IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


භාෂාවේ නිරුක්ති අර්ථ

මතක හා මතය

මෙලොව වාසය කරන හැම දැන උගත් කෙනෙකුටම හැමදාම හැම විටම පිහිට වන උපකාර වන සනාතන වටිනාකමෙන් යුත් කරුණු ඇත. ඒවා වනාහි අමිල වූ ඥාන ධන සම්පතකි.මෙම කරුණු දන්නා අය ඒවා පොත්පත්වල එක් රැස් කර තිබේ. එම කරුණු නිදන් කොට ඇති නොයෙක් ස්වරූපයේ පොත්ද ඇත. 'සංඛ්‍යා ශබ්දකෝෂ' නමින් හැඳින්වෙන්නේ ඒ ගණයට වැටෙන පොතකි. මෙම කෝෂග්‍රන්ථ මගින් නොයෙක් අප්‍රකට කෝෂාර්ථ අපට අතිශය විශද ලෙස දැනගත හැකි වෙයි.

එකේ සංඛ්‍යා දෙකේ සංඛ්‍යා තුනේ සංඛ්‍යා ආදි වශයෙන් එක්තරා විශේෂ වර්ග ක්‍රමයකට කෝෂාර්ථ ඉදිරිපත් කිරීම මේ ගණයේ පොත්වල ස්වරූපයයි. එනම් එකේ වර්ගයෙන් ප්‍රකාශ වන්නේ එක් වචනාර්ථයක් පමණි. දෙකේ වර්ගයෙන් අර්ථ දෙකකි. තුනේ වර්ගයෙන් අර්ථ තුනකි. ඒ ආදි වශයෙනි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථයක් වන අංගුත්තර නිකායේදීද ධර්ම කාරණා ඉදිරිපත් කොට ඇත්තේ මේ ක්‍රමය අනුවය. එහිදී ඒ ඒ ධර්මාර්ථ,


ඒකක

දුක

තික

චතුක්ක


ආදි සංඛ්‍යා වශයෙන් නිපාත හෙවත් වර්ගවලට බෙදා වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කර ඇති බැව් දැකිය හැකිය.

ගනිමු සංඛ්‍යා ශබ්දකෝෂයක් අතට. පෙරළමු දෙකේ සංඛ්‍යා වශයෙන් වචනාර්ථ ඉදිරිපත්කොට ඇති පිටුවකට. බලමු 'දෙදුමාව' යන වචනයෙහි කුමන අර්ථයක් ගැබ්ව ඇද්දැයි කියා. මෙන්න බලත්වා එය එම අරුත එහි දක්වා ඇති අයුරු.


දෙදුමාව:

1. දූ ගෙඩිය.

2. මව් ගෙඩිය.


සතරේ සංඛ්‍යා වශයෙන් වචනාර්ථ දී ඇති පිටුවක් පෙරළමු. බලමු

'සතර වර්ගය' යන්නෙහි අරුත.


සතර වර්ගය:

1.මවගේ මව් පරපුර.

2.මවගේ පිය පරපුර.

3.පියාගේ මව් පරපුර.

4.පියාගේ පිය පරපුර.


දැන් නවයේ සංඛ්‍යාර්ථ ප්‍රකාශනයක් දෙසට හැරෙමු. මෙන්න බලත්වා!


නව නාට්‍ය රස:

1.ශෘංගාර.

2.හාස්‍ය.

3.කරුණ.

4.රෞද්‍ර

5.බීභත්ස

6.වීර.

7.භයානක.

8.අද්භූත .

9.ශාන්ත.


සංඛ්‍යානුක්‍රමයෙන් ධර්මකාරණා ඉදිරිපත්කොට ඇති 'අංගුත්තර නිකාය' නාමධේය ත්‍රිපිටක ධර්මප්‍රකරණයෙන්ද උදාහරණ කිහිපයක් ගෙනහැර පෑම මැනවැයි හඟුම්හ.

'කවි' නාමයෙන් හැඳින්වෙන කවියන් සතර වර්ගය 'අංගුත්තර නිකාය' ග්‍රන්ථයේ චතුක්ක

(සතර වන) නිපාතයේ දක්වා ඇත්තේ කෙසේදැයි බලමු.


සතර වර්ග කවියෝ:

1. චින්තා කවි.

2. අත්ථ කවි.

3. සුත කවි.

3. පටිභාන කවි.


දැන් හඳුනා ගනිමු 'අංගුත්තර නිකාය' ධර්මප්‍රකරණයේ සිටිනා බිරියෝ සත්දෙනා (සත්ත භරියා).


සත් වර්ග බිරියෝ:

1.වධක.

2.චෝර.

3.ආර්ය.

4.මාතෘ.

5.භගිනි.(සොයුරි)

6.සඛී (යෙහෙළි).

7.දාසි.


