
කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝලනයක් අප රට තුළ පවතින බව සියලු දෙනා දන්නා කරුණකි. මේ අතර වඩාත්ම කතිකාවට ලක්වූ මාතෘකාවක් නම්, ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරය මිහිදන් කිරීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර විය හැකිද යන්නයි. ඒ සම්බන්ධව විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් නොයෙකුත් මත පළ කර තිබුණද මෙහිදී බහුලව දක්නට ලැබුණේ විද්‍යාත්මක සාක්ෂිවලට පටහැනි තර්කයන්ය.
සියලුම වසංගත කලින් කලට ලොවට පැමිණෙන්නේ ආගන්තුක ආසාදන තත්ත්වයන් ලෙසය. මෙවැනි වසංගත තත්ත්වයන් තුළ භූමදානය කළ මළ සිරුරු නිසා සුසාන භූමිවල පස දූෂණය වන බවට මිත්‍යා මතයක් සමාජයේ ගොඩනැඟී ඇත. එසේ පස දූෂණය වීමෙන් අවට ප්‍රජාවට අහිතකර බලපෑමක් එල්ල වන්නේ නම්, ඉතිහාසයේ ඇති වූ මහාමාරිය, කොලරාව, වසූරිය, ක්ෂය රෝගය, ඉන්ෆ්ලුවන්සාව, පෝලියෝ, ඒඩ්ස් හා ඉබෝලා වසංගත තත්ත්වයන්වලදී තනිව හා සමූහ වශයෙන් භූමදානය කළ මෘත ශරීර මගින් අවට ප්‍රජාවට බලපෑමක් සිදුවිය යුතුව තිබුණද දියුණු තාක්ෂණික උපක්‍රම හා මෙවලම් භාවිතයෙන්, මෙම විෂය සම්බන්ධ විශේෂඥයන් සිදුකළ කිසිම සමීක්ෂණයකින් එසේ සිදුවන බවට සාක්ෂි සොයාගෙන නොමැත.
එවැනි අවදානමක් තිබේ නම්, ඉබෝලා වැනි ඉතා භයානක හා පහසුවෙන් ආසාදනය විය හැකි රෝග, රුධිරය හා දේහ තරල මගින් සම්ප්‍රේෂණය වන සෙංගමාලය C හා B මෙන්ම HIV රෝගීන්ගේ මෘත දේහ ද භූමදානය කිරීම ලොව පුරා (දියුණු රටවල් ද ඇතුළුව) සිදු නොවනු ඇත. මෙසේ භූමදානයට අවසර දීමට ප්‍රධානම හේතුව වන්නේ බැක්ටීරියා හා වෛරස මෘත දේහ මත දිගුකාලීනව ජීවත්වීමට නොහැකි නිසාය.
තවත් අවධාරණය කළ යුතු කරුණක් නම්, ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන්, ක්‍රමානුකූලව භූමදානය නොකළ මෘත දේහයන්ගෙන් අසූචි නිකුත් වීමේදී (Faecal Leakage) පිටතට ගමන් කිරීමේ සම්භාවිතාවක් පවතින බවයි. මේ නිසාම කොළරාව වැනි ජීරණ පද්ධතිය ආශ්‍රිත බැක්ටීරියා ආසාදිත රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේදී එම මෘත ශරීරය විෂබීජහරණයකට ලක් කර සීල් කරන ලද මල්ලක් (Bag) තුළ තැන්පත් කෙරෙයි.
ජීරණ පද්ධතිය ආශ්‍රිත වෛරස බොහොමයක් ඇත. එම වෛරස පරිසරයට මුදා හැරීම සිදුවන්නේ ආසාදිත මෘත දේහ මගින් පමණක් නොවේ. සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් මළ පහ කිරීම හා නිසි ප්‍රමිතියට අනුකූලව අසූචි වළවල් නොපිහිටීම නිසාද එදිනෙදා කටයුතුවලදී මෙම වෛරස පරිසරයට මුදා හැරීමේ සම්භාවිතාවක් ඇත. මෙයට උදාහරණ ලෙස සෙංගමාලය A (Hepatitis A) වෛරසය හැඳින්විය හැකිය. මෙම වෛරස කෙනෙකුගෙන් තව කෙනකුට පැතිරෙන්නේ ද අසූචි ආශ්‍රිත වෛරස මුඛ මාර්ගයෙන් ඇතුල්වීම මගින්ය. (Faeco-oral route) එහෙත් කොවිඩ්-19 යනු ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක් (Respiratory pathogen) වන අතර එය ජීරණ පද්ධතියේ (Enteric virus) ඇති වෛරස සමග කිසිදු සමානකමක් හෝ සබඳතාවක් නැත.
මේ අතර කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරයක් මිහිදන් කිරීම නිසා සුසාන භූමිවල පස, ජලය හා පරිසරය දූෂණය වීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර තත්ත්වයක් උදාවිය හැකි බව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් රචිත ලිපියක පවසා තිබුණි. එම ලිපිය විද්‍යාත්මක කරුණු මත පදනම් කිරීමට ඇය ගත් උත්සාහය අගය කළ යුතු නමුත් එහි අන්තර්ගතය පාඨකයා නොමඟයවනසුළු බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.
ඇය එහිදී සඳහන් කළ එක් ප්‍රකාශයක් නම් බැක්ටීරියා හා වෛරස ජල මූලාශ්‍ර ඔස්සේ ගංගා, ඇළ, දොළ, ළිං ආදිය සමග මිශ්‍ර වී දීර්ඝ කාලයක් පැවැතීමේ සම්භාවිතාවක් තිබෙන බවය.
කොවිඩ්-19 යනු පිටත මේද ආවරණයක් පවතින තනි RNA රැහැනක් (Single Stranded RNA) සහිත වෛරසයකි. මෙම වෛරස ක්ලෝරීන් වැනි ඉතා සරල විෂබීජ නාශක මගින් පවා විනාශ කළ හැකිය. නිවසේදී නිතර භාවිත කරන බ්ලීචින් කුඩු (Bleaching powder) මෙයට නිදසුනකි. එසේම 70% මධ්‍යසාර ද්‍රාවනය මෙන්ම සබන් මගින්ද මෙම මේද ආවරණ බිඳ දැමීමට හැකි නිසා RNA රැහැන ඉවත්වී වෛරසය නිෂ්ක්‍රීය තත්ත්වයට පත්වේ. විවිධ කාල වකවානුවල කළ සමීක්ෂණ අනුව කොරෝනා වෛරසය ක්ලෝරීන් නොයෙදූ ජලය තුළ ආයු කාලය දින දෙකක් පමණ බවත්, 99.9%ක්ම වෛරස අපවිත්‍ර ජලය තුළ දී දින 2ත් 4ත් අතර කාලයක් තුළ අක්‍රිය වන බවත් සොයාගෙන ඇත. 2020 මාර්තු මස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කළ “Water, Sanitation, Hygiene and Waste Management for Covid-19” ප්‍රකාශයෙහි සඳහන් පරිදි භූ මතුපිට, භූගත හෝ දූෂිත ජලයේ කොවිඩ්-19 වෛරසය පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැත.
එහෙත් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත වෛරස, පිටත මේද ආවරණයක් රහිත ඒවා වේ. මෙම වෛරස අපවිත්‍ර ජලය තුළ සජීවීව සිටීමේ හැකියාවක් හා යම්කිසි දුරක් ගමන් කිරීමේ හැකියාවක් තිබේ. නැවත වරක් අවධාරණය කළ යුතු කරුණ නම් කොවිඩ්-19 යනු ස්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින වෛරසයක් බවත් එය ආහාර ජීර්ණ පද්ධතිය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය. එය ආසාදිතයකුගෙන් නිරෝගී කෙනකුට බෝ වන්නේද ස්වසන මාර්ගයෙන් පිටවන බිඳිතිවලින් පමණකි. මෙම බිඳිති ආශ්වාස කිරීම මගින් හෝ ශ්ලේෂ්මල පටල හරහා (නාසය හා ඇස්) නිරෝගී පුද්ගලයකුගේ ශරීරයට වෛරසය ඇතුල්විය හැකිය. එබැවින් කොවිඩ්-19 වෛරසය ජල මූලාශ්‍ර ඔස්සේ ගංගා, ඇළ, දොළ, ළිං ජලය ආදිය සමග මිශ්‍රවීමේ හා දීර්ඝ කාලයක් පැවතීමේ සම්භාවිතාව නොසලකා හැරිය හැකි තරම්ය.
එසේම, මෙම මෘත ශරීර භූමදානය කරන්නේ නිවැරැදි ලෙස දේහය එතීමෙන් අනතුරුව, කිසිදු තරලයක් කාන්දු නොවන ආකාරයේ සීල් කරන ලද ප්ලාස්ටික් මෘත දේහ බෑග (Body bags) තුළ බහාලීමෙන් අනතුරුවය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කළ ප්‍රකාශිතයේ සඳහන් වන්නේ කොවිඩ්-19 රෝගීන්ගේ මෘත දේහ භූමදානය කිරීමේදී හෝ ආදාහනය කිරීමේදී මෘත දේහ මලු තුළ බහාලීම අනවශ්‍ය බවයි. මෙයට හේතුව වෛරසය සම්ප්‍රේෂණය වන්නේ ස්වසන මාර්ගයෙන් පිටවන බිඳිති ආකාරයෙන් පමණක් නිසා හා එය ආදාහනය/ භූමදානය මගින් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ නැති නිසාය.
