ගිණිකොනදිග ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ, නීතිවිරෝධී ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින් පතල්කරුවෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පතල්කරුවන් කිහිප දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.

පිපිරීම සිදුවුයේ නැගෙනහිර මේගාලයේ ජයින්ටියා කඳුකර දිස්ත්‍රික්කයේය. මේඝාල පොලිස් අධිකාරී විකාශ් කුමාර් මාධ්‍ය හමුවේ කියා සිටියේ පතල් සේවකයන් 18 දෙනාගෙන් 16 දෙනකුගේ සිරුරු හමුවුණු බවය.

මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ද වාර්තා වේ. මුදාගැනීමේ කටයුතු සඳහා ප්‍රාන්තයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ සහාය ඉල්ලා ඇති නමුත්, එම කණ්ඩායම් පතල පිහිටි ස්ථානයට පැමිණ තිබුණේ නැත. ගල් අගුරු පතලේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.