(අංජුල මහික වීරරත්න)

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ආයතනගතව මෙන්ම ප්‍රජා මූලිකවත් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන ආකල්පය වෙනස් කළ යුතුව ඇති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය. 

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයවන අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) සියවස් සැමරුම් උත්සවය අමතමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. 

එම විද්‍යායතන ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

​උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනය සහ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට ද එක්විය.

​සමරු උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ වසර සියයක් පුරා විද්‍යායතනය සිදු කළ කැපවීම අගය කරන අතරම, ඉදිරියේ දී ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කළ යුතු බවයි.