ත්‍රස්තවාදය වැළැක්වීමේ 1979 පනතට විකල්ප නීතියක් හඳුන්වාදීමේ පියවරක් වශයෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත වත්මත් රජය විසින් සකස් කරනු ලැබ තිබේ. මේ වනවිට එම පනත් කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති අතර එය හොඳ පියවරකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දැඩි ව්වේචන පවතී. එය ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් පනවනු ලැබුව ද දේශපාලන ප්‍රතිවාදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මර්දනය සඳහා බහුල ලෙස යොදාගත් බවට විවේචන ඉදිරිපත් වේ. එහෙයින් මේ පනත අහෝසි කිරීම සඳහා දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රබල බලපෑම් එල්ල විය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවැසීය.

මීට පෙර අවස්ථා කිහිපයක දී මෙම පනත අහෝසි කර නව පනතක් ගෙන ඒම වෙනුවෙන් උත්සාහ ගනු ලැබුව ද වඩාත් විධිමත්ව එය ඉවත් කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අවස්ථාවේදීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇතුළත් ඇතැම් විධිවිධානත් එය අහෝසි කිරීම සඳහා ගෙන එන ලද කෙටුම්පත්වල අන්තර්ගත සමහර විධි විධානත් මේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි ඇතුළත් බව පැහැදිලි වේ. ඉහතදී සඳහන් කළ පරිදි මෙම පනත් කෙටුම්පත මේ වෙද්දී මහජන අදහස් ලබා ගැනීම පිණිස විවෘත කර ඇති හෙයින් මේ පිළිබඳ කරන සාකච්ඡාවක දී එය අවසන් කෙටුම්පත සේ සලකා අදහස් ප්‍රකාශ කළ නොහැකිය. හේතුව එය සංශෝධනය වීමට ඉඩ ඇති නිසාය. එපමණක් ද නොව මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමට ද ඉඩ තිබේ. එබැවින් දැනට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත මූලික ලියැවිල්ල වශයෙන් සලකමින් ඒ ගැන විචාරය කිරීමට සිදු වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇති මර්දනකාරී ස්වභාවය මෙම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂ කිරීමේ පනත් කෙටුම්පතෙන් යම් ප්‍රමාණයකට සමනය කර තිබේ. එය කරුණුමය වශයෙන් පැහැදිලි කළ හැකිය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වන්නකු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගයක් මත දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට හැකියාව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 13.2 අනු ව්‍යවස්ථාවෙහි දැක්වෙන නීතිවිරෝධී ආකාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැකී සිටීමේ අයිතිය පුරවැසියන්ට හිමිවන අතර එයට අනුව යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී එය තීරණය කිරීමේ බලය තිබෙන්නේ අධිකරණයටයි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණ නියෝග නොසලකා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ බලය ලබා දී තිබේ.

එහිදී අත්අඩංගුවට ගනු ලබන අයකු මාස දෙකක කාලයක් අඛණ්ඩව රඳවා තබාගත හැකි අතර පනතට 2022 දී කළ සංශෝධනයෙන් එය මාස තුනක් දක්වා දීර්ඝ කෙරිණි. එසේම අලු‍ත් කිරීම් සහිතව එම කාලය වසරක් දක්වා දීර්ඝ කර ගැනීමට ද එම සංශෝධනයෙන් විධිවිධාන සලසන ලදී. එමෙන්ම අදාළ රඳවා තබාගන්නා කාලයේ දී සැකකරුවන්ට සිදුවන ශාරීරික හෝ මානසික පීඩා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු මගින් සුදුසු පරීක්ෂා කිරීම් සිදුවන්නේ ද යන්න ප්‍රශ්න සහගතය. මේ තත්වය යම් ආකාරයකට සමනය කිරීමට මේ නව පනත් කෙටුම්පතෙන් උත්සාහ දරා තිබේ. ඒ යටතේ රඳවා තබාගන්නා අයකු රඳවා තබන ස්ථානයත් ඔහු හෝ ඇය වධහිංසාවලට පත්වන්නේ ද යන්නත් සොයා බැලීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට ලබා දී ඇත.

