IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?

මතක හා මතය-21

 

 

'නිම් වළලු පළල් කරනවා' යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි 'යුග පුරුෂයා' යන්න. 'නිම් වළලු පළල් කරනවා' යන්න මෙන්ම 'යුග පුරුෂයා' යන්නද කවදා කවුරුන් විසින් නිපදවනු ලැබ මෙසේ සුලබ වහරට පැමිණියේදැයි නොකිව හැකිය. එහෙත් මෙහි අද සම්මත අරුත සලකන කල එය අපගේ පැරණි සිංහල ග්‍රන්ථාගත හෝ ජන සම්මත හෝ වහරක් නොවන පිටස්තර ආගන්තුක වහරක් බව නම් ඉඳුරා පැවසිය හැකිය. එය එසේ භාවිත වුණු තැනක් පැරණි සිංහල සාහිත්‍ය පොත්වල හෝ කතා ව්‍යවහාරයේ හෝ අවිද්‍යමාන වන හෙයිනි.

මේ කියමන පාවිච්චි කරන අය එයින් කීමට අදහස් කරන දේ නම් කාටත් පැහැදිලිය. එනම් තම අවධානයට ලක්වන තැනැත්තා යුගය තුළ සෙස්සන් අබිබවා සිටින ඉහළ මට්ටමේ කෙනෙකු බවයි. අසමාන අයෙකු බවයි. මෙවැනි තේරුමක් දීම සඳහා මේ සිංහල යෙදුම මුලින් නිපදවූ තැනැත්තාද , 'නිම් වළලු පළල් කරනවා' යන යෙදුමේ හිතුවක්කාර වාත්තු කරුවා මෙන්ම තම වචන වාත්තුවටද ආදර්ශ කොටගෙන ඇත්තේ මීට සමාන අරුතක් කියා පෑම පිණිස ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ පවතින ප්‍රකට වාක් ප්‍රයෝගයක් බව අනුමාන කළ හැකිය. 'යුග පුරුෂයා' යන සිංහල යෙදුම මෑත දී නිපදවන ලද්දක් බවට නිගමනය කිරීමට සිදුවන්නේද ඒ අනුමානය අනුවය.

Epoch යන ඉංග්‍රීසි වචනයේ තේරුම දෙන පර්යාය පද වශයෙන් 'යුගය' , 'කාල පරිච්ඡේදය' , 'වකවානුව' , 'අවධිය' ආදිය දැක්විය හැකිය. Epoch යන නාම පදය සමග Making යන ක්‍රියා පදය එක් කොට නිපැදුණු විශේෂණ පදයක් ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ ඇත. එවිට එය Epoch Making යනුවෙන් සිටියි. එහි අර්ථය වන්නේ 'යුගයකට මුල පුරන' , 'යුගයක් බිහි කරන' යන්නය. මේ ඉංග්‍රීසි ව්‍යවහාරය විශේෂණයක් කොට භාවිතයට ගැනීමේදී ඉංග්‍රීසි භාෂකයන් හෝ ලේඛකයන් විශේෂයෙන් සැලකිලිමත් වන කරුණක් පවතින බව එය භාවිත කර ඇති අවස්ථා විමසන කල මනාව පැහැදිලි වෙයි. එනම් එමගින් වෙසෙසා දක්වෙන තැනැත්තාගේ යෝග්‍යත්ව අයෝග්‍යත්ව භේදයයි. වෙන අයුරකින් පැහැදිලි කරතොත් යුගයක් බිහි කළ තැනැත්තෙකු හෙවත් යුග නිර්මාතෘවරයෙකු වශයෙන් හඳුන්වන තැනැත්තා එනමින් හැඳින්වීමට තරම් සුදුසුකම් ඇත්තෙකුද යන්න ගැඹුරින් විමසා බලාම එය භාවිත කිරීමයි.

