මීට හරියටම වසර 43 කට පෙර, ජූලි 23 වැනිදාවක යාපනයේ තින්නවේලියේ සිදු වූ එක් ප්‍රචණ්ඩ සිදුවීමක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ගමන් මග විශාල වෙනසකට ලක් කළේය. හමුදාවේ 13 දෙනකුගේ ජීවිත උදුරා ගත් එම සිදුවීම ඒ වන විට ඉඳහිට තැන තැන හුෙදකලා සිදුවීම් ලෙස කෙරුණු උතුරේ බෙදුම්වාදී සන්නද්ධ ගැටුම, මහා පරිමාණ යුද්ධයක් බවට පරිවර්තනය කළේය.
දශක තුනක් පුරා පැවැති එම යුද්ධය පසුව ලෝකයේ දීර්ඝතම සන්නද්ධ ගැටුම්වලින් එකක් බවට ද පත් විය.
එමෙන්ම, තින්නවේලියේ සිදුවීම දකුණේ ද අලුත් සන්නද්ධ ගැටුමක් ඇති කිරීමට හේතු වූ අතර, එම ගැටුමෙන් වසර දෙකක් ඇතුළත ප්‍රධාන වශයෙන් අහිංසක මිනිසුන් ද ඇතුළුව 60,000 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරන්නක් විය.
දකුණේ ඇති වූ එම ගැටුමේ දී ඒසා විශාල පිරිසක් ඝාතනය කරන ලද්දේ එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙහෙයවන ලද සන්නද්ධ හමුදා සහ එම ආණ්ඩුව විසින් ගොඩ නගන ලද ඝාතක කණ්ඩායම් විසිනි.
එකල බලයේ සිටි බලලෝභී දේශපාලනඥයන් බුද්ධිමත්ව සහ දුරදිග බලා කටයුතු කළේ නම් මෙම ලේ වැගිරීම් දෙකම වළක්වා ගැනීමට හැකියාව තිබිණි. සැබැවින්ම, උතුරේ සුළුවෙන් කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වන අයුරින් කටයුතු කළේත් දකුණේ ගැටුමක් අලුතින් නිර්මාණය කළේත් එකල පැවැති ආණ්ඩුවයි. 1971දී අසාර්ථක වූ තම පළමු කැරැල්ලෙන් පසු ප්‍රචණ්ඩත්වය අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස සිටි ජනතා විමුක්ති පෙරමුණට එම ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ඉදිරියට යන්නට ඉඩ නොදී ඔවුන් සන්නද්ධ මාවතට යළිත් තල්ලු කිරීමෙන් එම ආණ්ඩුව දකුණේ කැරැල්ලක් නිර්මාණය කළේය.
1983 වන විට ශ්‍රී ලංකා භූමියේ දෙමළ ජනයා වෙනුවෙන් වෙනම රාජ්‍යයක් (ඊළම් රාජ්‍යයක්) දිනා ගැනීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් අවි අතට ගෙන සිටියහ. එම වසරේ ජූලි 23 වැනිදා යාපනය අසල තින්නවේලියේ දී බිම් බෝම්බයක් පුපුරුවා හැර වෙඩි තබා හමුදාවේ සෙබළුන් 13 දෙනකු ඝාතනය කළේ එම කණ්ඩායම් අතුරින් වඩාත්ම දරුණු කණ්ඩායම වූ තමිල් ඊළම් විමුක්ති කොටි සංවිධානයයි.
පොලිස් නිලධාරීන් හෝ හමුදා සෙබළුන් එක් අයකු හෝ දෙදෙනකුට ඉඳහිට මරු කැඳවූ දෙමළ කණ්ඩායම්වල හුදෙකලා ප්‍රහාර ගැන පමණක් ඒ වන විට අසා තිබූ දකුණේ ජනතාව, හිටි අඩියේ සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීම ගැන අසා දැඩි ලෙස තිගැස්මටත් කම්පනයටත් කෝපයටත් පත් වූහ. පසු කාලවල දී කොටි සංවිධානය ජනාධිපතිවරුන්, ඇමැතිවරුන්, සන්නද්ධ හමුදා ප්‍රධානීන් සහ දහස් ගණන් සෙබළුන් මරා දැමුව ද ඒ ගැන අසා අනෙක් පැත්තට හැරී තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට මෙරට ජනතාව හුරු පුරුදු වූහ. එහෙත් තින්නවේලියේ වූ මෙම සිද්ධිය ඔවුනට විශාල කම්පනයක් විය.
