(නිමල කොඩිතුවක්කු)

තෝරා ගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වර්තමාන ඉඩම් පරිහරණ රටාවන් අනුව බලපෑමට ලක්ව ඇති ජල මූලාශ්‍ර සංරක්ෂණය කර ගැනීමේ එක් පියවරක් ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව් වල සීමාවන් එම දෙපාර්තමේන්තුවේ මායිම් කණු යොදා නිශ්චිත ලෙස භූමියේ සලකුණු කිරීම සඳහා 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය වෙතවෙන් කර ඇති රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන යොදා ගනිමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-06-16 දින
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, විවිධ බලපෑම්වලට ලක් වෙමින් පවතින කෝරාගත් වැව් 21 ක කාර්යයන් 2025 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර නුවර වැව, කන්තලේ වැව හා තිස්ස වැව යන වැව් 03 ට අදාළ සීමාවන් සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු එම වර්ෂයේදීම අවසන් කර ඇත. මීට අමතරව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ අදාළ ව්‍යාපෘති යෝජනාවේ ඇතුළත් වැව් 48න් වැඩ ආරම්භ නොකරන ලද ඉතිරි කාර්යයන් ඉදිරි වර්ෂ වලදී අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සැකසීම හා සවි කිරීම සහ රුක් රෝපණය ඇතුළුව 2025-2028 කාලසීමාව වෙනුවෙන් සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 400 ක් ලෙස ගණනය කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය තවදුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.