මෙකල අප රටේ උගතුන් අතරේ මෙන්ම පුවත්පත් ලේඛකයන් හා ගුවන්විදුලි රූපවාහිනී නිවේදකයන් අතරේද බහුල ලෙස අභිරුචියෙන් භාවිත වන මෙම 'යුග පුරුෂයා' යන්නෙන් ප්‍රකාශ වන්නේද විශිෂ්ට පුද්ගලයෙකැයි යන අදහස වුවද ඔවුන් එසේ පැසසුමට භාජන කරන සියල්ලන් එනමින් හැඳින්වීමට තරම් සුදුස්සන්ද යන්න සිතා බැලිය යුතුය..

ඉග්‍රීසි Epoch Making (යුග නිර්මාතෘ) යන අර්ථවත් විශේෂණයෙන් පැසසුම් හා ඇගයුම් ලබා ඇත්තෝ නම් බුදුන් වහන්සේ , යේසුස් වහන්සේ , මහම්මත් තුමා වැනි උත්තම ආගම් කර්තෘවරුය. කොන්ෆියුසියස් , සොක්‍රටීස් වැනි දාර්ශනිකයෝය. භරතමුනි , ඇරිස්ටෝටල් වැනි සාහිත්‍ය විචාරකයෝය. හෝමර් , වාල්මිකී වැනි මහා කවියෝය. ශේක්ස්පියර් , අශ්වඝෝෂ , කාලිදාස වැනි කවි ශ්‍රේෂ්ඨයෝය. හිපොක්‍රේටස් , චරක , සුශ්‍රැත වැනි වෛද්‍ය ශාස්ත්‍රඥයෝය. කාර්ල්මාක්ස් , එංගල්ස් වැනි දේශපාලන බුද්ධිමත්තුය. ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයෝය. මක්නිසාද යත්, පෙර නුවූ විරූ , පෙර නුදුටු විරූ , පෙර නොඇසූ විරූ අභිනව චින්තනයන් හා නව්‍ය නිර්මාණයන් මගින් මේ ලෝකය හා මනුෂ්‍ය සන්තතිය උදෙසා විස්මයාවහ යුගයක් පහළ කළ ආලෝක ප්‍රභවයන් වැනි එවැන්නන්ම 'යුග පුරුෂ' යන එම උත්තම නාමයට සුදුස්සන් වන හෙයිනි.

ඉංග්‍රීසි භාෂාඥයන් නිපදවූ Epoch Making (යුග නිර්මාතෘ) යන්න භාවිතයේදී ඉංග්‍රීසි ජාතිකයන් දක්වන එම විචාරශීලී භාවය , ඒ යෙදුම අනුවම ගොස් තනා ගත්තක් යැයි සිතිය හැකි 'යුග පුරුෂයා' යන සිංහල යෙදුම භාවිතයට ගන්නා වත්මන් සිංහල උගතුන්ගෙන් පුවත්පත් ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යකරුවන්ගෙන් ඒ අයුරින් ප්‍රකට වන්නේද යන්න සිතා බැලිය යුතු නොවේද? එකී භාවිතය එතරම්ම දූෂිතව තුච්ඡව අධමව නීචව පරම අවිචාරයෙන් සිදුවන හෙයිනි.

ඉංග්‍රීසි Epoch Making යන යෙදුම භාවිතයේදී අපේක්ෂිත එම උදාර අරමුණ , 'යුග පුරුෂයා' යන සිංහල වහර නිපදවූ තැනැත්තා, නිශ්චිත ලෙස වටහාගෙන සිටියේද නොසිටියේද යන්න නිශ්චය කළ නොහැකිය. එහෙත් 'යුග පුරුෂයා' යන සිංහල යෙදුම අද භාවිතයට ගන්නවුන්ගෙන් වැඩි දෙනෙකු එය වටහා නොගත්තවුන් බව නම් ඉඳුරා පැවසිය හැකිය. මක්නිසාද යත්,

නින්දිතයන් , දූෂිතයන් , පාදඩයන් , අමනයන් , පාතාලයන් , දේශපාලන ලේ මාපිලුන් , කසි කබල් ලේඛකයන් හා කලාකරුවන් , අනිසි සම්මාන හා පදවි තානාන්තර ලබනවුන් ආදීන් අති අලජ්ජී ලෙස 'යුග පුරුෂ' නාමයෙන් හැඳින්වීම ඔවුන් පුරුද්දක් කරගෙන සිටින හෙයිනි.