1983 ජූලි 24 වැනිදා මෙම සෙබළුන් 13 දෙනාගේ මළ සිරුරු අවමංගල කටයුතු සඳහා කොළඹට ගෙන ඒමත් සමග, දහස් සංඛ්‍යාත ජනතාවක් අගනුවරට රැස් වූ අතර එහිදී ජනතාවගේ ආවේගය ද පිටාර ගලන්නට විය. කොතැනක හෝ සිදු වූ යම් සිදුවීමක් මුල් කර ගනිමින්, එම ආවේගය පුපුරා ගොස් හදිසියේම එය කොළඹ නගරයේ දෙමළ ජනයාට එරෙහි විශාල ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් බවට පත් විය.
දෙමළ ජනයා පදිංචිව සිටි නිවාස හා වාහන ද, ඔවුන් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථාන, කර්මාන්තශාලා සහ සිනමාහල් ද ගිනි තබා විනාශ කෙරිණි. ඇතැම් අවස්ථාවලදී ඒවා තුළ මිනිසුන් සිටියදීම මෙසේ ගිනි තබනු ලැබීය. මෙම පුවත මුළු රට පුරාම පැතිර ගිය අතර, උතුරු සහ නැගෙනහිර පළාත් හැර රටේ සෙසු සෑම ප්‍රදේශයකම දෙමළ ජනයාට එරෙහිව මෙවැනිම කෝලාහල පැතිර යන්නට එය හේතු විය.
වීදිවල රාජකාරියේ යොදවා සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කිසිවක් කරනු දක්නට නොලැබිණි. එමගින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එකල බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ආකල්පය පැහැදිලිව දැක ගත හැකි විය. කැරැලිකරුවන් පාලනය කිරීම සඳහා එකදු වෙඩි පහරක්වත් එල්ල වූ බවක් හෝ කඳුළු ගෑස් භාවිත කළ බවක් හෝ අසන්නට ලැබුණේ නැත.
මේ කලකෝලාහල අතරේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ගනු ලැබ සිටි දෙමළ රැඳවියෝ 53 දෙනෙක් දින දෙකකදී මරා දමනු ලැබූහ. පිටතින් පැමිණි අය සහ සෙසු රැඳවියන් විසින් ඔවුන් ඝාතනය කරනු ලැබූ බව කියැවේ. ඊට බන්ධනාගාර නිලධාරීන්ගෙන් හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගෙන් කිසිදු බාධාවක් එල්ල වූ බවක් වාර්තා නොවීය.
මේ තත්වය යටතේ මෙරටට පැමිණි ඉන්දියානු විදේශ ඇමැති නරසිංහ රාඕ සතියක් පුරා පැවැති මෙම විනාශය සියැසින්ම දැක ගත්තේය. ගිනි තැබීම්, ඝාතන සහ කොල්ලකෑම් සිදු වූ මුල් දින හතර තුළ නිහඬව සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කෝලාහලයේ සිව් වැනි දිනයේ, එනම් ජූලි 27 වැනිදා ජාතිය ඇමැතීය. එහෙත් එහිදීද ඔහු වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දෙමළ නායකයන් විවේචනය කළා විනා කලහකරුවන්ට අනතුරු ඇඟවීමක් හෝ කළේ නැත. ගින්නට පිදුරු දැමීමක් වැනි ඔහුගේ එම කතාවෙන් පසු ඊළඟ දිනයේ, ප්‍රහාර සහ කොල්ලකෑම් තවත් උග්‍ර විය. කිසිදු කලහකරුවකුට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
පෙරළා ඉන්දියාවට ගිය නරසිංහ රාඕ ශ්‍රී ලංකාවේ තත්වය, විශේෂයෙන් මෙරට සිටින ඉන්දීය සම්භවයෙන් පැවැතෙන දෙමළ ජනයාගේ අතිශය කනගාටුදායක තත්වය පිළිබඳව සිය නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය ශ්‍රී ලංකාවට දැඩි අවාසිදායක එකක් විය.
