(රෝෂන් තුෂාර)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා' නැමැත්තාගෙන් රුපියල් කෝටි දොළහක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවකුවන ඇප මත සිටින  සමගි ජන බලවේගයේ හොරණ හිටපු  ආසන සංවිධායක චරිත් අබේසිංහගේ හොරණ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපළ තහනමට ලක් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.

විශේෂ මෝෂන් පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිතදේ පිළිබද පනතේ 71 වගන්තිය ප්‍රකාරව දේපල අත්හිටුවීමට පියවර ගත් බවය.

අදාළ දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගය චරිත් අබේසිංහ යන අයගේ බිරිඳට ලබා දුන් බවත්, නියෝග පිටපතක් හොරණ ඉඩම් රෙජිස්ඨාර් වරයාට ලබාදීමට කටයුතු කර ඇති බවත් පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හරක් කටා' නැමැත්තාගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් වන නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන අය සැකකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලට මෙම විශේෂ මෝෂන් පත්‍රය ඉදිරිපත් කර තිබිණි.