මෙකල මෙරට සභා රැස්වීම්වල උත්සව අවස්ථාවල ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන්වල පාර්ලිමේන්තුව තුළ නිර්ලජ්ජි ලෙස නිතර නිතර භාවිත වන මේ

'යුග පුරුෂයා' යන්න දැන් අන්ත වසංගත වයිරස වහරක් බවට පත්ව ඇත. එමගින් වෙසෙසා දැක්වෙන වැඩි දෙනා එවැන්නකට තරම් නොවන පුරුෂාධමයන් ගණයට වැටෙන හෙයිනි. පුරුෂෝත්තමයන්ට ප්‍රශංසා පිණිස භාවිතයට ගත යුතු මාහැඟි විශේෂණ පදයක් මෙසේ පුරුෂාධමයන්ට බුහුමන් සඳහා ව්‍යවහාරයට ගන්නා අවිචාර පරපුරක් පහළවීම මෙරට අධ්‍යාපන පරිහානියේ සහ අධ්‍යාත්ම පරිහානියේ අනිෂ්ට ප්‍රතිඵලයක් ලෙස නොසැලකිය යුතුද?

Epoch යන ඉංග්‍රීසි වචනයේ ඇත්තේ යුගය , අවධිය , වකවානුව, කාල පරිච්ඡේදය යනාදී ප්‍රකට අර්ථ බව අපි දනිමු. එහෙත් සංස්කෘත භාෂාවට අයත් 'යුග' ශබ්දයේ තේරුම් කීපයක් ඇත. 'දෙක' , 'ජෝඩුව' යන සාමාන්‍ය තේරුම්වලට අමතරව එහි ගැබ්ව පවත්නා එක් වෙසෙස් අර්ථයක් වන්නේ 'යුගය' යන්නය. මෙහිදී 'යුග' නාමයෙන් යුග සතරක් ගම්‍යමාන වෙයි. හැඟැවෙයි. මේ යුග සතර කවරේද? ඒවා හැඳින්වෙන්නේ කෘත' හෙවත් 'සත්‍ය' , 'ත්‍රේතා' , 'ද්වාපර' සහ කලි' යන නම්වලිනි. 'කල්ප' යනු ලොව ඇතිව නැතිවන තෙක් පවත්නා කාල පරිච්ඡේදයයි. 'කෘත' යුගය ලොව ඉතා සමෘද්ධව පවතින අවධියයි. එය කල්පයෙහි ප්‍රථම භාගය ලෙස සැලකේ. කල්පයක දෙවෙනි සතරෙන් කොටස වූ දීර්ඝ කාල පරිච්ඡේදය 'ත්‍රේතා' යුගය නමින් ගැනේ. 'ද්වාපර' යුගය නමින් හැඳින්වෙන්නේ කල්ප භාගයක් වූ කාල පරිච්ඡේදයයි. කල්පයෙහි අධර්මය බහුල වූ හතර වෙනි භාගය 'කලි' යුගය වෙයි.

සංස්කෘත භාෂාවට අයත් 'යුග' ශබ්දය තුළ ඇති අනික් විශේෂ අර්ථය නම් 'විය ගහ' යන්නයි. 'විය' ශබ්දයෙන් ගැනෙන්නේ නගුලේ හෝ ගැලේ ගොනුන් බඳින ලීයයි. එය 'විය ගහ' , 'විය දඬු' යන නම් වලින්ද හැඳින්වෙයි. මෙකල මෙලක එක් එක් ක්ෂේත්‍රවල සිටින අවිචාර අඳ බාලයන් විසින් ගර්හිතයන් , පාපතරයන් , නීචයන් , මුග්ධයන් ආදීන් කිසිදු විළි හිරියකින් තොරව තම කට පුරා යුග පුරුෂයන් වශයෙන් හඳුන්වනු ලබන බව කීවෙමු. එවැනි මනුෂ්‍ය අධමයන් යුග පුරුෂයන් ලෙස හඳුන්වන අවිචාර අඳ බාලයන් සම්බන්ධයෙන් මේ කරුණ නොකියාම බැරිය. එනම් 'යුග' නමැති වචනයේ ගැබ්ව තිබෙන විශේෂ අර්ථයක් වන ගොන් බඳින ලීය යන තේරුම අනුව එය ඔවුන්ට ඉතාම උචිත අන්වර්ථ නාම විශේෂණයක් වන බවය.

