( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ- ඩයගම මාර්ගයේ ලිඳුල, තිස්පනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මහ මග නවතා එම බස් රථයේ රියදුරාට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැන පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

ඩයගම සිට තලවකැලේ, හැටන් හරහා කොළඹ බලා ධාවනය වන බස් රථයකට තිස්පනේ ප්‍රදේශයේදී නවතා මෙසේ පහරදීමක් සිදු කොට ඇති බවත්, එම පහරදීම තලවකැලේ- ඇල්ජින් පුද්ගලික බස් රථයක සේවකයන් දෙදෙනෙකු විසින් සිදු කොට ඇතැයි හැටන් ඩිපෝවේ ලංගම සේවකයෝ පවසති.

පරුෂ වචනයෙන් බැණ වදිමින් රියදුරාට මෙසේ පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසු සිසුවියන් ඇතුළු මගීන් විශාල ප්‍රමාණයක් සිට ඇති බවත්, මෙම පහරදීම ලංගම බස් රථයේ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කොට සමාජ මාධ්‍යවලට මුදා හැර ඇති බවද එම සේවකයෝ පවසති.