IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සහෝදරයෝ

කෙටිකතාව

 

පාසල් ගුරුවරයාගේ නම බාර්ඩ්ය. ඇන්ඩර්ස් නමින් ඔහුට සොහොයුරෙක් සිටියේය. ඔවුහු එකිනෙකා කෙරෙහි වූ මහත් ස්නේහයෙන්ම කල් ගෙවූහ. එකටම යුද හමුදාවට බැඳී එකටම නගරයේ විසුවෝය. එකටම යුද පිණිස ගොස් එකම භට කණ්ඩායමේ සේවාව කළාහු දෙදෙනාම කෝප්‍රල් තනතුරට උසස් වූහ. යුද්ධය අවසන් වී ගෙදර ආපසු ඔවුන් දෙදෙනා මිනිසුන් විසින් හඳුන්වන ලද්දේ හොඳ හැඩි දැඩි පුරුෂයන් දෙදෙනෙකු ලෙසිනි.

ඉක්බිති ඔවුන්ගේ පියා මළේය. ඔහු දරුවනට සෑහෙන දේපළක් ඉතිරි කර ගියේය. එය හවුලේ බෙදා ගැන්ම අමාරු කාරියක් වූයෙන් එසේ නොකොට වෙන්දේසියේ විකිණීමට දෙසොහොයුරෝ කතා කරගත්හ. එහිදී තමා කැමති දේ මිලදී ගැනීමටත් ලැබෙන ලාබ බෙදා ගැනීමටත් ඔවුනට හැකිවනු ඇතැයි ඔවුහු කීවෝය. එය එසේම සිදුවිය.

ඔවුන්ගේ පියා සතු ලොකු රන් ඔරලෝසුවක් විය. එහි ප්‍රසිද්ධිය බොහෝ දුර පැතිර ගොස් තිබුණි.ඒ පළාත්වල සිටි මිනිසුන් එතෙක් දැක තිබුණු එකම රන් ඔරලෝසුව එය වූ හෙයිනි. මේ ඔරලෝසුව වෙන්දේසියේදී ඉදිරිපත් කළ විට එය මිලදී ගනු කැමැති වූ ධනවත් ඉල්ලුම්කරුවෝ බොහෝ වූහ. එහෙත් දෙසොහොයුරන් ඉල්ලුම් කිරීමට පටන් ගත් කල සෙස්සෝ ඉන් වැළකී සිටියහ. එය ලබා ගැනීමට ඇන්ඩර්ස් තමාට ඉඩ දෙනු ඇතැයි බාර්ඩ් සිතීය. ඇන්ඩර්ස්ද බාර්ඩ්ගෙන් එයම බලාපොරොත්තු විය. ඔවුහු තරඟයට මෙන් ඉල්ලුම් කළහ. එසේ කරද්දී දෙසොහොයුරෝ උනුනුන් දෙස නොමනාපයෙන් බැලූහ. ඔරලෝසුවේ මිල ඩොලර් 20 දක්වා ඉහළ නැංවූ තම සොහොයුරා නිර්දය එකෙකැයි බාර්ඩ්ට හැඟෙන්නට විය.ඉන් පසු ඔහු එහි මිල ඩොලර් 30 ට නගින තෙක්ම සිය සොහොයුරා ඉක්මවමින් ඉල්ලුම් කළේය. එහෙත් එවිටද ඇන්ඩර්ස් නොනැවතුණි. තමා නොයෙක් විට ඇන්ඩර්ස්ට පිහිට වුණු හැටි බාර්ඩ්ට මතක් විය. දෙදෙනාගෙන් වැඩිමලා තමා නොවේදැයි ඔහු සිතීය. ඇන්ඩර්ස්

