ප්‍රවීණ සාහිත්‍යවේදිනියක්, පුවත්පත් කලාවේදිනියක්, ලේඛිකාවක්, මෙන්ම කිවිඳියක් වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත වූවාය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි (ලේක් හවුස්) ඩේලි නිව්ස් සිළුමිණ, තරුණි ආදී පුවත්පත්වල මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ මාලිනී ගෝවින්නගේ මෙනවිය ඉන් විශ්‍රාමයාමෙන් අනතුරුව ද නිදහස් මාධ්‍යවේදිනියක, ශාස්ත්‍රීය හා විචාර ලිපි ලේඛිකාවක ලෙස කටයුතු කළාය.

ලේක් හවුස් ආයතනයෙහි වාර්ෂික බෞද්ධ ප්‍රකාශනයක් වන බුද්ධ ප්‍රදීප සඟරාවේ ආරම්භක කතුවරිය වූ ඇය ජාතික පුස්තකාලය මඟින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රලේඛා සඟරාවේ සංස්කාරකත්වය ද දැරුවාය.

විද්‍යාංලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන මාලිනී ගෝවින්නගේ මෙනෙවිය ඇමරිකාවේ මිචිගන් සරසවියෙන් පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද හදාරා ඇත.

‘ෆොන්ටමාරා’, ‘තැනිතලාවේ දේවතාවිය’, ‘අර්නස්ට් චේ ගුවේරා’, ‘මෝටර් බයිසිකල් දිනපොත’, ‘බොලීවියානු දිනපොත’, ‘මගේ පිකාසෝ’, ‘මා හද සඟවන්’, ‘කිවිඳ හදට එබී බලන්’, ‘හිම පාත්ති’, ‘පා සටහන් නැති දේවියෝ’, ‘අකීකරු මුහුදු ලිහිණියා’, ‘හඬනු පෙම්බර දේශය’, ‘වීදි හාදුව’, ‘ඉන්කා’, ‘දූවිලි දේදුන්න’, ‘දිවි අරුත’, ‘සන්ටිසුගේ යුද කලාව’, ‘මට මතක බීතෝවන්’ ආදී පරිවර්තන හා අනුවාද කෘති ගණනාවක් ඇය රචනා කළාය.

ඇය පරිවර්තනය කරන ලද “රළ” නමැති කෘතිය වෙනුවෙන් 2015 වසරේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම සිංහල පරිවර්තන විවිධ විෂය කෘතියට හිමි සම්මානය ද පිරිනැමිණි.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල සාමාජිකාවක ලෙස දිගු කාලයක් කටයුතු කළ ඇය අශෝක හඳගම මහතාගේ ‘අක්ෂරය’ චිත්‍රපටයට අධිකරණයට ගෙන ගිය මොහොතේ තනතුරු අත්හැර ඊට සිය විරෝධය පෑවාය.

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය විකිරණ ප්‍රතිකාරය පවා ප්‍රතික්ෂේප කළාය.

කොළඹ ජීවත් වූ ඇය තම හුදෙකලා දිවියට සමු දී කලකට පෙර තම පවුලේ ඥාතීන් වෙතට ගිය අතර ඇය දිවි සැරිය නිම කළේ තම උපන් ගම වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය නම් ග්‍රාමයෙහි ය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.