(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක  ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ.

‘‘කුරුන්දක, කුරන්ද, කුරුඥපාසක, කුරුන්ගම කුරුන්දිමලෙයි සහ කුරුඳුමලෙයි මේ සියලු නම් එකම භූමියකට බව මහාවංශයේ, අට්ඨකතාවන්හි සඳහන් වෙයි. ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේයි.

වසර 30 කට අධික කාලයක් වූ යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන්  කුරුන්දි රජමහා විහාර භූමිය දැඩි ලෙසින් විනාශ කර තිබූ අතර පසුව පුරාවිද්‍යා නිලධාරීන් විසින් භූමිය සේවීම සහ සංරක්ෂණය කිරීම පසුගිය 2021 වසර අවසානයේදී සිදුකෙරුණි.

රජමහා විහාර භූමියේ චෛත්‍ය භූමියේ කැනීම් අවසන් වීමෙන් අනතුරුව විහාර භූමියේ කැනීම් පසුගිය මාර්තු මාසයේ ආරම්භ කල අතර මාස දෙකක කාලයක් තුළදී අදාල කැනීම්ද අවසන් කිරීමට හැකි වූ බවට විහාරාධිපති හිමියෝ පැවැසූහ.

කුරුන්දි රජමහා විහාරයේ කැනීම් කටයුතු වෙනුවෙන් බෞද්ධාලෝක පදනමේ සභාපති  ජගත් සුමතිපාල මහතාගේ මූල්‍ය දායකත්වයන් මත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුදහමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් දායක වී ඇත.

කුරුන්දි රජමහා විහාර භූමිය ප්‍රධාන වශයෙන් මේ වන විට අනාවරනය වී ඇති ආකාරයට ඓතිහාසික වටිනාකමක් ඇතයි සැලකෙන්නේ.

ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන්, කුරුන්දි අටුවාව රචනා වූ පිං බිමක් වශයෙන්, ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන්, උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයාගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහති පිං බිමක් වශයෙනි.

එහිදී කුරුන්දි විහාර භූමියේ සිදුකරන ලද කැනීම්වලදී මාබල් බුදුපිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජකු  යැයි සැකකෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්ථා වෙයි.