ඒවා අමතක කොට ඇතැයි ඔහුට හැඟුණි. ඔරලෝසුවේ මිල ඩොලර් 30 ද ඉක්මවා නැගුණි. ඇන්ඩර්ස්ද නොනවත්වා ඉල්ලුම් කළේය බාර්ඩ් එක්වරම එය ඩොලර් 40 කට ඉල්ලීය. ඉන් පසු ඔහු තම සොහොයුරා දෙස නොබැලීය. වෙන්දේසි කාමරය තුළ දැඩි නිශ්චලත්වයක් පැතිර යමින් තිබුණි. වෙන්දේසිකරු පමණක් නැවත නැවත මිල ගණන හඬ ගා කීය. ඔරලෝසුව ඩොලර් 40 කට ඉල්ලීමට තරම් බාර්ඩ් පුළුවන්කාරයෙක් වී නම් තමා වැන්නෙකුට එය කෙසේ කළ නොහැකිදැයි ඇන්ඩර්ස් සිතන්නට විය. බාර්ඩ් එය ඔහු සතු කරගන්නට කැමැත්තෙන් සිටී නම් ඔහු එය කෙසේ හෝ ලබාගනු ඇතැයි සිතූ ඇන්ඩර්ස් තම සොහොයුරා ඉක්මවා ඉල්ලුම් කළේය. බාර්ඩ්ට එය පෙනුණේ තමා මෙතෙක් විඳි ලොකුම අවනම්බුව ලෙසිනි. ඔහු ඔරලෝසුව ඩොලර් 50 කට ඉල්ලුවේ දුබල හඬිනි. එහි බොහෝ මිනිස්සු රැස්ව සිටියහ. ඔවුන් ඉදිරියේ තමා හාස්‍යයට ලක් කිරීමට සොහොයුරාට ඉඩ නොතබමියි තමාටම කියාගත් ඇන්ඩර්ස් නැවතත් මිල වැඩි කොට ඉල්ලීය. බාර්ඩ් මහා හඬින් සිනාසුණි.

"ඩොලර් සීයයි. මදි පාඩුවට ඔන්න මගේ සහෝදරකමත්."

එන්න හැරෙමින් එසේ කියූ බාර්ඩ් කාමරයෙන් පිටවී ගියේය.

. මඳ වේලාවකට පසු එළියට ආ මිනිහෙක් නුදුරින් හුන් බාර්ඩ් දැක ඔහු වෙත පැමිණියේය. එවේලේ බාර්ඩ් සිටියේ තමා විසින් වෙන්දේසියේදී මිල දී ගන්නා ලද අසුට සෑදලය යොදමිනි.

"ඔරලෝසුව ඔහෙට අයිති වුණා. ඇන්ඩර්ස් ඊට පස්සෙ ඉල්ලුවෙ නෑ."

ආරංචිය ඇසූ සැණින් බාර්ඩ් තුළ බලවත් පසුතැවිල්ලක් හට ගති. ඔහුට සිහි වූයේ ඔරලෝසුව නොව තම සොහොයුරාය. සෑදලේ යොදා අවසන් වුවද අසු පිට නොනැග උගේ බඳෙහි තබාගත් අතැතිව ඔහු නැවතී සිටියේ දෙගිඩියාවෙනි. බොහෝ මිනිස්සු එළියට ආහ. ඇන්ඩර්ස්ද ඔවුන් අතර විය. සෑදලේ යෙදූ අසුද ඇතිව නික්ම යෑමට සූදානම්ව උන් තම සොහොයුරා ඔහු විසින් දක්නා ලදී. බාර්ඩ් කල්පනා කරනුයේ කුමක්දැයි ඇන්ඩර්ස්ට යන්තම් වැටහුණි.

"ඒයි බාර්ඩ් අර ඔරලෝසුවට උඹට බොහොම ස්තූතියි. මීට පස්සෙ මං උඹ ඉන්න හතර මායිමක පස් පාගයි කියලා හිතන්න එපා".

ඔහු එහි සිට කෑ ගසා කීවේය.

"උඹටත් මීට පස්සෙ මගේ හෙවණැල්ලවත් දකින්න හම්බවෙන්නෙ නෑ ඇන්ඩර්ස්. තේරුණාද?"

අසු පිට නැගුණු බාර්ඩ් පිළිතුරු දුන්නේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණි. ඉන් පසු කවදාවත් ඔවුහු තම පියා සමග එකට ජීවත් වූ මහගෙදරට පා නොතැබූහ. නොබෝ කලකින්ම ඇන්ඩර්ස් ගොවි පවුලකින් හිරයක් ගත්තේය. එහෙත් ඔහු තම සොහොයුරා මංගල්‍යයට නොකැඳවීය. බාර්ඩ්ද පල්ලියට නොගියේය. විවාහ වුණු මුල් අවුරුද්දේම ඇන්ඩර්ස්ට සිටි එකම එළදෙන මිය ගියාය. ගෙයි උතුරු පැත්තේ තැනක දිගේලි කර උන් ඌ එහිම මැරී සිටිනු එක් උදෑසනක දක්නා ලදී. උගේ මරණයට හේතුව කිසිවෙක් නොදත්තේය. ඇන්ඩර්ස් වෙතට තව තවත් දුක් කරදර පැමිණියේය. ඔහුගේ ජීවිතය එන්න එන්නම අවාසනාවන්ත විය. එහෙත් ඔහුට දරුණුම විපත සිදු වූයේ සීත ඉතා අධික කාලයේ එක් රැයක තම පිදුරු මැස්ස හා එහි වූ සියලු දේ ගින්නෙන් අළු වී යාමෙනි. ගින්න ඇවිළුණේ කෙසේදැයි කිසිවෙක් නොදත්තේය.