'සංඛ්‍යා ශබ්දකෝෂ' යනු කවර ස්වරූපයේ ග්‍රන්ථ විශේෂයක්ද යන්න පූර්වෝක්ත සනිදර්ශන විවරණයෙන් මනාව විශද වෙතියි සිතම්හ.එසේම,

අඥාත අර්ථ කාරණා ඒකරාශිභූත කර ගැනීමෙන් බාහුස්‍රැත්‍යය හෙවත්
ඇසූපිරූබව අත්පත් කරගැන්මෙහිලා එම සංඛ්‍යා ශබ්දකෝෂයන්ගෙන් ලැබෙන පිටිවහලෙහි මහත්වයද එමගින්ම සනාථ වනු නිරනුමානය.

දැන් මම සංඛ්‍යා ශබ්දකෝෂයේ හයේ සංඛ්‍යා ගණයට වැටෙන එක්තරා නාම පදයක් දෙසට හැරෙමි. සංඛ්‍යා ශබ්දකෝෂයෙහිලා 'ෂට් වේදාංග' හෙවත් වේදාංග හය දැක්වෙන්නේ මෙසේය.


1.ශික්ෂා.

2.කල්ප.

3.ව්‍යාකරණ.

4.නිරුක්ති.

5.ඡන්දස්.

6.ජ්‍යෝතිස්ශාස්ත්‍ර.


මේ හය අතරෙන් මෙහිලා මගේ ප්‍රස්තුතයට අදාළ වන්නේ අන් එකකුදු නොව නිරුක්ති අංගය පමණි. 'නිරුක්ති' යන්නෙහි පර්යාය ශබ්දයක් හැටියට 'නිර්වචනය' යන්නද භාවිත වෙයි. Etymology, Derivation යනු ඉංග්‍රීසියෙහි ඒ වෙනුවෙන් යෙදෙන පද වෙයි. 'නිරුක්ති' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් ගෙනහැරපෑම මැනවැයි සිතම්හ.

'සමාජ' යන වචනය උදාහරණයක් කොට ගනිමු. අද අප 'සමාජ' යන වචනය භාවිත කරනුයේ කුමන අරුතක් සිතට නගාගෙනද? නැතහොත් 'සමාජ' යන වචනයෙන් අද අප තේරුම් ගන්නේ කවර අදහසක්ද? ජන සමූහයක්, ජන සංඝයක් යන අරුත හෝ අදහස එහි ගැබ්ව ඇති බැව් ඉඳුරා පැවසිය හැකිය. එය වූකලී අනාදිමත් කලක සිට පැවත ආ වාචසික ව්‍යවහාරය කරණකොටගෙන තහවුරු වූවකි. එහෙත් 'සමාජ' යන්නෙහි ප්‍රාථමික හෙවත් මුල් අර්ථය ඊට සපුරා වෙනස් වූවක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

ව්‍යාකරණ විග්‍රහය අනුව 'සමාජ' ශබ්දයේ ව්‍යුත්පත්තිය අපූරු ලෙස සිදු වූවකි. එය 'සම්' පූර්ව 'අජ්' ධාතුවෙන් (ක්‍රියා මූලයෙන්) සිද්ධ පදයකි. සංස්කෘත 'අජ්' ක්‍රියා මූලයෙහි ඇත්තේ ශීඝ්‍රව ක්‍රියා කිරීම, ගමන් කිරීම යන අරුතය. එළුවාට 'අජ' නම වැටුණේ ඒ අරුතිනි. 'සම්' උපසර්ගය 'එක්වීම' යන අරුත දෙයි. සංස්කෘත - පාලි දෙබසෙහිම 'අජ' යනු එළුවාය. මේ අනුව මුලින් 'සමාජ' ( සම් + අජ් = සමාජ් ) යන්න එළුවන්ගේ එක්ව හැසිරීම යන අරුතින් ව්‍යවහාර වූ ලෙස සැලකේ. කාලයාගේ ඇවෑමෙන් එය කවර එක්ව හැසිරීමකට හෝ පොදුවේ භාවිත විණැයි සිතිය හැකිය. 'සමාජය' යනු ජනතාවගේ එක්ව හැසිරීම මිස අන් කුමක්ද ?