වරක් මම එක්තරා පොතක 'පිදුම' කියවීමි. එහි කතුවරයා එම 'පිදුම' සඳහා ලියා තිබුණු පාඨයේ 'මනුෂ්‍යත්වයේ ආදීනව' යන යෙදුම විය. එම සමර්පණ පාඨය මගින් ඔහු පවසා තිබුණේ තමාට මනුෂ්‍යත්වයේ ආදීනව කියා දුන්නේ තම බිරිය බවය. එය කතුවරයා විසින් තම බිරිඳට පුදා තිබුණු පොතකි. එසේම ඔහු එය ඇයට පිරිනමා තිබුණේ ⁣ඇය කෙරෙහි තම ළෙහි උපන් මහත් වූ සෙනෙහසිනි. ඇගේ විශේෂ ගුණ අගයමිනි.

'ලෝ වැඩ සඟරාව' රචනා කළ වීදාගම මෛත්‍රේය හාමුදුරුවන් වහන්සේ එහි ලා කවියෙන් දෙසා වදාළේ මෙසේය.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ. සූදනෙනි කිම වීරිය නොකරන්නේ

එම පැදියෙන් හැඟැවෙන්නේ මිනිසත් බව ලැබීම ලෙහෙසියෙන් නොවන්නක් බවය.

'ආග්නේය පුරාණය' ග්‍රන්ථයේ එන සංස්කෘත ශ්ලෝකයකි මේ.


නරත්වං දුර්ලභං ලෝකේ

විද්‍යා තත්‍ර සුදුර්ලභා

කවිත්වං දුර්ලභං ලෝකේ

ශක්තිස්තත්‍ර සුදුර්ලභා


එහි සිංහල පැදි පෙරැළුම

මෙසේ වෙයි.


මිනිසත් බව ලොව දුලබය

විදුනැණ එහි අති දුලබය

කවි කම මේ ලොව දුලබය

කවි නැණ එහි අති දුලබය


මිනිසත් බව ලැබීම ලොවේ දුර්ලභ දෙයක් බව ඉන්ද කියැවෙයි.

ධම්මපදයේ 14 වැනි බුද්ධ වග්ගයේ එන 4 වන ගාථාවයි මේ.


කිච්ඡෝ මනුස්ස පටිලාභෝ

කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවණං

කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ


මේ එහි සරල සිංහල අරුතයි.


මිනිසත් බව ලැබීම අපහසුය. මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසුය. සදහම් අසන්නට ලැබීම දුලබය. බුදුවරුන්ගේ ඉපදීම දුලබය එහි තේරුම අනුවද මිනිස් බව ලැබීම ඉතා අපහසු වූවකි.

මේ අනුව ඉහත කී පොතේ පිදුමේදී එහි කතුවරයා තම ප්‍රිය බිරිඳගේ ගුණ වෙසෙස් අගයනු පිණිස 'මනුෂ්‍යත්වයේ ආදීනව' යන යෙදුම භාවිතයට ගැනීම කෙතරම් උචිත වේද යන්න සිතා බැලිය යුත්තකි. ඔහු තම පිදුමට පිවිස වූ එම 'මනුෂ්‍යත්වයේ ආදීනව' යන යෙදුම මගින් විපරීත අර්ථයක් ගම්‍යමාන නොවිය හැකිද? මා එසේ පවසන්නේ ඇයි? 'ආදීනව' යන වචනයේ ගැබ්ව ඇති නිශ්චිත අර්ථය ඊට ඉඳුරා බලපාන හෙයිනි. 'ආදීනව' යන වචනයෙහි ගැබ්ව පවතින්නේ නරක විපාක යන අර්ථයයි. එහි විරුද්ධාර්ථ පදය 'ආනිසංස' යන්නය. 'ආනිසංස' යනු යහපත් විපාකයි. මනුෂ්‍යත්වය ලැබීම වනාහි 'ආනිසංසයක්' මිස 'ආදීනවයක්' නොවේ. 'ආදීනවයක්' වන්නේ අමනුෂ්‍යත්වයයි. ඇතැම් විට කතුවරයා 'මනුෂ්‍යත්වයේ ආදීනව' යන යෙදුමෙන් අදහස් කරන්නට ඇත්තේ මනුෂ්‍යත්වයට සිදුවිය හැකි හානි සහ විපත්ති විය හැකිය. තම බිරිඳ කල් ඇතුව ඒවා පෙන්නා දී තමා නිරුපද්‍රිත කර ගැන්ම ගැන ඇයට ඔහු කෘතඥ වූවා විය හැකිය. එහෙත් 'මනුෂ්‍යත්වයේ ආදීනව' යැයි කී කල එයින් ඉඳුරා ගම්‍යමාන වන්නේ මනුෂ්‍යත්වය වූකලී ආදීනව නැතහොත් නරක විපාක ගෙනදෙන්නකැයි යන අදහස නොවේද? විපරීත අර්ථය කෙනෙකු මුළාවේ හෙළන්නකි.