"මාව නැති බංග කරලා දාන්න හිතාපු එකෙක් මේක කරන්න ඇත්තෙ?"

ඇන්ඩර්ස් පැවසුවේය. එදා මුළු රෑම ඔහු වැලපුණේය. ඉන් පසු ඔහු දිළින්දෙක් විය. වැඩ කිරීම කෙරෙහි ඔහු තුළ පැවති සියලු ආසා අතුරුදහන්ව ගියේය.

ගින්න ඇතිවූ දාට පසු දින සවස බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට පැමිණියේය. එවේලේ ඇන්ඩර්ස් ඇඳෙහි වැතිර උන්නේය එහෙත් ගෙට ඇතුළු වන බාර්ඩ් දුටු ඔහු නැගී සිටියේ ඉද්ද ගැසුවාක් මෙනි.

"උඹ මොකටද මෙහාට ආවෙ?"

ඇන්ඩර්ස් ඇසුවේය. ඉන් පසු කතා නොකළ ඔහු නැගිට තම සොහොයුරා දෙස බලා ගත්වනම සිටියේය.

පිළිතුරු දීමට පෙර බාර්ඩ් ටික වේලාවක් නැවතී හුන්නේය.

"මං ආවෙ උඹට පිහිට වෙන්නයි ඇන්ඩර්ස්. උඹ අමාරුවෙ වැටිලා ඉන්නෙ."

"උඹ බලාපොරොත්තු උණාට වැඩිය දෙයක් මට සිද්ධ වෙලා නෑ. හොඳ හිතින් දැම්ම පලයන් යන්න. තව වෙලා හිටියොත් මොකෙන් මොක වෙයිද කියන්න බෑ."

"උඹ හිතන හැටි වැරදියි ඇන්ඩර්ස්. මං කනගාටු වෙනවා...."

"උඹ හොඳ හිතින් යනවද නැද්ද බාර්ඩ්. දෙවියන්ගෙ නාමෙන් පලයන් යන්න."

බාර්ඩ් අඩියක් පස්සට ගති.

"උඹට අර ඔරලෝසුව ඕන නම් ඒක අරගනින්."

බාර්ඩ් වෙවුලන කටහඬින් පැවසීය.

"මං උඹට මෙතනින් යන්න නේද කිව්වෙ බාර්ඩ්."

ඇන්ඩර්ස් යටිගිරියෙන් කෑ ගැසීය. තවත් එහි නැවතී සිටීමට අකමැති වූ බාර්ඩ් පිටවී ගියේය.

සිය සොහොයුරාගේ ගෙදරට යාමට පෙර බාර්ඩ් කල දවස ගෙවූයේ මෙසේය. තම සොහොයුරාට වන් දුක් කරදර ගැන ඇසූ සැණින් ඔහුගේ සිත වෙනස් විය. එහෙත් අහංකාරය නිසා ඔහු පසු බැස්සේය. පල්ලිය කරා යෑමට ඔහුගේ සිත පෙලඹී ගති. එහිදී ඔහු අපමණ දේ පොරොන්දු වී ආවේය. එහෙත් ඒවා ඉටු කිරීමට ඔහු තුළ ශක්තිය නොමැති විය. තම සොහොයුරා චසන ගෙය පෙනෙන තෙක් මානයට නිතර නිතර ගිය බාර්ඩ් එහිදී ආපසු හැරී ආවේය. විටෙක කිසිවෙක් ගෙයින් එළියට එමින් සිටියේය. තවත් විටෙක එහි අමුත්තෝ වූහ. එසේ නැතහොත් ඇන්ඩර්ස් එළියට වී දර පළමින් හූන්නේය. ඒ සෑම විටම යම් කිසිවක් බාධාවට සිටියේය.

