(අංජුල මහික වීරරත්න)

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් මහතා අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී  සිදුවිය.

එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ( ප්‍රධාන ලේකම් එම්.ඒ බේබි  මහතා සහ මධ්‍යම කාරක සභා සාමාජිකයන්  කිහිප දෙනෙක් අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.

ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරලයේ සිදුකර ඇති වැඩසටහන් සම්බන්ධයෙන්ද, සාක්ෂරතාව 100%ක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.