(අංජුල මහික වීරරත්න)

එල්නිනෝ තත්වය නිසා විපතට පත් ගොවීන් 2712 දෙනකුගේ හානියට පත් වගා බිම් අක්කර 3110 ක් සඳහා රුපියල් කෝටි 7.1 ක් ගෙවා නිමකර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 300 ක් රජය විසින් වෙන් කර ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග 6 සඳහා හෙක්ටයාර 1 කට රුපියල්  100000ක මුදලක් ලෙස උපරිම අක්කර 5 ක් සඳහා වන්දි මුදල් ලබාදීම සිදු කරනු ලබයි.

හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදු විය.

ඒ අනුව සිදු වූ වගා හානි පිළිබඳ ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරින් කඩිනමින් ක්ෂේත්‍රයට ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි වූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම් වලට නිදහස් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.