සීත කාලයේ අග හරියේ එක් ඉරිදාවක බාර්ඩ් නැවතත් පල්ලියට ගියේය. එදා ඇන්ඩර්ස්ද එහි විය. ඔහු බාර්ඩ් විසින් දක්නා ලදී. ඔහු කෙට්ටු වී සුදුමැලිවී උන්නේය. ඔහු එදින හැඳ සිටියේ ඔවුන් එකට ජීවත් වූ කාලයේ ඔහු විසින් අඳිනා ලද ඇදුම්මය. එහෙත් ඒවා දැන් පරණ වී ගොසිනි. තැන තැන අණ්ඩ අල්ලා තිබුණි. පූජාව ඉවර වෙන තුරුම ඇන්ඩර්ස් ස්වාමි දෙස නොසෙල්ලී බලා සිටියේය. තම සොහොයුරා උණුවන හිතක් ඇති කරුණාවන්ත එකෙකැයි බාර්ඩ්ට හැඟුණි.ඔහුට ඔවුන්ගේ ළමා කාලය සිහි විය. කුඩා දරුවෙකුව සිටියදී ඇන්ඩර්ස් තුළ පැවති හොඳ ගති ගුණ ඔහු ආදරයෙන් සිහි කළේය. සත්ප්‍රසාදයට පවා සහභාගි වූ බාර්ඩ් කුමක් සිදුවුවද තම සොහොයුරා සමග සමාදාන වන බවට දෙවියන් ඉදිරියේ තිරසර ලෙස පොරොන්දු විය. සත්ප්‍රසාදයේදී ලත් මිදි යුෂ පානය කළ මොහොතේ මේ අධිෂ්ඨානය ඔහුගේ ආත්මය පුරා පැතිර ගියේය. සොහොයුරා කරා ගොස් ඔහු ළඟින් හිඳගැනීමේ දැඩි ආශාවක් සත්ප්‍රසාදයෙන් නැගී සිටි ඔහුට තදින් දැනී ගියේය. කිසිවෙක් බාධාවට සිටියේය. ඇන්ඩර්ස් හිස ඔසවා නොබැලීය. පූජාවෙන් පසුවද තවත් කිසිවක් බාධාවට සිටියේය. ඒ අවට බොහෝ මිනිස්සු වූහ. ඇන්ඩර්ස්ගේ බිරිඳද ඔහු සමග උන්නාය. බාර්ඩ් ඇය හැඳින නොසිටියේය. ඇන්ඩර්ස්ගේ ගෙයිදීම ඔහු හමුවී නිවී සැනසිල්ලේ කතා කිරීම වඩා හොඳ යැයි බාර්ඩ් තීරණය කළේය.

එදින සවස් වුණු පසුව ඔහු පිටත් විය. කෙළින්ම දොරකඩට ගිය ඔහු එහි නැවතී කන් යොමා සිටියේය. ගේ ඇතුළේ තම නම කියැවෙනු බාර්ඩ්ට ඇසුණි. කතා කරමින් සිටියේ ඇන්ඩර්ස්ගේ බිරිඳය.

"එයා අද උදේ සත්ප්‍රසාදෙටත් ගියා. ඒ වෙලාවෙ ඔයා ගැන හිතන්න ඇති. මට ඒක හොඳටෝම විශ්වාසයි."

ඈ පැවසුවාය.

"නෑ එයා හිතන්න ඇත්තෙ මං ගැන නෙමෙයි. මං ඒක දන්නවා. එයා හිතන්නෙ එයා ගැනම විතරයි."

ඇන්ඩර්ස් පිළිතුරු දුන්නේය.

ඉන් පසු බොහෝ වේලාවක් යනතුරු කිසිවක් නොකියැවුණි. එය සීතල රැයක් වුවද බාර්ඩ්ට හොඳටම ඩහදිය දැම්මේය. ඇන්ඩර්ස්ගේ බිරිඳ කේතලයක් ළිප තබමින් සිටියාය. ළිපෙහි ගින්දර හොස් හොස් ගාමින් ඇවිළුණි. වරින් වර එයින් සට පට ගා පිපිරුම් හඬක් පිට විය. ගෙතුළ උන් දරුවෙකු ඉඳ හිට අඬනු ඇසුණි. ඇන්ඩර්ස් දරුවා නැළවීය. අන්තිමේදී බිරිඳ නැවතත් කතා කළාය.

