(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එම කමිටුවෙන් ඉවත් වන බවයි

ඔහු මෙසේ පැවසුවේ එම කමිටුවේ කාලය දෙසැම්බර් 17 වැනිදා දක්වා දීර්ඝ කරන බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.

අපි මේ දීර්ඝ කිරීමට විරුද්ධයි. දීර්ඝ කිරීම ගැන ඡන්දයක් ඉල්ලනවා. අපිට බෙදීමක් දෙන්න. අපේ ඉවසීම අවසන් බව ජනතාවට කියන්න අවශ්‍යයි.

මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා:

රාසමාණික්කම් මන්ත්‍රී විතරක් එ් කමිටුවේ ඉඳලා ගියා. අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා එතන හිටියෙත් නෑ. මෙතන කාන්තා නියෝජනය තරුණ නියෝජනය ගැන ප්‍රශ්නයක් තියෙනවා. කමිටු සාමාජිකයන් එ් ගැන කතා කළා. කමිටුවේදී කවුරුවත් ඉල්ලා අස්වෙන ප්‍රකාශයක් කළේ නැහැ. කමිටු සාමාජිකයන්ගෙන් අහන්න, ඇත්තටම මොකද වුණේ කියලා

දයාසිරි ජයසේකර මහතා:

අපි මේකට විරුද්ධයි. ඡන්දයක් තියන්න.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා:

පළාත් සභා විශේෂ කාරක සභාවේ කාලය දික් කිරීම ගැන විරෝධය පළ කරනවා. අපි ඒ ගැන විරෝධය පළ කිරීමට ඡන්දයක් ඉල්ලනවා. විපක්ෂයේ නියෝජිතයන් ඉන් ඉවත්වන බව ප්‍රකාශ කරනවා. ඡන්දය නොපැවැත්වීම ගැන කනගාටු වෙනවා. කාලය දික් කිරීම සහ ඒ ගැන ඡන්දයක් නොපැවිත්වීම ගැන අපේ විරුද්ධත්වය සටහන් කරගන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම නොවෙයි කරන්න ඕන, රජය වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන. පරණ ක්‍රමය යටතේ හෝ පළාත් මැතිවරණය පවත්වන්න. පළාත් සභා පරක්කු කිරීමට කාරක සභාවේ කාලය දික් කිරීම ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමක්. ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්

අජිත් පී පෙරේරා මහතා:

පරණ ක්‍රමයට මේ ඡන්දය තියන්න පුළුවන්. මේ තේරීම් කාරක සභාව මාස නවයකට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. ආණ්ඩුව උපායමාර්ගික ලෙස කටයුතු කරනවා.

විපක්ෂයේ සාමාජිකයන් ඊයේ ඉවත් වුණේ ඒකයි.ආණ්ඩුව මේ කටයුතු ඉක්මන් කරන්නේ නැත්නම් අපිට ඡන්දයක් ඉල්ලන්න සිද්ධ වෙනවා.

ෂානක්කියන් රාසමාණික්කම් මහතා:

කමිටුවේ කාලය දීර්ඝ කිරීම ගැන මගේ විරෝධය සටහන් කරගන්න.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:

පළාත් සභා මැතිවරණය කල් දාන්නේ නැහැ. නියමිත පරිදි පවත්වනවා. ඒකට පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරන්න ඕන. මේ කමිටුවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරනවා

මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:

මේ කමිටුවට මාස නවයක් වෙනවා. මෙතන සිද්ධ වන්නේ කල් මැරීමක්. ඡන්දය කල් දාන එකක්. අපි මීට පස්සේ ඒ කමිටුවට එන්නේ නෑ.