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් මිලියන 5ක් පමණ මේ වනතෙක් ලොව පුරා වාර්තාවී ඇත. ඔවුන්ගෙන් ලබාගත් මුත්‍රා හා අසූචි සාම්පල් ආශ්‍රිතව කළ PCR (Polymerase Chain Reaction) පරීක්ෂණ බොහොමයක් තිබේ. එසේ කළ පරීක්ෂණ මගින් කොවිඩ්-19 වෛරසයේ RNA එහි දැකගත හැකි බව වාර්තා විය. එහෙත් PCR පරීක්ෂණයක් වෛරසයක් පෙන්නුම් කළ පමණින් එය ක්‍රියාකාරි සක්‍රිය වෛරසයක් බව නිශ්චය කළ නොහැකිය. එයට හේතුව මියගිය අක්‍රීය වෛරස ද අසූචි පරීක්ෂා කිරීමේදී පෙන්නුම් කරන නිසාය. තවද කොවිඩ්-19 මළ රෝපණ මාධ්‍ය පරීක්ෂණ වාර්තාවලින් එක් වාර්තාවක් පමණක් එය රෝපණය වන බව සඳහන් කරයි. එම පරීක්ෂණයේ අරමුණ නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන ක්‍රියාදාමයන් තුළ වෛරසය සජීවීව සිට අසූචි හරහා බැහැර වන්නේද යන්නත් එසේ බැහැර වන අවස්ථාවේ වෛරසයේ RNA පැවැතීමට හැකිද යන්න සොයා බැලීමය. තවද මුත්‍රා හා අසූචි ආශ්‍රිතව වෛරසය පෝෂණය වී වෙනත් මාර්ගයකින් (ආහාර හෝ ජලය මගින්) මුඛය තුළින් වෛරසය සම්ප්‍රේෂණය වීම සනාථ කිරීමටද දැනට ආසාදිත මිලියන 5ක් වන රෝගීන්ගෙන් කළ පරීක්ෂණවලින් සොයා ගැනීමට නොහැකි විය.
මුඛ මාර්ගයෙන් මෙම වෛරසය පැතිරීමේ අවදානමක් ඇත්නම් මේ වනවිට රෝග විශේෂඥයන් විසින් උණු කළ ජලය පානය කරන ලෙසත්, අමු ආහාර පරිභෝජනයෙන් වැළකී සිටින ලෙසටත්, වසංගත ප්‍රදේශ ආශ්‍රිතව වෙනම ආහාර දාමයක් ක්‍රියාත්මක කිරීම, විෂබීජ නාශක යොදා ආසාදිතයන් වෙසෙන ස්ථානවල අසූචි බැහැර කිරීම වැනි නිර්නායක ලබාදිය යුතුව තිබුණි. එහෙත් ඉහත කිසිවක් කිසිදු දේශීය හෝ ජාත්‍යන්තර මාර්ගෝපදේශයකට ඇතුළත් කර නොමැති අතර එය උපකල්පනයක් පමණක් බව ඔප්පු වී ඇත.
කොවිඩ්-19 වෛරසය එසේ වුවත් ඊට වෙනස් SARS වෛරසය නිසි ලෙස අසූචි කළමනාකරණය නොකිරීම නිසා ආසාදනය වීමේ සම්භාවිතාවක් ආසාදනය වූ මුළු රෝගීන් 8000න් කිහිප දෙනෙකු පරීක්ෂා කිරීමෙන් තහවුරු විය. එහෙත් එම පරීක්ෂණ වාර්තා කොවිඩ්-19 සමඟ සංසන්දනය කළ නොහැකිය. එයට හේතුව කොවිඩ්-19 හා SARS යන වෛරස දෙකම කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වුවත් එහි වෙනස්කම් බොහොමයක් ඇති බැවිනි. එසේ තිබියදී භූගත ජලය මගින් මෙම රෝග සම්ප්‍රේෂණය වන බව පැවැසීම සාක්ෂිවලට පටහැනි සාවද්‍ය ප්‍රකාශයකි.
මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කළ පරිදි මෘත ශරීර දිරාපත්වීමේදී රසායනික අයන හා සංයෝග පරිසරයට මුදා හැරීම සාමාන්‍ය ක්‍රියාදාමයකි. මෙය කොවිඩ්-19 මෘත දේහවලට පමණක් අදාළ නැත.