"ඔයා කොච්චර කිව්වත් ඇන්ඩර්ස් ඔයාට ඔයාගෙ හිතෙන් බාර්ඩ් අමතක කරලා දාන්න බෑ. එයාටත් එහෙමයි. ඒකයි ඔය දෙන්නට වෙලා තියෙන්නෙ. මට නං ඒක හොඳටෝම විශ්වාසයි. ඒ උණාට ඔයගොල්ලො ඒක පිළිගන්න කැමති නෑ."

"මේ ඔය කතාව නවත්තලා දාන්න. අපි වෙන දෙයක් ගැන කතා කරමු."

ඇන්ඩර්ස් පැවසුවේය.

ටික වේලාවකට පසු ඔහු නැගිට එළියට ආවේය. බාර්ඩ් අසල වූ දර මඩුවෙහි සැඟවී ගති. එහෙත් ඇන්ඩර්ස්ද දර ටිකක් ගෙන යනු පිණිස මඩුවට පැමිණියේය. සැඟවී ගත් මුල්ලේ සිටි බාර්ඩ්ට තම සොහොයුරා හොඳින් දැක ගත හැකි විය. ඇන්ඩර්ස් ඉරිදා හැඳ සිටි පරණ ඇඳුම් මාරු කොට සිටියේය. බාර්ඩ් ඇඳ සිටියාක් මෙන් ඔහුද තමා ළඟ තිබූ සොල්දාදු ඇඳුම ඇඟලාගෙන හුන්නේය. මේ ඇඳුම් කවදාවත් නාඳින්නට දෙසොහොයුරෝ එකිනෙකාට පොරොන්දු වී සිටියහ. පරම්පරාගත වස්තු වශයෙන් ඒවා තම දරුවන් අතට පත්කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඇන්ඩර්ස්ගේ ඇඳුම දැන් හොඳටම පරණ වී ඇත. එය තැන තැන ඇල්ලූ අණ්ඩවලින් යුතු විය. මේ නිසා ඔහුගේ ශක්තිමත් මනාව වැඩුණු සිරුර වැරහැලි පොදියක් සේ පෙනුණි. එක් වරම බාර්ඩ්ට ඇසී ගියේ තම සාක්කුවේ ඇති රන් ඔරලෝසුව නගන ටික් ටික් හඬය. කෝටු ගොඩ වෙත ගිය ඇන්ඩර්ස් දර එකතුකර නොගෙනම ඊට හේත්තු වූයේය. ඉන් පසු ඔහු තාරකාවලින් පැහැදී බබලන ආකාශය දෙස බැලීය. තදින් සුසුමක් හෙළා තමාටම මිමිනුවේය.

"අයියෝ දෙයියනේ!"

තම ජීවිතාන්තය තෙක්ම බාර්ඩ්ට ඒ වචන අමතක නොවීය. එවේලේ ඔහුට එළියට ඒමට සිතුණද ඇන්ඩර්ස් කහින හඬ ඇසී ඔහු පසු බෑවේය. බාර්ඩ්ගේ සිත තම සොහොයුරා නිසා උපන් ස්නේහයෙන් තෙමී ගියේය. තවත් නම් ඔහුට තම සොහොයුරාගෙන් වෙන් වී සිටිය නොහැකිය. දර ඉපල් ටිකක් එකතු කරගත් ඇන්ඩර්ස් මඩුවෙන් පිටවී ගියේ බාර්ඩ්ගේ ඇඟේ ගෑවීගෙන මෙනි. ඉපල් කොන් පවා ඔහුගේ මුහුණේ වැදුණි.