ගනිමු 'ගවේෂණ' ශබ්දය. අද අප භාවිත කරන 'ගවේෂණ' ශබ්දයේ ගම්‍යමාන අර්ථය කවර යමක් හෝ සොයා යාමයි. එහෙත් එහි මුල් නිරුක්ත්‍යර්ථය එය නොවේ. එ⁣ඬේර යුගයේ ගව පට්ටි හිම්යෝ තම ගව රැළ තණ බිම් කරා ගෙන ගොස් දමති. හැන්දෑවේ ගොස් උන් යළි පට්ටි කරා ගෙන එන ඔවුහු ගවයන් අඩු නැතුව සිටින්නේදැයි ගැණ බලති. ඇතැම් ගවයෝ මං මුළාවීම නිසා අතර මං වෙති. එඬේරු යළි උන් සොයා වල් වදිති. මුලදී එම කාරිය හැඳින්වුණේ 'ගෝඒෂණ' යන නමිනි. එහි අරුත ගවයන් සොයා යෑමයි. (ගෝ + ඒෂණ = ගවේෂණ) 'ගෝ' යනු ගවයාය. 'ඒෂණ' යනු සොයා යාමයි. මුලින් ගවයන් සොයා යෑම් අරුතින් භාවිත වූ 'ගවේෂණ' ශබ්දය කාලයාගේ ඇවෑමෙන් කවර සොයා යෑමකට වුව පොදුවේ ව්‍යවහාරප්‍රාප්තව ගියේය. අද 'ගවේෂණ' වහර භාවිත කරන අපට ගවයන් සොයා යාමක් කිසිසේත් සිහියට නොනැගෙයි. ගොම්මන, ගොම්මන් වෙලාව යන වහරද බිහිව ඇත්තේ එදා එ⁣ඬේරුන් හවස් යාමයේ ගවයන් තණබිම්වලින් මගට ගන්නා වෙලාව යන අරුතින් විය නොහැකිද?

ඉහත ඉදිරිපත් කෙරුණේ ව්‍යාකරණානුකූල නෛරුක්තික විවරණයකි. දැන් දැන් මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යකාර්යෙහි නිරත ඇතැම් අල්පඥ නිවේදක නිවේදිකාවන් හා ලේඛක ලේඛිකාවන් විසින් අමුතුම ජාතියේ පද නිරුක්ති දැක්වීමක් අරඹා ඇති බැව් පසක් වන්නේ වරක් දෙවරක් නොවේ. මෙහිලා ඒවායින් උදාහරණ කීපයක් ගෙන හැර පෑම මැනවැ⁣යි හැඟේ.

මේ එක්තරා රූපවාහිනී නාලිකාවක උදේ වැඩසටහනක් ආරම්භ කළ නිවේදිකාවක අති පණ්ඩිත මහගේ කෙනෙකුගේ විලාසයෙන් තම විච්චූරණ චූර්ණිකාවේදී 'පැහැසර' වචනයේ නිරුක්තිය දැක්වූ අයුරුය.

" 'පැහැසර' වචනය හැදිලා තියෙන හැටි බලන්න. 'පැහැ' කියලා කියන්නෙ :ප්‍රභාවටයි. 'සර' කියන්නෙ සූර්යාටයි. එතකොට 'පැහැසර' කියන්නෙ ප්‍රභාවත් සූර්යා."

උසස් පන්තිවල සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය හදාරන පාසල් ශිෂ්‍යයෙකුට පවා මේ අති පණ්ඩිත නිරුක්තියට සිනා පහළ වනු නිසැකය. මක්නිසාද යත්, 'පැහැසර' යනු 'ප්‍රභාස්වර' යන සංස්කෘත වචනයේ සිංහල තද්භව පදය බවත් එහි අර්ථය 'බබළන' යන්න බවත් ඔහු ගුරුන්ගෙන් ඉගෙන ගෙන ඇති හෙයිනි. එකී නිවේදිකාවගේ කටින් 'ප්‍රභාවත්' යන වචනය උසුරුවීමෙන්ද ප්‍රකට වන්නේ එහි ඇති 'වත්' යනු සාවද්‍ය ප්‍රත්‍යයකැයි ඇය නොදැන සිටි බවය.

මේ තවත් එක්තරා නිවේදක අතිපණ්ඩිතයෙකු 'අකනිටා බඹලෝ' යන්නෙහි නිරුක්තිය අර්ථකථනය කළ සැටිය. ඔහු එය කළේ 'අකනිටා' යන ශබ්දය 'අගනිටා' යනුවෙන් විකෘති කොට උසුරුවමිනි.

" 'අගනිටා බඹලෝ' කියන්නෙ මොකක්ද දන්නවද? දැනගෙන හිටියෙ නැත්නම් මෙන්න අහගන්න. 'අගනිටා' කියන්නෙ අගණිත. අගණිත කියන්නෙ ගණන් කරන්න බැරි. අගනිටා බඹලෝ කියන්නේ ගණන් කරන්න බැරි තරම් බ්‍රහ්ම ලෝක."

දැන් එහි නියම නිරුක්ත්‍යර්ථය අසා දැන ගනිත්වා! 'අකනිටා' යනු 'අකනිෂ්ඨ' (සංස්කෘත) සහ 'අකනිට්ඨ' (පාලි) යන පදවල සිංහල තද්භව රූපයයි. සොළොස් (16) වැදෑරුම් බ්‍රහ්ම ලෝකයන්ගෙන් ශ්‍රේෂ්ඨ බ්‍රහ්ම ලෝකය අකනිටාවයි. කනිටු නොවනුයේ අකනිටායි. එය අන් සියලු බඹලෝවලට ඉහළින් පිහිටි බඹලොව ලෙස සැලකෙන්නේ එහෙයිනි.



අදහස් (0)

භාෂාවේ නිරුක්ති අර්ථ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site