( වීනීතා  එම්. ගමගේ ) 

 
මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කර ඇත.  
 
‘‘පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන’’ යටතේ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශ වල වනාන්තර සහ විල්ලූ හෙක්ටයාර 3415 ක භූමි ප‍්‍රමාණයක් කෘෂි කාර්මික හා සත්ත්ව පාලනය ආශි‍්‍රත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට එම ඉඩම් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර ඒ සඳහා 2018 නොවැම්බර් මස 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
 
මහවැලි ගෙඟේ ප‍්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශි‍්‍රත ව පිහිටි විල්ලූ හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම් වලට ලබා දීමට සැලසුම් කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති. 
 
 300 කට අධික අලි ගහනයකගේ නිජබිම වන මෙම ප‍්‍රදේශය විනාශ කිරීම සිදු වුවහොත් දැනට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලි -මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇතැයි ද ඔව්හු පෙන්වා දෙති.
  
මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලි - මිනිස් ගැටුම පවතී. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් උග‍්‍ර වනු ඇත. පසුගිය වසරේ දී වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් අලි මරණ 23 ක් හා අලින්ගේ පහර දීම් හේතුවෙන් මිනිස් මරණ 6 ක් පමණ සිදු ව තිබේ. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ගොවීන්, අලි - ඇතුන් හා වගා බිම් විශාල ප‍්‍රමාණයක් රටට අහිමි වනු ඇතැයි ඉඩම් හා කෘෂීකර්ම සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා ලංකාදීපයට පැවැසීය.  
 
ගැටලූ ගණනාවක් පවතිද්දී අක්කර 8500 ක වනාන්තර හා විල්ලූ විනාශ කර වාණිජ කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමෙන් කන්දකාඩුව, ගල්කන්ද, සිංහපුර, මුතුවැල්ල වැනි ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.   
 
 මහවැලි මහ සැලැස්මට අනුව කි‍්‍රයාත්මක වූ මහවැලි කඩිනම් යෝජනා ක‍්‍රමය හේතුවෙන් අවතැන් වූ අලි - ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට වාසස්ථාන සැපයීම හා කෘෂිකර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු කිරීමට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මහවැලි පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය ස්ථාපිත කර ඇති  බව පෙන්වා දුන් චාමිකර මහතා වස්ගමුව ජාතික වනෝද්‍යානය, ගංගාධාර ස්වභාව රක්ෂිතය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය වශයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික රක්ෂිත ජාලය ප‍්‍රකාශයට පත් කර තිබේ. 
 
 
මෙම රක්ෂිත වනාන්තර ජාලයේ අලි - ඇතුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට හා විල්ලූ ඇතුළු මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ ජල පෝෂක වල පැවැත්මට දැඩි තර්ජන එල්ල කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටන කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශයේ වනාන්තර හා විල්ලූ මෙම කටයුත්තට යොදා ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. 
 
 
මේ නිසා වහා ම කන්දකාඩු හා ති‍්‍රකෝණමඩු වනාන්තර සහ විල්ලූ සමාගම් වලට ලබා දීමේ කි‍්‍රයාවලිය නතර කර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු යැයි ද චාමිකර මහතා කීය.