විනාඩි දහයකටත් වැඩි කලක් බාර්ඩ් එතැනම රැඳී සිටියේ මුල් ඇද ගියාක් මෙනි. එහෙත් ඔහු ඒ බවක් නොදත්තේය. දරුණු සිත් තැවුලකින් සිටි ඔහුට ඒ සීතල රැයේ වෙව්ලිල්ලක් නොසෑදීම පුදුමයකි. ඉන්පසු බාර්ඩ් මඩුවෙන් එළියට ආවේය. එවේලේ ඇන්ඩර්ස්ගේ ගෙදරට යාමට ඔහු බිය විය. ඒ නිසා ඔහු වෙනත් උපායක් කල්පනා කළේය. ඇන්ඩර්ස්ගේ පිදුරු මඩුව වෙත ගිය බාර්ඩ් එහි ඇතුළු වී දොර වසා ගති. දැල්වූ පන්දමේ එළියෙන් ඔහු තම සොහොයුරා ලන්තෑරුම එල්ලා තිබෙන ඇණේ සොයන්නට විය. හිමිදිරි පාන්දර පිදුරු මඩුවට එන ඇන්ඩර්ස් තම ලන්තෑරුම එල්ලා තැබුවේ එහිය. බාර්ඩ් තමා ළඟ තිබූ ඔරලෝසුව ගෙන අර ඇණේ එල්ලීය. ඉන් පසු පන්දම නිවා දැමූ ඔහු නික්මුණි. ඔහුගේ සිතෙහි වූ බර කෙතරම් සැහැල්ලු වීද යත් වැටී තිබුණ හිම උඩින් ඔහු වාත වේගෙන් දිව ගියේ කුඩා දරුවෙකු මෙනි.

ඇන්ඩර්ස්ගේ පිදුරු මැස්ස පෙර දින රෑ ගිනිගෙන ඇති බව පසු දා බාර්ඩ්ට අසන්නට ලැබුණි. තමා දල්වා සිටි පන්දමෙන් වීසි වී ගිය ගිනි පුපුරු නිසා එය සිදුවන්නට ඇතැයි ඔහුට සිතුණි.

මෙයින් බලවත් සේ කම්පා වී ගිය බාර්ඩ් එදා මුළු දවසම ගෙවූයේ ගෙට වැදී තනිවය. ලෙඩ වී ගියා සේය. ඔහු තම ගීතිකා පොත ගෙන මුළු දවස තිස්සේම ගායනය කෙළේය. ඔහුට පිස්සු හැදී ඇතැයි ගෙදර මිනිස්සු සිතූහ. ඒත් සවස් වුණු පසුව ඔහු ගෙදරින් පිට විය. හඳ එළියෙන් අවට එළිය වී තිබුණි. බාර්ඩ් සොහොයුරාගේ ගෙමිදුලට ගියේය. කලින් ඒ අසල වූ පිදුරු මඩුව දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ අඟුරු ගොඩක් පමණි. ඒවා අවුස්සා බැලූ ඔහුට එහි තිබූ උණු වී ගිය කුඩා රන් ගුළියක් අසු විය.

සිදුවූ සියල්ල පැහැදිලි කොට කියා සමාව අයැද සිටීමේ බලවත් ආ⁣සාවෙන් බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට ගියේ රන් ගුළියද අතැතිවය.

බාර්ඩ් අඟුරුගොඩ අවුස්සමින් සිටිනු කුඩා දැරියක් දැක සිටියාය. එසේම ඔහු ඉරිදා සවස සිය සොහොයුරාගේ ගේ දෙසට යනු නැටුමකට ගිය කොලු රැළක්ද දැක සිටියෝය. සඳුදා ඔහු හැසිරුණු පුදුම විලාසය ගෙදර මිනිස්සු විස්තර කළහ. සොහොයුරන් දෙදෙනා උනුනුන්ට තදින්ම සතුරුව සිටි බව කවුරුත් පාහේ දැන සිටියෙන් මේ තොරතුරු වගකිවයුත්තන්ට දන්වන ලදිී. ඉන් පසු විභාගයක් පැවැත්වුණි. බාර්ඩ්ට විරුද්ධව නැගූ චෝදනා ඔප්පු කිරීමට කිසිවෙක් සමත් නොවීය. එහෙත් ඔහු කෙරෙහි මිනිසුන් තුළ වූ සැකය පෙර සේම පැවතුණි. ඉන් පසු තම සොහොයුරා ළඟට යාම බාර්ඩ්ට කෙසේ වත් කළ නොහැකි දෙයක් විය.

පිදුරු මැස්ස ගිනි ගත්.විට ඇන්ඩර්ස් බාර්ඩ් ගැන සිතීය. එහෙත් ඔහු කිසිවක් නොකීවේය. ගින්නට පසු දින සවස තම ගෙට ඇතුළු වුණු බාර්ඩ්ගේ සුදුමැලි මුහුණත් අමුතු පෙනුමත් දුටු ඇන්ඩර්ස්ට සිය සොහොයුරා දැඩි සිත් තැවුලකින් පෙළෙන බව පසක් විය. එහෙත් තමාගේම සොහොයුරාට මේ සා දරුණු අපරාධයක් කළ බාර්ඩ් සමාව නොලැබිය යුත්තෙකැයි ඇන්ඩර්ස් සිතීය. ගින්න ඇතිවූ දින සවස බාර්ඩ් තම ගේ දෙසට යනු මිනිසුන් දුටු සැටි ඇන්ඩර්ස්ට පසුව අසන්නට ලැබුණි. විභාගයේදී කිසිවක් හෙළි නූණද වරදකරු තම සොහොයුරාම බව ඇන්ඩර්ස් ඒත්තු ගත්තේය.