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බටහිරට පක්ෂපාතී වූ විදේශ ප්‍රතිපත්ති ගැන ඒ වන විටත් අප්‍රසාදයෙන් සිටි ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි, මෙම වාර්තාව මෙන්ම මරණයෙන් සහ විනාශයෙන් බේරීම සඳහා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කොට තමිල්නාඩුවට පැමිණි විශාල දෙමළ සරණාගතයන් පිරිස ද ඉන්දියාවේ භූ-දේශපාලනික අරමුණු සඳහා යොදා ගත්තාය.
ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු දෙමළ සන්නද්ධ කණ්ඩායම් හතරකට ආයුධ, සටන් පුහුණුව සහ මුදල් දුන් අතර, ගෝපාලස්වාමි පාර්තසාරති සහ රෝමේෂ් බණ්ඩාරි වැනි එවක ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මගින් බලය බෙදීමේ පරිපාලන ක්‍රමයක් පිළිගැනීමට ශ්‍රී ලංකා රජයට බල කළාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1987 දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත ‘ඉන්දු-ලංකා ගිවිසුම’ පටවනු ලැබූ අතර, එමගින් පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබීය.
එසේම, ප්‍රහාරයට ලක් වූ ලාංකික දෙමළ ජනයා කෙරෙහි ලොව පුරා පැතිර ගිය අනුකම්පාව, දෙමළ බෙදුම්වාදී අරගලයට රාජ්‍යතාන්ත්‍රික සහයෝගය ලබා ගන්නට බෙහෙවින් උපකාරී විය. එකල විපක්ෂ නායක ධුරය දැරූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් වැනි දෙමළ නායකයෝ ඒ සඳහා ලොව විවිධ රටවල සංචාරය කළහ. චෙන්නායි, නව දිල්ලිය යන නගරවල පමණක් නොව පැරිස් හා ලන්ඩන් වැනි බටහිර රටවල ප්‍රධාන නගරවල ද දෙමළ සන්නද්ධ සංවිධානවල කාර්යාල විවෘත විය.
අනෙක් අතට සතියකට වැඩි කාලයක් පුරා පැවැති “කළු ජූලිය” නමින් පසුව ප්‍රකට වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය මගින් දෙමළ තරුණයන්ගේ සිත් තුළ ඇති කළ වෛරය, දෙමළ සන්නද්ධ කණ්ඩායම් වෙත දහස් ගණනින් නවකයන් සම්බන්ධ වීමට මග පෑදීය. සුළු කාලයක් තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල තරුණ තරුණියෝ දහස් ගණනින් කොටි සංවිධානය ඇතුළු දෙමළ සන්නද්ධ සංවිධානවලට බැඳී මෙරට දී මෙන්ම ඉන්දියාවේ දී අවි පුහුණුව ලැබූහ. එම සංවිධානවලට විශාල වශයෙන් මුදලින් ආධාර කරන්නට මෙරට මෙන්ම ඉන්දියාවේ දෙමළ ජනතාව ඉදිරිපත් වූහ.
මෙමගින් උතුරු නැගෙනහිර යුද්ධය උත්සන්නවත්ම එහි බලපෑම දරාගත නොහැකි එම පළාත්වල දෙමළ තරුණ තරුණියෝ විශාල වශයෙන් නීත්‍යනුකූල මෙන්ම නීති විරෝධී ක්‍රම මගින් විදේශලවලට, විශේෂයෙන්ම බටහිර රටවලට ඇදී යන්නට වූහ. මුල් කාලයේදී ඇතැම් දෙමළ සංවිධාන මෙවැනි පුද්ගලයන් “බියගුලු බල්ලන්”ලෙස හැඳින්වුව ද පසුව මෙසේ බටහිර රටවල ගොඩ නැඟුණු මෙම ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව එම සංවිධානවලට, විශේෂයෙන්ම කොටි සංවිධානයට ධන ආකරයක් විය. ඉන්පසු ගතවූ දශක දෙක තුළ සිදුවූ දෑ අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
අනෙක් අතට, 1983 කෝලාහල පිටුපස සිටි බවට අසත්‍ය ලෙස චෝදනා කරමින් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් වාමාංශික පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂය තහනම් කිරීමට එම කෝලාහල යොදා ගත්තේය. සැබැවින්ම, ආණ්ඩුවේ සැබෑ ඉලක්කය වූයේ ඒ වන විට වේගයෙන් වර්ධනය වෙමින් පැවැති ජනතා විමුක්ති පෙරමුණයි. 1977 දී තේරී පත් වූ පාර්ලිමේන්තුවේ ධුර කාලය 1989 අගෝස්තු දක්වා දීර්ඝ කිරීම සඳහා 1982 දෙසැම්බර් 22 වැනිදා පවත්වන ලද ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට එරෙහිව ජවිපෙ නායක රෝහණ විජේවීර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම නිසා ජනාධිපති ජයවර්ධන මහතාට ජවිපෙ දේශපාලන කරළියෙන් තුරන් කිරීමට අවශ්‍ය විය.