මෙම නව පනත යටතේත් යම් සැකකරුවකු මාස දෙකක කාලයක් අඛණ්ඩව රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දී ඇති අතර එවැනි නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක අදාළ සැකකරුට ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත්වරයාට හිමිවන්නේ නැත. එහෙත් මාස දෙකක රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ කරන අවස්ථාවක එයට එරෙහිව සැකකරුට ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත්වරයකුට ලබා දී ඇත. එසේ වුවත් මෙය කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න අවිනිශ්චිතය. එසේම රඳවා තබාගෙන සිටින පුද්ගලයකු වධහිංසාවලට ලක් කර තිබේද යන්න නිශ්චය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත අදාළ පුද්ගලයා යොමු කිරීමේ බලයත් මහේස්ත්‍රාත්වරයාට ලබා දී ඇත.

මේ පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදී ක්‍රියා මොනවාද යන්න අර්ථ නිරූපණය කර තිබේ. ඒ අනුව 3 (4) උප වගන්තියෙහි දැක්වෙන්නේ පුරවැසියන් විසින් සිදු කරනු ලබන සාමාන්‍ය උද්ඝෝෂණ, වැඩවර්ජන, වෘත්තීය සමිති අරගල ආදිය ත්‍රස්තවාදී ක්‍රියා යටතට ගැනෙන බවය. මෙමගින් අදහස් කිරීමට උත්සාහ දරන්නේ ත්‍රස්තවාදයට නිශ්චිත හැඩරුවක් ඇති බවත් ත්‍රස්තවාදී කටයුතු වශයෙන් පනත් කෙටුම්පත මගින් දක්වා ඇති කටයුතු හැර සාමාන්‍ය උද්ඝෝෂණ ජනතාවගේ වෙනස් මත දැරීමේ අයිතිය ආදිය මර්දනය කිරීම පනතෙහි අරමුණක් නොවන බවත්ය. එසේ වුවත් මෙය තීරණය වන්නේ ඒ ආකාරයේ මහජන ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාර සහ හැසිරීම අනුවය.

මෙමගින් ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කර තිබෙන ආකාරය ගැටලු‍ සහගතය. එසේම එය පුළුල් නිර්වචනයකි. ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන පුද්ගලයකුට ලබා දෙන දඬුවම් දැඩි ඒවාය. වසර 15 සහ 20 දක්වාත් සිට ජීවිතාන්තය දක්වාත් සිර දඬුවම් නියම කළ හැකිය. විශේෂයෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සපයා ඇති පුළුල් අර්ථ නිරූපණය හා පොලිසිය විසින් එවැනි ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයට දක්වනු ලබන කරුණුවල ස්වභාවය අනුව ත්‍රස්තවාදී ගණයට නොවැටෙන ක්‍රියාවක් වුව ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් අර්ථ දැක්වීමට හැකියාවක් තිබේද යන ප්‍රශ්නය මතු වේ. විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත විවේචනයට බඳුන් කරන්නන් හුවා දක්වන පරිදි සාමාන්‍ය මහජන විරෝධතා හා වෙනස් මත දැරීම ත්‍රස්තවාදී ක්‍රියා හැටියට සැලකීමේ අනතුරක් තිබේද යන්නත් ගැටලු‍ සහගතය.