විභාගයේදී සොහොයුරෝ දෙදෙනා උනුන්ට මුණ ගැසුණහ. බාර්ඩ් හොඳ ඇඳුමෙන් සැරසී සිටියේය. ඇන්ඩර්ස් ඇඟලාගෙන හුන් ඇඳුම වැරහැල්ලකි. තම සොහොයුරා විභාග ශාලාවට ඇතුළුවත්ම බාර්ඩ් ඔහු දෙස බැලුවේය. එවේලේ

බාර්ඩ්ගේ දෑසේ තිබූ බැගෑපත් ඉල්ලීම ඇන්ඩර්ස්ගේ ඇතුළු හදටම පෙනී ගියේය. කිසිවක් නොකියන ලෙස ඔහු තමාගෙන් ඉල්ලා සිටිතියි ඇන්ඩර්ස් සිතීය. සිද්ධිය පිළිබඳව ඔහු සිය සොහොයුරා සැක කරන්නේදැයි ඇන්ඩර්ස්ගෙන් ඇසූ විට නෑයි ඔහු හඬ නගා කීවේ තිරසර ලෙසය.

එදායින් පසු ඇන්ඩර්ස් තදින් බීමට ඇබ්බැහි විය. වැඩි කල් නොගොස්ම ඔහු ඉතා අමාරු අඩියකට වැටුණි. බීමට ඇබ්බැහි නූණද බාර්ඩ්ගේ ජීවිතය ඊටත් වඩා දුක් පිරුණක් විය. ඔහු කෙතරම් වෙනස් වී සිටියේද යත් මිනිසුනට ඔහු හඳුනාගත නොහැකි වී ගියේය.

දිනක් කරුවල වැටීගෙන එද්දී බාර්ඩ් කුලියට ගෙන සිටි කාමරයට ඇතුළු වූ එක් දුප්පත් ගැහැනියක් ඇය සමග එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු ඈ හැඳින්නේය. ඒ තම සොහොයුරාගේ බිරිඳය. ඇගේ පණිවිඩය කුමක්ද යන්න බාර්ඩ්ට වහා වැටහුණි. ඔහු මළාක් මෙන් සුදු මැලි විය. නොපමාව හැඳ පැලඳ ගත් බාර්ඩ් කිසි කතාවක් නැතිව ඇය සමග පිටත් වී ගියේය. ඇන්ඩර්ස්ගේ ගෙයි ජනේලය අතරින් යන්තමින් පෙනුණේ මලානික පහන් එළියකි. වරක එය වෙව්ලමින් සිටියේය. තවත් වරක එය අතුරුදහන්ව ගියේය. ඔවුන් දෙදෙනා මේ එළිය බලාගෙන ගමන් කළේ වැටුණු හිම අතරින් පාරක් නොතිබුණු හෙයිනි. බාර්ඩ් මෙවරද ගෙයි දොරකඩට විත් නැවතුණි. එවිට හදිසියේ දැනී ගිය ගඳකින් ඔහු ලෙඩ වූවාක් මෙන් විය. ඔවුහු ගෙට ඇතුළු වූහ. කුඩා දරුවෙක් ළිප අසලට වී අඟුරු කමින් සිටියේය. දැලි තවරාගත් මුහුණෙන් යුත් දරුවා හිස ඔසවා බලා සුදු දත් පෙන්නා සිනාසුණි. ඒ බාර්ඩ්ගේ සොහොයුරාගේ දරුවාය.

