(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත " කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත මෙහිදී පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය එක්ව මෙම ක්‍රියාවලිය උදෙසා දක්වන දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඇගයීමට ලක්වූ අතර, මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට ද ඔවුහු එකඟතාව පළ කළහ.

ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Dinar Prihardini මහත්මිය සහ Klakow Akepannidtaworn මහතා මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.