මෙම වෛරසය ජල මූලාශ්‍ර සමග පරිවහනය වී ළිංවලට එය කාන්දු වීමට හැකි යැයි විද්‍යාත්මකව තහවුරු වී තිබෙන බවට තවත් සාවද්‍ය මතයක් ගොඩනැගී ඇත. එහිදී තේරුම්ගත යුත්තේ බැක්ටීරියා මෙන් නොව වෛරස ප්‍රගුණවීම සඳහා ජීවී සෛලයක් අවශ්‍ය බවය. මරණයත් සමඟ මෘත දේහයේ සෛල තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ශරීරයේ ඇති සෛල තුළ පවතින එන්සයිම මගින් සෛල ස්ව-ජීරණ ක්‍රියාවලියකට භාජනය කරයි. එවිට වෛරස ප්‍රගුණ වීම සඳහා පවතින හිතකර පරිසරය අහිමිවීම නිසා වෛරස ප්‍රගුණවීම ඇන හිටී.
එසේ නම්, මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ පෘෂ්ඨයන් මතුපිට පවතින වෛරසයෙන් ද යන්න කෙනකු ප්‍රශ්න කළ හැකිය. දැනට පවතින සමීක්ෂණ දත්ත අනුව සාමාන්‍යයෙන් මෙම වෛරසය තඹ පෘෂ්ඨ මත පැය 3ක්, කාඩ්බෝඩ් පෘෂ්ඨ මත පැය 24ක් හා ප්ලාස්ටික් හෝ ලෝහ පෘෂ්ඨයන් මත දින 2 සිට 3 අතර කාලයක් සජීවීව සිටී. එබැවින් කිසියම් ආකාරයකින් ක්ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳුනද අවසානයේදී නිසි පෝෂක නොමැති නිසා පසුව විනාශවී යනු ඇත. එසේම මෙම වෛරසය හිරුඑළිය, උෂ්ණත්වය, පසෙහි ආම්ලික හා භාෂ්මික ගතිය වැඩිවීම වැනි පාරිසරික තත්ත්වයන් සමඟ විනාශයට පත්වේ. තවද මෘත දේහ ආදාහනය හෝ භුමදානය කිරීමට ප්‍රථම නිසි විෂබීජහරණයකට ලක් කෙරෙයි.
එසේ නම් මෙම ඕජස් සහිත වෛරසය සජීවී තත්ත්වයෙන් කාන්දුවී, සීල් කර ඇති මෘත දේහ මලු තුළින් පිටවී ජලයට එක්ව, ජලය තුළත් ජීවීව සිට, නැවත අවට ප්‍රජාව පරිභෝජනයට ගන්නා ජලයට එකතුවී රෝගය බෝ කිරීමේ සම්භාවිතාව මෙය කියවන ඔබට නිර්ණය කළ හැකිය.
කොවිඩ්-19 රෝගය වැළඳීමේ අවදානම වැඩි වශයෙන් පවතින්නේ වෛරස ශරීරගත වූ ජීවී පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින්ය. මෙම මෘත දේහ කළමනාකරණය කරන සෞඛ්‍ය සේවකයන් හටද අවදානමක් පවතී. එබැවින් කොවිඩ්-19 මරණයක් සිදුවූ තැන සිට මෘත ශරීරය බැහැර කරන ස්ථානය දක්වා පිළිපැදිය යුතු නිර්දේශ කර ඇති ආසාදන පාලන ක්‍රමවේද (Infection Prevention and Control Measures) බොහොමයක් පවතියි. මරණය සිදුවූ ස්ථානය විෂබීජහරණය කිරීම ඇතුළු මෘත දේහය හැසිරවීම හා පෞද්ගලික ආරක්ෂිත උපාංග පැළඳීම වැනි සියලුම කරුණු සඳහා නිර්නායක මෙහි ඇතුළත්ය.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා සංවිධානය වැනි සංවිධානද ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය හෝ ඉන්දියාව වැනි රටවල් ද නිකුත් කළ මාර්ගෝපදේශ (Guidelines) වල මෘත දේහ ආදාහනය පමණක් කළ යුතු බවට සඳහන් වී නොමැත. චීනයේ මෙය ආදාහනය ලෙස සඳහන් කරන්නේ විද්‍යාත්මක හේතු නිසා නොව විශාල වශයෙන් මරණ සිදුවුවහොත් භූමිය හා කාලය යන සම්පත් කළමනාකරණයේදී ගැටලු මතුවිය හැකි නිසාය. එය හුදෙක් කළමණාකරණ උපායමාර්ගයක් වන අතර විද්‍යාත්මක පදනමක් නොමැත.
එමෙන්ම මෘත ශරීර දිරාපත් වීමේදී නිකුත් වන ඇමෝනියා වායුව හමුවේ RNA වෛරසයක් වන කොවිඩ්-19 ඉතා සංවේදී හැසිරීමක් දක්වයි. එසේම මෘත දේහ ජීර්ණයේදී තාපය නිපදවන අතර දේහයේ උෂ්ණත්වය ඉහළ යාමක් ද පසෙහි භාෂ්මික ගුණය වැඩිවීම ද සිදුවේ. මේ සියලු සාධක වෛරස ජීවී කාලයට අහිතකර බලපෑම් එල්ල කරනු ලැබේ. එබැවින් වෛරසයේ ජීවී කාලය ද භූමදානයට පෙර අනුගමනය කරන ආසාදන පාලන ක්‍රමවේද ද සලකා බලන විට වසර ගණනාවක් සජීවීව මෙම වෛරසය පැවැතීමට කිසිදු ඉඩක් නොමැත.
රෝග නිර්ණය කිරීමේදී රෝගීන්ගෙන් ලබාගන්නා සාම්පල තබා ගන්නේ 2-8°C උෂ්ණත්වයක වන අතර, පැය 48ක් තුළ මෙම සාම්පල් වෙනත් ස්ථානයක් කරා ප්‍රවාහනය නොකරන්නේ නම් එය -70°C ක උෂ්ණත්වයක තැබිය යුතුය. පරිසර උෂ්ණත්වයෙහි තබන ලද වෛරස සාම්පල රසායනාගාර තුළ සුදුසු මාධ්‍ය තුළ රෝපණය කළ නොහැකි බවට ද සමීක්ෂණ සාක්ෂි පවතී. එසේ නම් ආහාරයට ගන්නා සලාද වැනි පරිසර උෂ්ණත්වයට නිරාවරණය වූ පෘෂ්ඨයන් මත දින 14ක් වැනි අධික කාලයක් මෙම වෛරසය පවතීද යන්න ගැටලුවකි.
කොවිඩ්-19 රෝගීන්ගේ මෘත දේහ භූමදානය කිරීමට තීරණය කළොත් එය ඉතාම අනුවණ හා අවදානම් ක්‍රියාවක් බවට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කළ ප්‍රකාශය ද පිළිගත නොහැකිය. එයට හේතුව සාමාන්‍යයෙන් මෘත දේහයක් භූමදානය කරන්නේ නිසි ප්‍රමිතියකට අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව මෙය කිසියම් ජල ප්‍රභවයක සිට මීටර් 30ත් 50ත් අතර දුරකින් පිහිටි ස්ථානයක භූමදානය කළ යුතුය. සුසාන භූමියක් සඳහා සාමාන්‍යයෙන් අවසර ලබා දෙන්නේ මෙවන් නිර්ණායකයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. එසේම භූමදානය සඳහා ඇති වළෙහි ගැඹුර අඩි 6ක් 8ක් තිබිය යුතු අතර වළෙහි පතුල භූ ජල මට්ටමට වඩා මීටර් 1.5ක් පමණ උසකින් පිහිටිය යුතුයි.
ඕස්ට්‍රේලියාවේ, බ්‍රසීලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සුසාන භූමි හා ජල ප්‍රභවයන් පිළිබඳ සමීක්ෂණවලින් තහවුරු වූයේ සිරුර ජීර්ණය වීමේදී එහි අඩංගු කාබනික ද්‍රව්‍ය ජලයට කාන්දුවන නමුත් කොලිෆෝම් වැනි ආසාදිත බැක්ටීරියාවලින් දූෂිත නොවන බවය. එසේම මෙම අපද්‍රව්‍ය කාන්දුවීම සුසාන භූමිය හා ජල මූලාශ්‍ර අතර දුර වැඩිවීමත් සමඟ ක්‍රමයෙන් අඩුවී ඇති බවත් නිරීක්ෂණය විය.
භූමදානය කළ පසු වෛරස විකෘතිවීමකට ලක්වන බවටද අසත්‍ය ප්‍රකාශ සමාජයේ ඇත. බොහෝ වෛරස කලින් කලට විකෘති (Mutation) වීම සිදුවන්නේ පරිසරයට වඩාත් ඔරොත්තු දෙන ප්‍රභේද ඇති කිරීම සඳහාය. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මෙයට කදිම නිදසුනකි. මෙසේ විකෘතිවීම් සිදුවන්නේ වෛරස ප්‍රගුණවීමේ ක්‍රියාවලිය තුළදීය. මෘත දේහයක් තුළ වෛරස ප්‍රගුණවීමක් සිදු නොවේ. මන්ද වෛරස ප්‍රගුණවීම සඳහා ජීවී සෛලයක් අවශ්‍ය නිසාය. එබැවින් විකෘතිවීම් සිදුවන්නේ සජීවී මිනිස් සිරුර හෝ සත්ත්ව සිරුර තුළ මිසක මෘත දේහ තුළ නොවේ.
