අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ දී නීතිඥවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නීතිඥවරුන් මෙම 16 වැනිදා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමෙන් සමස්ත අධිකරණවල විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු විභාග කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කර තිබිණි.

මෙම වෙඩිතැබීමේ සිද්ධියත් සමග රටේ තැන තැන හුදෙකලා වෙඩි තැබීම්, මහජන ආරක්ෂාව, වෘත්තීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය පිළිබඳව සමාජයේ නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් නීතීඥයන් ඝාතනය කෙරුණේ අද ඊයේ පමණක් නොවේ. විජේදාස ලියනආරච්චි නම් නීතීඥයාට තංගල්ලේ දී පහර දී සපුගස්කන්දට ගෙනැවිත් මරාදැමීම මේ ඝාතන ඉතිහාසයේ පළමුවැන්න ලෙස සැලකිය හැකිය. එය ඉතිහාසයේ කළු පැල්ලමකි. මීට කලකට පෙර සිදුවූ එම විජේදාස ලියනආරච්චි ඝාතනයත් සමග එම ඝාතන සිද්ධියට එරෙහිව නීතීඥයන්ගේ විරෝධතා එල්ල විය. ඔවුහු තම සේවාදායකයන් වෙනුවෙන් වැඩ වර්ජනයක නිරත වූහ. නීතිඥ ඝාතන ඉතිහාසයේ දෙවැනි අවස්ථාව නම් මහාධිකරණ විනිශ්චයකාර සරත් අඹේපිටිය මහතා ඝාතනය කෙරුණු අවස්ථාවය. එසේම යාපනයේ මහාධිකරණ විනිසුරුවරයාව සිටි ඉලන්චේලියන් ඝාතනය කිරීමේ උත්සාහයක් ද දැරුණු අතර, එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙක් මරණයට පත් විය. අකුරේගොඩ වෙඩි තැබීමෙන් මියගිය නීතීඥ බුද්ධික මල්ලවාරච්චි ඝාතනය ඇතුළු මේ සිදුවීම් සියල්ල එකට ගත් විට පැහැදිලි වන්නේ මෙහි සැලසුම් සහගත ඝාතන සංස්කෘතියක් ක්‍රියාත්මක වන බවය.

මෙම ඝාතන සංස්කෘතියත් සමග වඩාත් තදින් පෙරට එන කාරණය නම් ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටලු‍වය. ඉතිහාස සිදුවීම් සියල්ල ද අධ්‍යයනය කර බලන විට මූලිකව විමසා බැලිය යුතු කාරණය වන්නේ මෙවැනි ඝාතන සිදුවන්නේ ඇයි ද යන්නය. නීතිඥවරයා තම සේවාදායකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි පරිච්ඡේදයේ 13.3 සඳහන් වන්නේ සෑම සැකකරුවකුටම නීතිඥ සහාය ලබාගැනීමට හැකියාව ඇති බවය. කිසියම් සැකකරුවකු අපරාධකරුවකු නම් ඒ බව එය විමර්ශනය කර මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි මත මහාධිකරණයේ දී අධිචෝදනා ලබා දිය යුතුය. නීතිඥවරයා සේවාව සපයන්නේ තම සේවාදායකයා වෙනුවෙනි. එම නිසා කුමන පුද්ගලයා සඳහා සේවා සැපයුව ද ඔහු මදූෂ්ගේ නීතිඥයා, කෙහෙල්බද්දර පද්මේගේ නීතිඥයා, හරක් කටාගේ නීතිඥයා ආදි වශයෙන් ලේබල් කිරීමේ කිසිදු අයිතියක් නැත.

බුද්ධික මල්ලවාරච්චිට ද තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඇත. සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි පමණින් කුරිරු ලෙස මේ අන්දමට පුද්ගලයන් ඝාතනය කළ නොහැකිය. එම ඝාතන ක්‍රියාව යුක්තිය ඉටු කිරීමේ සමස්ත ක්‍රියාවලියටම බලපාන්නකි. මෙම ඝාතනයට විරෝධය පළ කිරීමක් ලෙස නීතිඥවරු වැඩ වර්ජනය කළහ. එසේ වූ විට උසාවි වැඩකටයුතු අඩාළ වේ. නීතිඥවරුන් යනු යුක්තිය පසිඳලීමේ එක්තරා අංශයකි. ඔවුන් එක් එක් කල්ලිවලට දමා ප්‍රශ්නය විසඳිය නොහැකිය. ඝාතනය සිදුවී ටික වෙලාවකට පසු එම ඝාතනය පාතාල කල්ලිවල ක්‍රියාවකැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය තීරණය කළ යුත්තේ අධිකරණයට බාර දීමෙනි. මෙබදු ඝාතනයක් වාර්තා කිරීමේ දී සහ මත ප්‍රකාශ කිරීමේ දී මේ රටේ ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන අන්දම පිළිබඳව ද සතුටු විය නොහැකිය. මේ අසවලාගේ නීතිඥයා යැයි සඳහන් කිරීම මාධ්‍ය සදාචාරය නොවේ. මේ අන්දමේ මත ප්‍රකාශ කිරීමේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් විය යුත්තකි. එසේ නොවුණහොත් නීතිඥයකුට හෝ වෙනත් කිසියම් පුද්ගලයකුට හෝ නිදහස් අදහසක් ප්‍රකාශ කළ නොහැකි, මගට බැස යා නොහැකි තත්වයක් උදාවනු ඇත.

