(සුජිත් හේවාජුලිගේ)

මීගොඩ රොටි දන්සලකදී හය දෙනකු කැබ් රථයකට යටවී මිය යෑම සහ තිදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව යංගල්මෝදර අනතුරේදී මෙන් නීතිපතිවරයාට මිනීමැරුම් චෝදනාව යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

කෙසේ වෙතත් එසේ කටයුතු කළ හැක්කේ මූලික පොලිස් විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කටයුතු අවසන්වීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

අනතුර දැක දැක නොසැලකිලිමත් ලෙස වාහනය එහා මෙහා ගැනීමෙන් මෙම මරණ චේතනාවිතව කර ඇති බවක් පෙනී යන බව පැවැසූ මහාචාර්යවරයා යාන්ගල්මෝදරට වඩා මෙය දරුණු තත්වයක් වන්නේ ඒ නිසා බවද ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී යථාර්ථ වගකීමක් ලෙස සලකා නීති සංශෝධනයක් ගෙන අා හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

යාන්ගල්මෝදර අනතුර සිදුවූයේ 2005 වසරේදී බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය එහි රියදුරැට සහ කොන්දොස්තරවරයාට මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව නිකුත් කළ බවත් මහානාම හේවා මහතා පැවසීය.