අවසාන වශයෙන් වෛද්‍ය මරීනා තාහා රිෆායි වන මම මෙසේ සටහන් තබමි. කොවිඩ්-19 මෘත ශරීරයක් භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම යනු හුදෙක් සංස්කෘතික හේතු පදනම් කර ගනිමින් ගනු ලබන තීරණයක් මිස එක් ක්‍රමයක් අනෙක් ක්‍රමයට වඩා උසස් යයි සැලකීමට කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැත. ලොව පුරා මිනිසුන් දහස් ගණනින් අකාලයේ මියයන මෙවන් අවස්ථාවක මරණය දෙස මීට වඩා මානුෂීය ලෙස බැලීම ඔබේත් මගේත් වගකීම වේ. මෙය නිරයට හෝ ස්වර්ගයට යාම තීරණය කිරීම සඳහා නොව අවසන් මොහොතේදී හෝ එම පුද්ගලයාට ගරු කිරීමක් වශයෙනි.
*** වෛද්‍ය මරීනා තාහා රිෆායි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික මතවාද වල එල්බ ඒ ඔස්සේ විද්‍යාත්මක කරුණු විකෘති කිරීමකි.. ආගම එකකි.. විද්‍යාව තව එකකි.. මොනවා වුණත් ඔයාලගේ ඔළුවල තියන දේවල් මේ රටේ වෙන්නේ නැහැ..
කිසිඳු පරීක්ෂණයක් නොකර, අර රටේ මෙහෙමයි, මේ රටේ මෙහෙමයි කිය කියා මැය උත්සාහ කර ඇත්තේ තම මෝහමය මතවාදය හුවා දැක්වීමය. මළකඳ පුච්චලා දැම්මම ඉවරනේ... නිකම් පුහුුු තර්ක දමදමා ඉන්නේ නැතිව... වභාග පාස්වූවාට මෝහයෙන් මිදීම අපහසුයි.
ලංකාදීපයට හා වෛද්‍යතුමියට ස්තූතියි මෙසේ සිංහල පාඨකයා දැනුවත් කිරීම වෙනුවෙන්...
මෙම ලිපිය තුළ වටිනා කරුණු ගණනාවක් තාර්කිකව හා විද්‍යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව වෛද්‍යතුමියට ස්තූතිවන්ත වෙනවා. බුද්ධිය උගසට තබා ජාතිවාදී හා ආගම්වාදී වැනි අන්තයන්වල හිඳ මෙම ලිපිය කියවන විකෘති මනස්වලට මෙය නිකන්ම නිකන් අකුරු ගොඩක් පමණි. කරුණාකර බුද්ධියෙන් කියවන්න.. සාධාරණව විනයක් ඇතුව ලිපියේ ඇති කරුණු කාරණා තර්ක කරන්න...
යන්නේ නිරයටද, ස්වර්ගයටද කියන එක තීරණය වෙන්නේ කරන ලද කුසල් සහ අකුසල් මතයි. අනිත් එක මනුෂ්‍යයෙකුට ගරු කළයුතු වන්නේ ජීවතුන් අතර සිටියදී මිස මියගියාට පසුව නොවෙයි. එක එක්කෙනාට එක එක අදහස් දක්වන්න පුලුවන්... නමුත් රටක් විදියට අපට සිදුවන්නේ "ලෝක සෞඛ්‍ය සංවිධානයේ" උපදෙස් පිළිපැදීම පමණයි. එම උපදෙස් වලට විවිධ ආගම්, ජාති වල අය කැමති වෙන්න හෝ අකමැති වෙන්න පුලුවන්. කැමැති වුණත් "සොරි තමයි"
විද්‍යාව යනු දිනෙන් දින අලුත් වන දෙයක්... නිමාවක් නොවනා සොයාගැනිම් වල එකතුවක්... අද හරියයි කියන දෙය තව දවසකින්... වසරකින්... දශකයකින්... ඒක ඓහෙම නෙවෙයි හරි මෙහෙමයි කියලත් කියවෙන්නට බැරි නැති දෙයක්... අපි තවමත් මූලාරම්භයක් හරිහැටි නොදන්නා දෙයකට එසේනම් කෙසේද මෙයයි නිවැරදි කියා අරුත් එක්කරන්නේ... අප දැනට කළ යුත්තේ එයට දිය යුතු හොඳම විසඳුම දීම පමණයි... මොන රටක මොන දෙයක් කළත් ඇයි අප නිකරුනේ අවධානමකට පත් වෙන්නේ..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ කිසිම දෙයක් දන්නේ නැති දොස්තරවරු... අපේ රටේ තමයි ලෝකෙන්ම හොඳම වෛද්‍යවරු ඉන්නේ.. එ්කනේ ලෝකෙම රටවල් භූමදානය කරද්දී අපි විතරක් ආදාහනය කරන්නේ...