නිදහස් අදහස් ප්‍රකාශනයට සහ මාධ්‍යවේදීන්ගේ අදහස් ප්‍රකාශනයට මෙයින් අහිතකර බලපෑම් එල්ල වන්නේ ද යන්නත් සාකච්ඡාවට බඳුන් වේ. ඊට හේතුව මෙහි 8 සිට 11 වගන්තිවලින් දක්වා ඇති විධිවිධානයි. 8 වැනි වගන්තියට අනුව ත්‍රස්තවාදී කටයුතුවල ඍජුව නියැලෙන පුද්ගලයන්ටත් ඊට ආධාර අනුබල දෙන අයටත් දඬුවම් පැමිණවිය හැකි බව දැක්වේ. 9 (1) උප වගන්තියෙහි සඳහන් වන්නේ ත්‍රස්තවාදය දිරිගැන්වෙන අයුරින් යම් ප්‍රකාශ පළ කරනු ලබන පළ කිරීමට සලස්වනු ලබන යම් වචන කතා කරන යම් සංඥා හෝ දෘෂ්‍ය නිරූපණ සිදු කරන යනාදී ප්‍රකාශ පළ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. 9 (3) අනු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ යමකු අනවධානයෙන් යුතුව එවැනි පුවත් පළ කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. එම නිසා පුවත් පළ කිරීමේදී මාධ්‍යවේදීන්ටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් පරෙස්සම් වීමට සිදුවන්නේ ද යන ප්‍රශ්නයත් මතු වේ.

10 (1) සහ (2) උපවගන්තිවල සඳහන් වන්නේ ත්‍රස්තවාදයට රුකුල් දිය හැකි ප්‍රකාශනයක් ළඟ තබා ගැනීම, බෙදාහැරීම, හුවමාරු කර ගැනීම ආදියත් වරදක් බවය. සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය මගින් සිදු කරනු ලබන පෝස්ට් පළ කිරීම් හුවමාරු කර ගැනීම් ආදියත් ත්‍රස්තවාදී කටයුතු හැටියට සලකනු ලබන්නේ ද යන සැකය මතු වේ. 10 (3) වගන්තියෙහි ත්‍රස්තවාදී ප්‍රකාශනය අර්ථ නිරූපණය කර තිබෙන අතර එහි දැක්වෙන්නේ ත්‍රස්තවාදය පිළිබඳව ඍජුව හෝ වක්‍රව දිරිගන්වන හෝ පොළඹවන ක්‍රියා අදහස් වන බවය. ඕනෑම ආකාරයේ ලිඛිත හා වාචික ප්‍රකාශනයක් දෘෂ්‍ය රූපයක් සංකේතාත්මක රූපයක් ඇතුළු ඍජුව හෝ වක්‍රව ත්‍රස්තවාදී ක්‍රියා සඳහා දිරිගන්වන හෝ පොළඹවන දේවල් ත්‍රස්තවාදී ප්‍රකාශන යටතට ගැනෙන බව ද එහි දැක්වේ.

මේ සියලු‍ විධිවිධානත් සමග නිදහස් මාධ්‍යකරණය හා ගවේෂණාත්මක මාධ්‍යකරණය ඔස්සේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සම්බන්ධ රජයේ ආයතන පොලිසිය වැනි ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන විවේචනාත්මක ලිපි පළ කිරීමත් ත්‍රස්තවාදී කටයුතු හැටියට අර්ථ නිරූපණය කිරීමේ හැකියාවක් තිබෙන්නේ ද යන ප්‍රශ්නය මතු වේ. විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනුකූලව බලන විට ත්‍රස්තවාදී චේතනාවකින් තොරව වුව ද කරනු ලබන මාධ්‍ය අනාවරණය ත්‍රස්තවාදය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීමේ හැකියාවක් තිබෙන්නේ ද යන ගැටලු‍ව පැන නගියි.

එහෙත් ඊට සහන සපයන ප්‍රතිපාදනයක් ද පනත් කෙටුම්පතෙහි ඇතුළත් වේ. එහි දැක්වෙන්නේ ත්‍රස්ත ප්‍රකාශනයක් යන්නට සද්භාවයෙන් යුතුව කරන ප්‍රකාශන ඇතුළත් නොවන බවය. කෙසේ වුවත් මාධ්‍යයක පළ කරනු ලබන යම් ප්‍රකාශනයක් සද්භාවයෙන් යුතුව පළ කළේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන පොලිසියේ අර්ථ නිරූපණය කවර ස්වරූපයක් ගනු ඇත්ද යන්න අවිනිශ්චිතය. මේ අනුව බලන විට මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් විධිවිධාන මගින් මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ක්‍රියාකාරීන් කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකළ හැකිද යන්න සම්බන්ධයෙන් සැක සංකා පවතී.