කෙසේ වෙතත් මේ ඝාතන ක්‍රියාකාරකම්වලින් වඩාත් පැහැදිලි වන්නේ අද වන විට මේ රටේ පාතාලය මොනතරම් ප්‍රබලව ක්‍රියාත්මක වන්නේ ද යන්නය. තැන තැන මෙබඳු වෙඩි තැබීම් දිගින් දිගටම සිදුවීම රටේ සාමාන්‍ය මහජනයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයකි. මේ පසුබිම සැලකිල්ලට ගෙන ඉදිරියේදීවත් මෙවන් ඝාතන සිදු නොවන තැනට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. එබදු පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රධාන යෝජනා තුනක් මම ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

පළමුවැන්න නම් ගිනි අවි ආඥා පනත සම්පූණයෙන්ම වෙනස් කිරීමය. නීති විරෝධී ගිනි අවි මේ වනවිට සමාජයේ බොහෝ තැන්වල තිබිය හැකිය. නීති විරෝධී ගිනි අවි මෙසේ සමාජයට මුදාහැරුණේ 88-89 කාල වකවානුවෙහිය. එසේම යුද්ධය පැවැති කාලයේත් ඇතැම් විට එය සිදුවිය. එපමණක් නොව ලංකාව දූපතක්වීම නිසා ගිනි අවි ඕනෑම තැනකින් අපේ රටට ගෙන ඒමේ හැකියාව වැඩි ය. දැන් කළ යුත්තේ නීති විරෝධී ගිනි අවි සියල්ල වහාම එකතු කිරීමය. නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් විධිමත් සංගණනයක් කිරීමය. එසේම දැනට ලියාපදිංචි කළ ගිනි අවි කොපමණ සංඛ්‍යාවක් මේ රටේ තිබේ දැයි ගණනය කළ යුතුය. මෙම බලපත්‍ර සහිත ගිනි අවි භාවිත කර තිබෙන්නේ කවර කටයුතු සඳහාදැයි විමර්ශනය කළ යුතු ය. ගිනි අවි සම්බන්ධයෙන් එබදු විධිමත් පුළුල් සංගණනයක් වහාම නොකළහොත් තවත් වටිනා ජීවිතයක් බිලි නොගනු ඇතැයි කිසිවකුට කිව නොහැකිය.

දෙවැනි කාරණය නම් මත්ද්‍රව්‍ය දැඩි ලෙස මර්දනය කිරීමේ අවශ්‍යතාවයි. පාතාලය ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වී තිබෙන්නේ මත්ද්‍රව්‍යත් සමගය. මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවරාම්කරුවෝ මේ වනවිට පාතාලය වෙළාගෙන සිටිති. වැටලීම්වල දී කොතරම් ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනුණත් ඒවායේ පැහැදිලි අඩුවක් සිදුවන බවක් පෙනෙන්නට නැත. මම පසුගිය දිනවල ජාතික මානසික රෝහලේ දේශනයක් පැවැත්වූයෙමි. එම රෝහලේ හෙදියන් මට පැවැසුවේ භාවිත කරන මත්ද්‍රව්‍යවල අඩුවක් පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවය. එහෙත් එබඳු තත්වයක් දැකිය නොහැකිය. එහි අර්ථය වන්නේ ඔවුන්ට පාවිච්චි කිරීමට අවශ්‍ය මත්ද්‍රව්‍ය සමාජයේ කොහේ හෝ තිබෙන බවය.

මේ තත්වය මත වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම වැදගත් වනවා සේම විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට අදාළ නඩු මහාධිකරණයක ඇසීම ද වැදගත් වේ. එබඳු නඩු මහාධිකරණයක ඇසීමෙන් විනිශ්චයකාරවරුන්ට සහ නීතීඥවරුන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන අවදානම අවම කළ හැකිය. මත්ද්‍රව්‍ය මැඩීමේ මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිසිය ක්‍රියාත්මක වනවා සේම විශේෂයෙන් මේ සඳහා මහජන සහාය ද අත්‍යවශ්‍ය වේ. මහජන සහාය ගොඩනගන නිසි වැඩපිළිවෙළකට නම් ප්‍රජා පොලිස් සේවාව වඩාත් හොඳින් දියුණු කළ යුතුය. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇත.