අපේ රටට දැන් තියන ප්‍රශ්නය කෝවිඩ් වලින් මිනිස්සු නොමැරී බේරාගන්නේ කොහොමද කියන එක මිසක් මැරෙන කෙනා පුච්චන එකද, වළලන එකද කියන එක නෙවෙයි. වසංගතයක් නිසා මැරුණු ඕනෑම දෙයක් පුළුස්සා විනාශ කරන එක පහසුම විශ්වාසදායක ක්‍රමයයි. මේ වෙලාවේ මළකුණු වලින් විවිධ එක්ස්පෙරිමන්ට් කරකර වෙනත් හොඳම ක්‍රමය හොය හොයා ඉන්න බැහැ. අනිත් අතින් බලනකොට අනෙක් ජනවර්ගවල මිනිස්සු බය වෙන්න පුළුවන්.. අවිශ්වාස දායක ලෙස වලලපු මිනීවලින් තමන්ගේ බොන වතුර වලට විෂබීජ එක්වෙයි කියලා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට තියෙන අති සීමිත සම්පත් පාවිච්චි කරලා අසීමිත කැපකිරීම්වලින් කොවිඩ් 19 වලින් සැලකිය යුතු ජයග්‍රහණයක් දැනට ලබලා තියෙනවා. එ්කට රාජ්‍ය නායකත්වය, සෞඛ්‍යය, ආරක්ෂක මාධ්‍ය හා අනෙකුත් අයවලුන් අසීමිත කැපකිරීම් කරලා තියනවා.. ජනතාව ඒ හික්මීමට ගේන්න. ඉතින් මම හිතන්නේ වෛද්‍යවරියක් ලෙස තමන්ගේ දැනුම මළමිනී භූමිදානය පිළිබඳව පත්තර පිටු පුරවනවට වඩා තම ජනවර්ගය කෝවිඩ් 19 වලින් ආරක්ෂා කරගන්න වැයකරා නම් හොඳයි. මොකද නිතර දෙවේලේ අපි දකිනවා ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය නීතිරීති සත පහකට ගණන් නොගෙන තවමත් වැඩකරන බව...
ඉතාම වටිනා ලිපියක්.. ඒත් ඉතින් අර සිංහල කියමනක් තියනවනේ.. අන්දරේ හරකුන්ට කිව්වා වගේ කියලා.. ඒ වගේ තමයි මේ ලිපියත්..
අපේ රටේ වගේ ඔල මොට්ටලයන් වෙන කොහේවත් නැතුව ඇති... එ්කනේ මුළු ලෝකයේම භූමදානය කරනකොට අපි විතරක් ආදාහනය කරන්නේ...
මෝඩයින්ට ඕවා කියලා වැඩක් නැහැ... අපේ රටේ ඉන්නේ බහුතරය ගෝත්‍රිකයි.
ඔබතුමිය විද්‍යාත්මකව විග්‍රහ කරලා මේ ඔප්පු කරන්න හදන්නෙත් විද්‍යාත්මක පදනමක් නැති අාගමික ක්‍රියාවක් නොවේද? රටක ප්‍රශ්නයක් වෙන අවස්ථාවකවත් ගල් යුගයේ විශ්වාස පසෙකලා රටක් වශයෙන් ගන්න තීරණවලට එකඟව වැඩ කිරීම නොවේද යහපත් වන්නේ..?
මොකටද මෙච්චර කරුණු දක්වලා තියෙන්නේ? තමන්ගේ ආගමික විශ්වාසය තහවුරු කරන්න නේද? ලෝක සෞඛ්‍ය සංවිධානය මුල ඉඳන්ම තමන්ගේ මතය කාලානුරූපීව වෙනස් කළා... රෝගයේ වෙනස්වීම් එක්ක.. එහෙම ලෙඩක් ගැන කොහොමද මේ තරම් ඉක්මනට නිගමනයකට ආවේ. සබන් දියර වගේ සරල දේවල් වලින් විෂබීජය විනාශ වෙනවා නම් ඇයි තාමත් මේකට බෙහෙතක් හොයාගත්තේ නැත්තේ? තාම හරි නිගමනයකට ඇවිත් නැහැ... මේ විෂබීජය වාතයේ කොහොමද පවතින්නේ කියලාවත්.. වැලිසර නාවික කඳවුරේ සෙබලු 900කට මේ ලොඩේ බෝ වුනේ ඔවුන් එකිනෙකා බදාගෙන නෙමෙයි.. තාම ඒකට හෙතුවක් හොයාගෙන නැහැ. මේ වෙලාවේ තම පටු අදහස් වෙනුවෙන් මේ වගේ කරුණු දැක්වීමකට යනවට වඩා තම ප්‍රජාව දැනුවත් කරන්න කාලය යොමු කරන්න. තව දෙයක් අමතක කරන්න එපා.. මෙම වෛරසය පොසිල තුළ අවුරුදු දහස් ගණනක් විනාශ නොවී මෑත කාලීනව ලෝකයට නිරාවරණය වුණා කියලා විශේෂඥයින් පළකරන මතයත් තවම කවුරුවත් බැහැර කරලා නැහැ..
