ප.ව.8.35 - ‘ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා‘ - මහින්ද

(නාලක සංජීව දහනායක)

වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය  අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක්  කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ලෝටස් වටරවුමේ පැවැති ජනබලය උද්ඝෝෂණයේ සත්‍යග්‍රහයෙන් පසු   ජනතාව  අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු  හිටපුජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

‘‘අවුරුදු 25 කට පස්සේ  පළාත් පාලනමැතිවරණයක් ගේන්න පුලුවන් වුණා මට. මම යුද්දය ඉවර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු නිසයි අද අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත්  උතුරට ගිහින් එන්න පුළුවන්වෙලා තියෙන්නේ.‘‘ 


ප.ව.8.10 - සත්‍යග්‍රහයෙන් පසු හිටපු ජනපති ලෝටස් පාරට පැමිණේ

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලෝටස් පාරේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට මීට ටික වේලාවකට පෙර පැමිණියේය.

පන්දම් දල්වාගෙන පැවැති සත්‍යග්‍රහය නිමාවීමෙන් පසු හිටපු ජනපති පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටියහ.

හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති පිළිගත්හ. 

(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)


ප.ව.8.00 - සත්‍යග්‍රහයෙන් පසු පන්දම් නිවා දමයි

‘අතේ තියෙන පන්දම් නිවන්න. පන්දම්වලින් අනවශ්‍ය දේවල් කරන්න එපා. ‘ යැයි සංවිධායකයෝ ඉල්ලති. සත්‍යග්‍රහයෙන් පසු පිරිත් දේශනයක් ද පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණෙන තුරු විරෝධතාකරුවෝ බලා සිටිති.


ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්

ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ.ප.ව.7.55 - සත්‍යග්‍රහයෙන් පසු සෙත් පිරිත්

ලේක්හවුස් ආයතනය අසලින් ලෝටස් පාර අවහිර කරගෙන පැවැති සත්‍යග්‍රහයෙන් පසු ස්වාමීන්වහන්සේලා සෙත් පිරිත් දේශනා කළහ. 


ප.ව.7.35 - ලෝටස් පාර හරස් කර සත්‍යග්‍රහය අරඹති

(ශිරාන් රණසිංහ)

කොළඹ ලෝටස්  පාර  අවහිර වන අයුරින් තාවකාලික වේදිකාවක් ඉදි කළ උද්ඝෝෂකයෝ   ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහය ඇරැඹුහ.

රාත්‍රී 8 ට පමණ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණිමට නියමිතව ඇත.

(ඡායාරූප ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)


ප.ව 6.20 - අරලියගහ මැදුරේ ආරක්ෂාව තරකෙරේ

අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.

 පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන භටයෝ ආරක්ෂාවට කැඳවනු ලැබ සිටිති.

ජල ප්‍රහාරක රථ ද ඒ අසල දැක ගත හැකිය. 

 

(356)


ප.ව.6.05 - කොළඹට එන පාරවල් 5 ක් වහයි

(ඉන්දිකා රාමානයක සහ නිමල කොඩිතුවක්කු)

ජනබල පෙළපාළිය නිසා මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලිසිය කියයි.

ලේක්හවුස්   වටරවුම, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ලෝටස් පාර, හිල්ටන් වටරවුම,  ඕල්කට් මාවත සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.


ප.ව.5.51 - යන තැන තවම තීරණයක් නෑ  

(ශිරාන් රණසිංහ)

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් ලේක්හවුස් වටරවුම අසල රැස්ව සිටියත් ඊළඟට සිදු කරන්නේ කුමක්ද යන්න තවමත් නොදන්නා බව ඔවුහු කියති.

ලේක් හවුස් වටරවුමේ සිට ඊළඟට යන්නේ තොකනකටදැයි තවමත් තීරණයක් නැති බව දැනගන්නට තිබේ.

පැය තුනක පමණ සිට ඔවුහු ලේක්හවුස් වට රවුම අසල රැස්ව සිටිති.


ප.ව 5.30 - ලේක්හවුස් වට රවුම අවහිරවේ

ජන බල රැලියට සහභාගී වන පිරිස් පෙළපාළිවලින් පැමිණ ලේක් හවුස් වටරවුමට රැස්වීම නිසා ඒ අවට අවහිර වී තිබේ.

ලේක්හවුස් වටරවුම හරහා ගමනාගමනය මුළුමනින්ම බිඳවැටී ඇති අයුරු දැක ගත හැකි විය.

(ඡායාරූපය -ලහිරු හර්ෂණ)


ප.ව.4.45 - පෙළපාළි ලේක්හවුස් වටරවුමට ළඟාවේ

විවිධ පැතිවලින් ජන බල රැලියට ආ පෙළපාළි කොළඹ ලේක්හවුස් වටරවුමට ළඟ විය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ )


ප.ව 4.15 - මහින්ද සහ ගෝඨා කොටුවෙන් ජන බලයට එක්වෙති

(නාලක සංජීව දහනායක සහ ශිරාන් රණසිංහ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසලින් ජන බල රැලියට යන පාගමනට සම්බන්ධ වූහ.

කොටුව බෝධිය අසලට පැමිණි හිටපු ජනාධිපතිවරයා මුලින්ම එම ස්ථානයේ ඇති විහාරස්ථානයට ගියේය.

(ඡායාරූපය - ලහිරු හර්ෂණ)


ප.ව. 4.00 - ‘‘ලංකාවෙම පොලිසි කොළඹට කැඳවලා‘‘ - නාමල්

නිමල කොඩිතුවක්කු 

අද කොළඹට මුලු ලංකාවේම පොලීසි  කැඳවා ඇති බවත් යුද සමයේදීවත් මෙතරම් පොලීසියක්  කොළඹ නොසිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සාමකාමී ජනබල රැලියක් පැවැත්වීමට සියලු කටයුතු  සුදානමින් තිබියදීත් ආණ්ඩුවයි, පොලීසියයි, මංගල සමරවීරයි මේ රැලියට බය වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

(356)


 

ප.ව. 3.28 - සාකච්ඡාවෙන් පසු මහින්ද ඇතුළු පිරිස විජේරාමයෙන් පිටත්වෙති

නිමල කොඩිතුවක්කු

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන,උදය ගම්මන්පිල සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිස කොළඹට පැමිණීමට පිටත්වූහ.

 

(ඡායාරූප -චතුර කොඩිකාර)

 

(356)


ප.ව 3.10 - හවස 5ට රැලිය ඇරැඹේ

(නිමල කොඩිතුවක්කු ) 

රැලිය සඳහා  දිවයිනේ නන් දෙසින් පැමිණෙන පිරිස්  සවස  5 වන විට කොටුව ලේක්හවුස් වටරවුමට පැමිණීමට සැළසුම් කර ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.


ප.ව. 2.55 - පෙළපාළි දෙකක් ඇරැඹේ

(ඉන්දිකා රාමනායක)

විරෝධතාවයට සහාගී වීම සඳහා මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ හා විහාරමහාදේවි උද්‍යානයේ සිට පෙළපාළි දෙකක් කොළඹ කොටුව දෙසට ගමන් කරීම ආරම්භ  විය.

(ඡායාරූප -නිමන්ති රණසිංහ )


ප.ව.2.50 - නාමල් බෝගහ හංදියට පැමිණෙයි

විරෝධතාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ කොළඹ කොටුවේ බෝගහ හංදියට පැමිණියේය.


ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයන්ගේ රැස්වීමට ගෝඨාභයත්

විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ රැස්වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණියේය.


ප.ව.1.52 - ඒකාබද්ධයේ නායකයෝ විජේරාමයේදී රැස්වෙති

ඒකාබද්ධ විපක්ෂයේ ජනබල රැලිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එහි පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් විජේරාමයේ  පිහිටි හිටපු ජනපතිගේ නිවසේදී පැවැත්වේ.


ප.ව 1.50 - ජන බල රැලිය ලේක්හවුස් වටරවුමේ

ඒකාබද්ධ විපක්ෂයේ   ජනබල රැලිය අද සවස කොළඹ ලේක්හවුස් වටරවුමේදී පැවැත්වෙන බව එහි නියෝජිතයෝ කියති.

 (ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි )


ප.ව.1.45 - පොදු ජන නීතීඥ සංගමයත්  ජන බලය රැලියට

නිමන්ති රණසිංහ

ඒකාබද්ධ විපක්ෂය අද (05) කොළඹ දී පවත්වනු ලබන ජන  බල විරෝධි රැලියට සමාගමීව  ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයය මගින් අරඹනු ලැබු  පාගමන ගත් අලුත්කඩේ උසාවිය අසලින් මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 
   
ඔවුහු කොළඹ ලේක්හවුස් වටරවුම අසළට පැමිණිමට නියමිතය.

 


ප.ව.1.29 - විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති

(ශිරාන් රණසිංහ)

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.

මොවුන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමට දැනට සැලසුම් කර ඇතැයි ද ඇතිවන තත්ත්වය අනුව එකතුවන ස්ථානය වෙනස්වීමට හැකි බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේය.

අද(05) කොළඹට රැස්වන ජනතාව හා ඔවුන්ගේ විරෝධතා පෙළපාලි නිසා ඊයේ(04)  සවස දුර බැහැර ප්‍රදේශවල බොහෝ පිරිසක් පෞද්ගලික නිවාඩු දමා ගම්බිම් වලට ගොස් තිබිණි.

අද(05) ඇතැම් රාජ්‍ය හා පුද්ගලික කාර්යාලවලට පැමිණි සේවකයින්ගේ අඩුවක් ද පවතින බව ඒ ඒ ආයතනවල ප්‍රකාශකයෝ සඳහන් කළහ.
මේ වනවිට කාර්යාලවල බොහෝ අය වරු නිවාඩු දමා ගම්බිම් වලට යෑමට පටන්ගෙන ඇතැයි ද වාර්තා වේ.


ප.ව 1.18 - ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක්

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. 

විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට උපදෙස් දී තිබේ. 


ප.ව12.59 - ජල ප්‍රහාරක රථ 6 ක්  සුදානමින්

 ඉන්දිකා රාමනායක

ජනබල විරෝධතාවය නිමිත්තෙන් ආරක්ෂාව වෙනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක  පොලිස් ජල ප‍්‍රහාරක රථ 6 ක්  සහ කැරලි මර්දන කණ්ඩායම්  සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ස්ථාන ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ජනධිපති ලේකම් කාර්යලය, අරලියගහ මන්දිරය,  ජනාධිපති නිල නිවෙස,  කුරුදුවත්ත,   කොටුව, පාර්ලිමේන්තුව  යන ප‍්‍රදේශවල මෙම ජල ප‍්‍රහාරක රථ ස්ථාන ගතකර ඇති බවද පොලිස්  ආරංචි මාර්ග කියයි.

මෙම ජල ප‍්‍රහාරක රථ වලට අමතරව කැරලි මර්දන කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම් , විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම්  ද ස්ථාන ගතකර ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටි කොටුව  ප‍්‍රදේශයට ද  විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