යොහාන් භාසුර

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ආසියානු කුසලාන නැඟීඑන කණ්ඩායම් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (29) රාත්‍රී සමත් විය. 

කටාර් රාජ්‍යයේ දෝහාහිදී අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලකින් පාකිස්තානය පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ. 

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 217 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 41.3 කදී කඩුලු 9 ක් දැවී සම්පූර්ණ කළහ.  
නිෂාන් මධුෂ්ක ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කරු බවට පත්වෙමින් පන්දු 95 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 87 ක් රැස්කළේය. 

ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ලේ සිට 9 වැනි දක්වා කඩුලු තුන ලකුණු 198 දී බිඳ වැටීමෙන් අසීරු තත්වයකට පත්වුවද ළහිරු සමරකෝන් (නොදැවී 15) සහ ගරුක සංඛේත් (නොදැවී 4) කඩුලු රැකගැනීම නිසා තියුණු ජයක් හිමිවිය. 

රවිඳු ප්‍රනාන්දු (26/3) සහ ගරුක සංඛේත් (46/3) පාකිස්තානු පිතිකරුවන් පාලනය කරමින් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පාකිස්තානු ඒ කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 9 ට 216
(ශමිල් හුසේන් 40, ශෂයිබ් ඛාන් 60, අබ්දූල් සමාද් 33, රොහයිල් නසීර් 37, රවිඳු ප්‍රනාන්දු 26/3, ගරුක සංඛේත් 46/3, වනුජ සහන් 33/2) 

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕවර 41.3 කදී කඩුලු 9 ට 220
(ලසිත් කෘස්පුල්ලේ 24, සිනෙත් ජයවර්ධන 20, නිෂාන් මධුෂ්ක 87, පවන් රත්නායක 30, ළහිරු සමරකෝන් නොදැවී 15, අලී රාසා 58/3, සුෆ්යාන් මොකුම් 55/2)