වචනවල නියම තේරුම් නොදැන ඒවා භාවිතයට ගැනීමෙන් සිදුවන අර්ථ විපරීතය, අර්ථ ව්‍යාකූලත්වය සනාථ කරන මනා නිදසුනක් ලෙස මෙය හැඳින්විය හැකිය. මන්ද යත් ආනිසංසයක් වූ මනුෂ්‍යත්වය එම යෙදුම මගින් ආදීනවයක් ලෙස ප්‍රතීයමාන වන හෙයිනි. ආනිසංසයක් වූ මනුෂ්‍යත්වය අමනුෂ්‍ය ආදීනවයක් බවට පත්කරවන බිරියන් මෙන්ම සැමියන්ද සිටින බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන, පහත දැක්වෙන ගාථාවෙන් මනාව සනාථ වෙයි. අඹු - සැමි වර්ග සතරක් ගැන කියැවෙන එම පාලි ගාථා⁣වෙන් ඇසෙන්නේ සනාතන ජීවන සත්‍යයක නින්නාදයක් නොවේද?


ඡවෝ ඡවාය සද්ධිං සංවසති

ඡවෝ දේවියා සද්ධිං සංවසති

දේවෝ ඡවාය සද්ධිං සංවසති

දේවෝ දේවියා සද්ධිං සංවසති


එම පෙළ පැදිය හෙළ පැදියට නගා දක්වමින් මෙම ලිපිය හමාර කරම්හ.


මළකුණක් සමග වෙසෙනා

මළකුණකී

මළකුණක් සමග වෙසෙනා

දෙවඟනකී

දෙවි කෙනෙක් සමග වෙසෙනා

මළකුණකී

දෙවි කෙනෙක් සමග වෙසෙනා

දෙවඟනකී



අදහස් (0)

’යුග පුරුෂයා’ ගණිකාවක් ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මතක හා මතය

සැළමුතු පෙමක මහිම
2025 අප්‍රේල් මස 29 205 0

ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය.


ටෝල්ස්ටෝයි විප්ලවයේ කැටපත වන්නේ කෙසේද?
2025 අප්‍රේල් මස 22 85 0

[Not by politics alone - The other Lenin නම් මාහැඟි කෘතිය 1973 දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද්දේ Tamara Deutscher නම් කීර්තිමත් ලේඛිකාව විසිනි.


ගෝර්කි සහ ට්‍රොට්ස්කි
2025 අප්‍රේල් මස 15 128 0

මැක්සිම් ගෝර්කිගේ අභාවය සිදුවූ අවස්ථාවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936 ජූලි 09 වැනි දින සහිතව නෝර්වේහිදී ලියන ලද සමරු සටහනේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය, 1936 සැ


ෂේක්ස්පියර් හා භර්තෘහරි
2025 අප්‍රේල් මස 08 142 0

මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන ’As you like it’ නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපි


එංගල්ස්ගේ ඇසින් දුටු මාක්ස්
2025 අප්‍රේල් මස 01 139 0

ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි


රේඩියෝව හා රෙදෙව්ව
2025 මාර්තු මස 25 94 0

ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 459 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site