(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී රුපියල් කෝටි දහයක (මිලියන 100) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  28 දින රිමාන්ඩ්  ගත කළ සැකකරු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී (මියගිය)කපිල චන්ද්‍රසේන,හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී සැකකරුවන් ලෙස නම්කර ඇති නඩුවේ සිව්වෙනි සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇත.