(නිමල කොඩිතුවක්කු)

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ගුවන් සේවා මගී පද්ධති, පිටත් වීම් පාලන පද්ධකි, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන් කොටු පොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. 

ඒ අනුව, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා අදාළ සේවාවන් සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීම මත නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකුලව ප්‍රතිචාර දක්වා ඇති එකම ලංසුකරු වන SITA Switzerland SARL වෙත 2026-10-01 දින සිට 2031-09-30 දින දක්වා වසර 05 ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.01 ක මුදලකට සීමා සහිතශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාක්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.