(ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(10)  අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන , අලෙවි සහායකවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි .

ඔහු අද අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ " චොකලට් " ලෙස අසුරා සකස් කළ ඇසුරුම් 15 ක් තුළ , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 778 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .