මරණ දඬුවම වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියකින් දැනුම් දී ඇත.

මරණ දඬුවම වෙනුවට බන්ධනාගාර ගත කිරීම ආදේශ කළ යුතු බවත්, එක් එක් අපරාධවල බරපතලකම සළකා සිරගත කරන කාලය තිරණය කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම ජනපතිට නිර්දේශ කර තිබේ.

සිර දඬුවම් ලිහිල් කිරීමේ දී ඒ එක් එක් අපරාධය හේතුවෙන් සමාජයට සිදුවන බලපෑම සළකා ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතු බව ද උඩගම මහත්මිය සිය ලිපියේ දක්වා ඇත.

මූලික අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා  අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලැබී ඇති බලතල අනුව කොමිසම එම නිර්දේශ නිකුත් කර ඇත.

මරණ දඬුවම නිසා ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමකම් ද ප්‍රබල ලෙස උල්ලංඝණය කරන බවට ලොව පුරා ඇති පිළි ගැනීමෙන් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

මරණ දඬුවම අහෝසි කර ඇති රටවල් 100ක් සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලංකාව මූලික මානව හිමිකම් පිළිබඳ පවතින කැපවීම ප්‍රත්‍යක්ෂ කළ යුතු බව ද එම ලිපියේ දැක්වේ.

1976 සිට බලයට පත් රජයන් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අගය කරන මුත්, දණ්ඩ නීති සංග්‍රය සහ 1984 අංක 13 දරණ පනතින් සංශෝධනය වූ වස අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත වැනි නීති යොදා ගනිමින් දිගින් දිගටම මරණ දඬුවම නියම කිරීම සිදුවන බව ද කොමිසම සඳහන් කරයි.

අපරාධ නිශේෂන ක්‍රමවේදයක් ලෙස මරණ දඬුවම යොදා ගන්නා බවට මරණ දඬුවමට පක්ෂපාතී පාර්ශව කරුණු දක්වන බවත්, එනමුත් ඵලදායි අධිකරණ පද්ධතියක් සහ සාධාරණ සමාජ වටපිටාවක් අපරාධ අඩුකරන හේතුන් බවත්, අපරාධ අනුපාතය අඩුවීමට හෝ අපරාධ වැළැක්වීමට මරණ දඩුවම හේතුවූ බවට පර්යේෂණාත්මක දත්ත නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනපතිට යැවූ ලිපියේ දැක්වේ.

අභියාචනා කිරීම ද, නඩු විභාග කළ විනිසුරු වෙතින්, නීතිපති වෙතින් සහ අධිකරණ ඇමැතිවරයා වෙතින් නිර්දේශ කැඳවීම වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ තිබිය දී වුවත් අපරාධයක් සිදු නොකළ අහිංසක පුද්ගලයන් මරණ දඬුවමට ලක් කිරීමේ අවධානම පවතින බව කොමිසමේ මතය වී තිබේ.

චූදිතයනට මරණ දඬුවමකට ලක් කර බොහෝ කාලයක් ඉක්මවූ පසුවත් අලුත් විමර්ශන ක්‍රමවේදයන් හා තාක්ෂණය හේතුවෙන් නව සාක්ෂි යොසා ගැනීම නිසා පළමුවන සාක්ෂිවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු වූ බොහෝ අවස්ථා නිරීක්ෂණය වූ බව මානව හිමිකම් කොමිසම කියයි.

සමහර චූදිතයන් වැරදිකරු වන්නේ එම වරදට වරදකරු වීම නිසා නොව ප්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා බවත්, චූදිතයන් අඩු ආදායම් තත්ත්වයක සිටින විට දක්ෂ නීතීඥයන්ගේ සේවය ලබා ගැනීමට හැකි මූල්‍ය ශක්තියක් නැතිකම ද මරණ දඩුවමට ලක්වීමේ අවස්ථා වැඩි කරන බව කොමිසම සඳහන් කරයි.