මෙම පක්ෂ තුන මත පනවන ලද පක්ෂ තහනම විහිළුවක් බව පෙනී යාමත් සමග අනෙක් පක්ෂ දෙක මත පනවා තිබූ තහනම ඉවත් කෙරුණු නමුත්, බොළඳ හේතු දක්වමින් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තහනම දිගටම පවත්වාගෙන ගියේය. අනෙක් අතට, තමන් මත පනවා තිබූ තහනම ඉවත් කරවා ගැනීම සඳහා ජවිපෙ සිය වෘත්තීය සමිති, හිතවත් සංවිධාන සහ පුද්ගලයන් මාර්ගයෙන් විවිධ නෛතික මෙන්ම දේශපාලන ක්‍රියා මාර්ගවලට යොමුවිය. එහෙත් වසර තුනක් පුරා දිනෙන් දින ජවිපෙ සාමාජිකයන් සහ නායකයන් අත්අඩංගුවට ගනිමින් සහ ඝාතනය කරමින් ආණ්ඩුව එම පක්ෂය බිත්තියටම හේත්තු කළේය. ඔවුන් මර්දනයට ආයුධ සන්නද්ධව මුහුණ දීමට 1986 දී පෙළැඹුණේ ඒ තත්වය යටතේය. එහෙත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූයේ උතුරේ යුද්ධය හේතුවෙන් යුදමය වශයෙන් අත්දැකීම් ලත් සහ අති නවීන ආයුධවලින් සන්නද්ධ වූ හමුදාවකට එරෙහිවය.
එහි ප්‍රතිඵලය අතිශයින් විනාශකාරී විය. සෝමවංශ අමරසිංහ මහතා හැර ජවිපෙ සමස්ත දේශපාලන මණ්ඩලයම පාහේ ඝාතනය කෙරිණි. රෝහණ විජේවීර මහතා හමුදා භාරයේ සිටිය දී ඝාතනය කෙරිණි. මානව හිමිකම් ගැන කතා කරන සියල්ලෝ ඒ ගැන නිහඬ වූහ. ජවිපෙ සාමාජිකයෝ ද දහස් ගණනක් ඝාතනය කරනු ලැබූහ, නැතහොත් අතුරුදන් කරනු ලැබූහ. තවත් පිරිසක් වෙනත් රටවලට පලා ගියහ. තවත් දහස් ගණනක් සිරගත කරනු ලැබූහ.
වෙනත් පක්ෂවල දේශපාලන න්‍යාය පත්‍ර සහ විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික කෝන්තර ද මෙම මර්දනයේදී ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම අහිංසක තරුණ තරුණියන් දහස් ගණනකට ද මෙහිදී ජීවිතය අහිමි විය. මේ සියලු තත්වයන් යටතේ රජයේ හමුදා අතින් හා ප්‍රා, ස්‍රා, කළු බළල්ලු, කහ බළල්ලු යනාදී වශයෙන් එවක ක්‍රියාත්මක වූ ආණ්ඩු පාක්ෂික ඝාතක කල්ලි අතින් ඝාතනයට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 60,000 කට අධික බව කියැවේ. එසේ වුව ද, වසර ගණනාවක් පුරා පැවැති රාජ්‍ය පාක්ෂික මාධ්‍යවල බලපෑම නිසා, බොහෝ දෙනා තවමත් එකල පැවැති තත්වය හඳුන්වන්නේ ‘යූඑන්පී භීෂණය‘ යනුවෙන් නොව ‘ජේවීපී භීෂණය’ යනුවෙනි.
(*** එම්. එස්. එම්. අයුබ්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd