීම අඩු කරන විට, බැංකු සතු මුදල් පෞද්ගලික ව්‍යාපාර වෙත අඩු පොලියට ගලා යයි. මෙය පෞද්ගලික ආයෝජන දිරිගන්වයි. මෙය අපට ප්‍රායෝගිකව දැකගත හැකි වූයේ රාජ්‍ය බැංකු පද්ධතියෙනි. අර්බුදයට පෙර රුපියල් ට්‍රිලියනයක හිඟයක් (Overdraft) තිබූ ලංකා බැංකුව සහ මහජන බැංකුව, 2025 අවසන් වන විට රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් අත්පත් කරගෙන ඇත. රාජ්‍ය බැංකු සතුව මුදල් ඇති විට, ඔවුහු තැන්පතු සඳහා තරග කිරීම අඩු කරති. එවිට වෙළෙඳපොළ පොලී අනුපාත අඩු වේ. මෙය ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීමටත් ව්‍යාපාර දියුණු කිරීමටත් ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි.

 

මූල්‍ය විනය යනු අපගේ ජාතික ආරක්ෂක පවුරයි

කොටින්ම සියලු‍ම සාර්ව ආර්ථික දර්ශක ඉතා සාධනීය ප්‍රගතියක් පෙන්නුම් කරයි. මේ බව මහ බැංකු අධිපතිවරයා ද තහවුරු කර සිටියි. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සහ මූල්‍ය විනය යනු දෙකක් නොව එකකි. අතීත අත්දැකීම් සහ වර්තමානයේ ගෙවීමට ඇති ණය බර අපට කියා දෙන්නේ එකම පාඩමකි. එනම් “සුළු හෝ ලිහිල් වීමක් නැවතත් රට අගාධයට ඇද දමනු ඇත”‍ යන්නයි. 2025 දී අප පෙන්වූ විනය 2026 සහ ඉන් ඔබ්බටත් පවත්වා ගැනීම, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ඇති එකම සහ විශ්වාසවන්තම මාර්ගයයි. රජයක් අඛණ්ඩව සිය මූල්‍ය ඉලක්ක සපුරා ගන්නේ නම් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට එය මහඟු‍ පිටිවහලකි. බදු ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැනි කටුක තීරණවල ධනාත්මක ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ඉක්මවා යාම මගින් රජයට අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුළුව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට හැකියාව ලැබී ඇත. මූල්‍ය විනය පවත්වා ගැනීම අපගේ අනාගත වර්ධනයට අත්‍යවශ්‍ය වේ.

 

(***)

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව

පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය

චන්දික ගුණසිංහ