තුන් වැනි කාරණය නම් මේ සෑම ඝාතනයක්ම පාහේ කර තිබෙන්නේ හමුදා සේවයෙන් පලාගිය පුද්ගලයන්වීමය. වෙනත් රටවල නම් හමුදාවෙන් පලාගිය පුද්ගලයන් පිළිබද නිශ්චිත තොරතුරු පවතී. ඔවුන් කරන්නේ කුමක්ද? සිටින්නේ කොතැනද යන්න හඳුනාගත හැකි නිශ්චිත තොරතුරු එහි වෙයි. එම නිසා අපේ රටේත් එබදු පුද්ගලයන් හඳුනාගැනීම සඳහා නිසි ලෙස පිළියෙළ කළ ලිපි ලේඛන අවශ්‍ය වේ.

මැනවින් සොයා බැලු‍වොත් ලංකාවේ වැඩිපුරම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ හලාවත, මීගමුව, ගාල්ල ආදි ප්‍රදේශවලිනි. ඊට බලපාන පසුබිම වන්නේ එම ප්‍රදේශ වරාය ආශ්‍රිතව පිහිටීමයි. එම නිසා මේ ප්‍රදේශ ආශ්‍රිතව වෙරළ ආරක්ෂිත වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතී. බැලූ බැල්මටම මත්ද්‍රව්‍ය යනු ජාවාරමකි. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල සබඳතා සහිතව පුළුල් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන්නකි. ලංකාව මේ වන විට මත්ද්‍රව්‍ය බෙදාහැරෙන මධ්‍යස්ථානයක් වී තිබේ. මහා පරිමාණයෙන් ගෙන්වන මත්ද්‍රව්‍ය කුඩා කුඩා කොටස් හැටියට පිටතට යාම ලංකාවේ දී බොහෝ විට සිදු වේ. එබැවින් මෙසේ ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මර්දනය කරන විධිමත් පුළුල් ජාලයක් සකස් විය යුතුව තිබේ. විශේෂයෙන්ම සාර්ක් රටවල පවත්නා සම්මුති භාවිතයට ගෙන ත්‍රස්තවාදය සහ විෂ මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතී. ඒ සඳහා රජය වහා ක්‍රියාත්මකවීම වැදගත් ය.

එසේ නොවුණහොත් තැන තැන සිදුවන මෙවැනි වෙඩිතැබීම් තවදුරටත් සිදුවන්නට බැරිකමක් නැත. මහ මග යන සාමාන්‍ය ජනයාගේ පවා ආරක්ෂාව මේ නිසා අභියෝගයට ලක් වනු ඇත. එසේම මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ අපරාධකරුවන් බොහෝ දෙනා ඩුබායි, ඉන්දියාව වැනි රටවල වාසය කරමින් ඔවුන් තම ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවක් පෙනේ. ඔවුන් නීතියේ රැහැනට හසුකරගත හැකිවන පරිදි ඒ රටවල් සමග උදර්පන ගිවිසුම් ඇති කරගත යුතුය.

එපමණක් නොව මත්ද්‍රව්‍ය අපරාධ අවම කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව සමාජය දැනුවත් කිරීමේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම යෝග්‍ය වේ. එය පාසල් මට්ටමින් ආරම්භ කළ හැකිය. එසේම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට දැඩි දඩුවම් පැනවීමෙන් ද මේ තත්වය අවම කරගත හැකිය. ශුද්ධ බර ග්‍රෑම් දෙකකට වඩා වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියොත් 54 අ 2022 සංශෝධනයත් සමග මරණ දඬුවම නියම කළ හැකිය. මරණ දඬුවම ලැබූ අපරාධකරුවෝ 1038ක් මේ වනවිට සිටිති. එහෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන බවක් නොපෙනෙන නිසා ඔවුහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටිති. එහෙත් වැඩිවන අපරාධ මර්දනය කිරීමට නම් තාවකාලිකව හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසු බවට හඬක් මේ වනවිට සමාජයෙන් මතුවෙමින් තිබේ.

මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන සමාජයක් ගොඩ නැගීමට නම් මේ පරිසරය නිර්මාණය කළ යුතුව තිබේ. එසේ නොමැතිව වටිනා මිනිස් ජීවිත බල්ලන් බළලු‍න්ගේ තත්වයට පත් කිරීමට කිසිවකුට අයිතියක් තිබිය නොහැකිය. මෙම ඝාතනවල වගකීම ගන්නා ලෙස නීතිඥ සංගමය ද දිගින් දිගටම බල කරන්නේ මේ හේතු නිසාය. මගේ අදහස නම් මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩීමට අවශ්‍ය නීතිය බලාත්මක කිරීමට යම් යම් පනත් සංශෝධනය කර ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු බවය. සිද්ධියක් වූ පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවාට වඩා සිද්ධිය ඇතිවීමට පෙර අපරාධ වළක්වා ගත හැකි ක්‍රමයක් වෙත අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මෙම මස 23 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතය. ජීවිත ආරක්ෂාව, මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ මර්දනය සම්බන්ධයෙන් මෙහිදී ද අවධානය යොමු කරවීම වැදගත් වනු ඇත.

(*** සාකච්ජා සටහන - ගාමිණී කන්දේපොළ)