ඇන්ඩර්ස් ඇඳේ වැතිර උන්නේය. ඔහුගේ සිරුර රෙදි ගොඩකින් පොරවා තිබුණේය. උස්ව පිහිටි සිනිඳු නළල් තලයකින් යුත් ඔහු සුදුමැලි වී කෙට්ටු වී සිටියේය. ඇන්ඩර්ස් ගිලී ගිය දෑස ලොකු කර සිය සොහොයුරා දෙස බැලීය. බාර්ඩ්ගේ දෙපා පණ නැති වී ගියේය. ඔහු ඇඳ පාමුල මහා හඬින් හඬා වැටුණි. ඔහු දෙස ඕනෑකමෙන් බැලූ රෝගියා කිසිවක් නොපැවසුවේය. අවසානයේදී ඔහු සිය බිරිඳට එතැනින් ඉවත්ව යන ලෙස දැන්වීය. එහෙත් බාර්ඩ් නොයා සිටින මෙන් ඇයට හිසින් කීවේය. ඉන් පසු සොහොයුරෝ දෙදෙනා උනුනුන් හා කතා කිරීමට පටන් ගත්හ. තරඟයට මෙන් ඔරලෝසුව ඉල්ලුම් කළ දින පටන් මේ දිනය තෙක් අවුරුදු ගණනක් තිස්සේ සිදුවුණු සියලු දේ ඔවුහු උනුනුන්ට හෙළි කළෝය. සිය කතාව අවසානයේදී බාර්ඩ් රන් ගුළිය එළියට ගත්තේය. මෙතෙක් දින ඔහු එය තමා යන යන තැන රැගෙන ගියේය. ඔවුන් මේ අවුරුදු කිහිපය තුළ එකම එක දිනයක්වත් නියම සතුටින් යුතුව ගත නොකළ බව ඔවුන්ගේ කතා බහේදී හෙළි වුණි.

ඉතා දුර්වලව සිටි ඇන්ඩර්ස් වැඩිපුර කතා නොකළේය. බාර්ඩ් තම සොහොයුරා ලෙඩ වී සිටින තාක් කල් ඔහුගේ ඇඳ අසලම හිඳ තනි රැක්කේය.

"දැන් මට හොඳටම සනීපයි. දැන් ඉතින් අපි ඉස්සර හිටියා වගේම එකට ජීවත් වෙන්න ඕනෙ. කවදාවත් වෙන් වෙන්නෙ නැතුව."

දිනක් උදෑසන නින්දෙන් පිබිදුණු ඇන්ඩර්ස් සිය සොහොයුරාට පැවසීය.

එහෙත් එදින ඔහු මිය ගියේය.

වැන්දඹුව සහ දරුවා බාඩ් විසින් තම ගෙදරට ගෙනයන ලදහ. එතැන් පටන් ඔවුන් හොඳින් රැක බලා ගැනුණි. දෙසොහොයුරන් එදා ඒ ඇඳ අසලදී පැවසූ සියලු දේ ගේ බිත්තිය අතරින් පිට වී අවුත් මිටියාවතේ ජීවත් වූ සියලු මිනිසුන්ගේ කන්වල ලැගුම් ගති. බාර්ඩ් ඒ මිනිසුන් අතර ඉතාමත් උසස් ලෙසින් ගරු බුහුමන් ලැබූවෙකු බවට පත් විය. මහා දුකක් විඳිමින් සිට නැවත සෙත අත් පත් කරගත්තෙකු වශයෙන් හෝ දිගු කලක් අතුරුදහන්ව හිඳ ආපසු පැමිණ සිටින්නෙකු වශයෙන් හෝ සලකා ඔවුහු බාර්ඩ්ට ගරු බුහුමන් කළෝය. ඔවුන්ගේ හිතවත්කම නිසා බාර්ඩ්ගේ සිතට දිරිය උපන්නේය. ධාර්මික මිනිසෙකු බවට පත් ඔහුට ලෝකයට හිත වැඩ පිණිස තම ජීවිතය කැප කිරීම රිසි විය. පැරණි කෝප්‍රල් වරයා තුළින් පාසල් ගුරුවරයෙක් බිහිවුණි. ඔහු කුඩා දරුවන්ගේ සිත්වලට මුළුමනින්ම කාවැද්දූ දෙය ආදරය විය. කුඩා දරුවන් ඔවුන්ගේ කෙළි යහළුවෙකු සහ පියෙකු මෙන් සිතා තමාට ආදරය කරන තුරුම ඔහුද එය පුරුදු කළේය.


නෝර්වීජියානු ලේඛක
බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන් ගේ කෙටි කතාවකි.

පරිවර්තනය
කරුණාරත්න අමරසිංහ



අදහස් (0)

සහෝදරයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site