(සුජිත් හේවාජුලිගේ)

මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43 රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ලදැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ  චමින්ද්‍රාණි  කිරිඇල්ල මහත්මියගේ නම සාවද්‍ය ලෙස කෝප්  කමිටුව හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලියනගේ පද්මසිරි මහතා  ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු  කමිටුව හමුවේ  කණගාටුව පළ කරමින් කිරිඇල්ල මහත්මියගෙන්   සමාව අයැද සිටියේය.

ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සමාව අයැද සිටි බව එම කමිටුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවටද  (කෝප් කමිටුවට)  දැනුම්දී ඇත.

වැරදි ප්‍රකාශය සංස්කරණය නොකර විකාශනය කිරීමෙන් මන්ත්‍රීවරියගේ  කීර්ති නාමයට හානියක්වී ඇති හෙයින්  එම වරද නිවැරදි කර පාර්ලිමේන්තුවට දන්වන ලෙසද  ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුවට වැඩිදුරටත් දන්වා ඇත

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ඉඩමේ හිමිකම සම්බන්ධයෙන් චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියගේ නම සදහන් කර තිබුණේ  පසුගිය වසරේ ජූලි මස 17 වැනිදා පැවති  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.

හන්තාන ඉඩම සම්බන්ධයෙන් තමාගේ නම සාවද්‍ය ලෙස සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් සිදුවූවා මෙන්ම පාර්ලිමේන්තු   වරප්‍රසාද කඩවූ බවට කිරිඇල්ල මහත්මිය පසුගිය වසරේ ජූලි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ඇයගේ එම වරප්‍රසාද ප්‍රශ්නය ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පසුගිය ජනවාරි 9 වැනිදා   සලකා බැලුණු අවස්ථාවේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා   සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සමාව අයැද සිටියේය