ඕක මොකද්ද? දැන් කවුරුහරි හොයාගනිවි, මෙව්වා උම්මලකඩ කරන හැටි.. !
යම්කිසි මනුෂ්‍යයෙකුගේ මනසට ජාතිවාදය නමැති වෛරස් එක ඇතුල් වුනොත් ඔහු සැමදෙයක් දෙසම බලන්නේ ජාතිවාදී කෝණයකින්.., ලංකාවේ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් විසින් විවිධ මාධ්‍ය මගින් තමන්ගේ පැවැත්ම තකා මිනිසුන්ගේ ඔලුවලට එම වෛරස් එක ඇතුල් කරනු ලැබේ. එවැනි මිනිසුන්ට යම්කිසි දෙයක් විද්‍යාත්මකව විග්‍රහ කළත් පිළිගන්නේ නැත. ඒක කරන්න වෛද්‍යතුමියට තබා බුදු හාමුදුරුවන්ටත් බැරිය. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මෙවැනි ලෙඩ්ඩු සිටියා..
මෙම කරුණු ගණනාවක් තාර්කිකව හා විද්‍යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව වෛද්‍යතුමියට ස්තූතිවන්ත වෙනවා. බුද්ධිය උගසට තබා ජාතිවාදී හා ආගම්වාදී වැනි අන්තයන්වල හිඳ මෙම ලිපිය කියවන විකෘති මනස්වලට මෙය නිකන්ම නිකන් අකුරු ගොඩක් පමණි. කරුණාකර බුද්ධියෙන් කියවන්න.. සාධාරණව විනයක් ඇතුව ලිපියේ ඇති කරුණු කාරණා තර්ක කරන්න... අපේ රටේ වගේ ඔල මොට්ටලයන් වෙන කොහේවත් නැතුව ඇති... ඒකනේ මුළු ලෝකයේම භූමදානය කරනකොට අපි විතරක් ආදාහනය කරන්නේ...
ලේඛිකාව ඇතැම්විට වෛද්‍ය වෘත්තිකයෙක් විය හැකිය... එහෙත් වෛද්‍යවරුන් යනුද සියල්ල දන්නවුන් නොව තමන් මේ දක්වා ඉගෙන ගත් දෙය පමණක් දන්නා කොට්ටාශයක් පමණි. වෛද්‍යවරුද දැනුම ලබන්නේ මෙතෙක් විද්‍යාඥයන් විසින් පරීක්ෂණ මත කරන ලද වාර්තාවලිනි. මා සිතන්නේ මෙම වෛද්‍යවරියද එලෙස අදහස් පළ කලා මිස තමා විසින්ම කරන ලද පරීක්ෂණ අනුසාරයෙන් මතයක් ප්‍රකාශ නොකළ බවයි. කෙසේවුවද ආගන්තුක මෙතෙක් සියළු කරුණු හෙලිදරව් වී නොමැති වෛරසයක් පිළිබඳ ලඳ බොලද ලෙස සැහැල්ලුවෙන් සලකා බැලීම අප වැනි රටකට නොගැලපේ. අත් වැරදීම් මත රෝගය වළක්වාගත නොහැකි වුවහොත් අපගේ ආර්ථිකයට එය උසුලාගත නොහැකි වනු ඇත.. එබැවින් පහසු හා නිවැරදි ක්‍රම සියල්ල භාවිතා කළයුතුය. සිදුරු අඩුපාඩු නොතැබිය යුතුයි. සියළු ආකාරයෙන් ආරක්ෂක උපක්‍රම අනුගමනය කල යුතුයි. විවිධාකාර වයිරස් හා බැක්ටීරියාවන් වසර මිලියන ගණනක සිට ග්ලැසියර තුළ තැන්පත්ව ඇති බවත් ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියර දියවී ඒවා පරිසරයට නිරාවරණය වීමේ අවධානමක් ඇති බවත් මා අසා ඇත. මෙම වෛරසයත් එසේ විය නොහැකිද..? එසේ විය නොහැකි බවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් ඔප්පු කොට නැත. තවමත් නිසි ඔෟෂධයක්වත් සොයාගෙන නැති තරම්...
DR මරීනා ඉතා සුක්ෂම ලෙස තම ආගම් වාදය පාඨකයට කාවද්දන්නට වෙහෙස දරා තිබෙනා බව හොඳින් පෙනීමට තිබේ..