සාක්ෂි නීතියට අනුව අත්අඩංගුවේ පසුවන සැකකරුවකු හෝ චූදිතයකු හෝ පොලිස් නිලධාරියකු ඉදිරියේ කරන පාපෝච්චාරණයක් ඔහුට හෝ ඇයට එරෙහිව සාක්ෂියක් වශයෙන් යොදාගත නොහැකි වුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් එසේ කරනු ලබන පාපෝච්චාරණයක් අදාළ සැකකරුට හෝ චූදිතයාට එරෙහිව සාක්ෂියක් වශයෙන් යොදාගත හැකිය. මේ තත්වය වෙනස් කරමින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි දැක්වෙන්නේ පොලිස් නිලධාරියකු ඉදිරියේ කරනු ලබන පාපෝච්චාරණයක් එසේ කළ තැනැත්තාට විරුද්ධව සාක්ෂියක් වශයෙන් යොදාගත නොහැකි බවය. එහෙත් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කරනු ලබන පාපෝච්චාරණයක් සාක්ෂියක් වශයෙන් යොදාගත හැකිය යන්නත් මේ පනත් කෙටුම්පතෙහි සඳහන් වේ. එය ද කොන්දේසිවලට යටත් කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරු එම පාපෝච්චාරණය කරන්නේ ස්වේච්ඡාවෙන් ද නැතිනම් පොලිසියේ බලපෑම මත ද යන්න මහේස්ත්‍රාත්වරයා විසින් සැක හැර දැනගනු ලැබ යුතුය.

මෙම පනත් කෙටුම්පත යටතේ විධායක ජනාධිපතිවරයාට ඇතැම් තීන්දු ගැනීමේ බලයක් ලබා දී ඇති අතර එයත් විවේචනයට ලක් වේ. එහි 63 වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදී සංවිධාන වශයෙන් හඳුනාගනු ලබන ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයාට පුළුල් බලයක් ලබා දී තිබේ. 65 වගන්තියෙන් ඇඳිරිනීතිය පැනවීමේ පුළුල් බලයක් ද ජනාධිපතිවරයාට පවරා ඇත. පාර්ලිමේන්තුවේ මැදිහත්වීමක් නොමැතිව ජනාධිපතිවරයාට ඒසා බලයක් ලබාදීම ගැන ද විවේචන ඉදිරිපත් වේ.

මෙම පනත් කෙටුම්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විකල්පයක් වශයෙන් ගෙන එන ලද්දක් බව සඳහන් වුව ද එය සැබෑ විකල්පයක් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතිකාවක් පවතී. එහෙත් මේ පනත ඉදිරියේ දී කොතෙක් දුරට සංශෝධනය වන්නේ ද යන කාරණය මත එහි හැඩරුව වෙනස් වීමට පිළිවන. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමට සාමාන්‍ය නීතියෙන් කොතෙක් දුරට හැකියාවක් ලැබෙන්නේ ද යන්න පිළිබඳ විවාදය සැමදා පවතින්නකි. මේ සන්දර්භයේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම අරභයා හඳුන්වා දෙනු ලබන නීතියක සාමාන්‍ය නීතිය ඉක්මවා යන විධිවිධාන ඇතුළත් වීම නොවැළැක්විය හැකි යථාර්ථයකි.

එහෙත් මෙහිදී සලකා බැලිය යුතු වැදගත් කාරණය නම් ත්‍රස්තවාදය හා රාජ්‍ය විරෝධී ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක වන බවය. එම පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි පැනවිය හැකි අතර ඒවායින් ත්‍රස්තවාදී ක්‍රියා පාලනය කිරීමේ හැකියාව තිබේ. ඒ ආකාරයේ නීති පවතින තත්වයක ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනතක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ගැනත් සාකච්ඡාවක් පවතී.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)