" සඳුන් අද පරක්කුයි"

ඔරලෝසුව දිහා බැලුනේ පුරුද්දට වගේ.ඒකේ වෙලාව දහයයි කාලයි.පෙරෙයිදා උදේ දහයයි කාලට ඩියුටි ඕෆ් වෙච්ච ඔරලෝසු කටු තවමත් එතනමයි.

" එනකොට බැට්රි කෑලි දෙකක් ගේන්න "
              උදේ යද්දී ත් එයාට ඒක ඇහුනේ නැහැ.ඔරලෝසුව නැවතුණු බවක් වත් සඳුන් දන්නේ නැහැ.එයා වෙලාව බලන්නේ එලාම් එක තියන්නේ ෆෝන් එකෙන්.ගෙදර ඉන්න වෙලාවට ඔරලෝසු දිහා බල බල ඉන්න තරම් විවේකයක් සඳුන්ට නැහැ.

ගේට්ටුවේ කොක්ක පැන්නෙන සද්දේ ඇහුණා.

" සඳුන් වෙන්න ඇති"
           මම දිව්වා දොර අරින්න.එතකොටම එයා ළඟ තියෙන යතුරෙන් දොර ඇරගෙන සඳුන් ගෙට ආවා.ගෙයි ලයිට් දාලා කකුල් දෙකත් දික්කරගෙන සෙටියේ ඇලවුණා.

" පව්,හරිම මහන්සි පාටයි.
මූණත් එක්ක කළු වෙලා
මොකක්හරි ප්‍රශ්නයක්ද?
ඇයි රෑ වුණේ?
කෝච්චිය මිස් වුණා ද?
          මම ප්‍රශ්ණ වැලක් ඇහුවා.සඳුන් ඇස් පියාගෙන හිටියා.එයාගේ හිත තිබුණේ ගොඩක් ඈත.මට ඒක ඉවෙන් වගේ දැනුණා.

" දුවව එක්කගෙන එන්න යන්නේ නැද්ද?"
         වෙනදා ලයිට් දාපු ගමන්ම  අල්ලපු වැටේ තියෙන අම්මලගේ ගෙදරට ගිහින් දුවව එක්කගෙන එනවා.අද ඒකේ වගක් නැහැ.

" ගිහිං වොෂ් එකක් දාගන්න "
        කෙස් අතරින් ඇඟිලි යවමින් ඔළුව අතගාන ගමන් මම හෙමින් කිව්වා.එයා බිත්තිය පැත්තට හැරුණා.

දුවවත් එක්ක අම්මා ගෙට ගොඩවුණේ ඒ වෙලාවෙයි.

" ඇයි පුතේ අසනීපයක් ද? ඇඳුම් පිටින්ම ඇලවුණේ.ලයිට් දාලා තියෙනවා දැකලයි අපි ආවේ.
වොෂ් එකක් දාගන්න.මම තේකක් හදන්නම්."

" අම්මේ"
ඇලවෙලා හිටපු සඳුන් කෙලින් වෙලා වාඩිවුණා.යන ගමන නවත්වලා අම්මා

" ඇයි පුතේ " කියලා ඇහුවා.
මම සඳුන් ළඟින් ඉඳගත්තා.

" මට ප්‍රමෝශන් එකක් ලැබිලා"

" කොච්චර හොඳද?"
            අම්මත් ඉස්සරහ පුටුවෙන් වාඩිවුණා.

" ඒ එක්කම මාරුවකුත් ලැබිලා "

" කොහාටද"

" සිංගප්පූරුවේ තියෙන බ්‍රාන්ච් එකට."
            අම්මගේ මූණ එළිය වුණා.මගේ හිත අඳුරු වුණා.දුව පුදුමයෙන් තාත්තගෙයි ආච්චිගෙයි මූණු මාරුවෙන් මාරුවට බැලුවා.

" කොච්චර කාලෙකටද?"

" අවුරුදු දෙකකට 
ඕන නම් තවත් දික්කරගන්න පුළුවන්.නවතින්න එපාට්මන්ට් එකකුත් ලෑස්ති කරලයි තියෙන්නේ.ෆැමිලි එකටම යන්න පුළුවන් කියලයි ලෙටර් එකේ තියෙන්නේ.

" දුවගේ ප්‍රශ්ණෙට මොකද කරන්නේ? සඳුන් ඇහුවේ මමත් අහන්න හදපු ප්‍රශ්ණයමයි.

" ඉස්කෝලේ ගමන නැත්නම් දුවව ගෙනියන්න තිබුණා.මේ තරම් හොඳ ඉස්කෝලෙකින් දුවව අස්කරගන්න එක අපරාදයක් කියලත් හිතෙනවා. වැඩට ගියහම දුවව බලාගන්න  කෙනෙකුත් එහෙ නැහැ.ඒත් මම නැතිව දුව මෙහෙ ඉඳීද දන්නේ නැහැ."
සඳුන් දිග හුස්මක් හෙළුවා.
මට කතාකරන්න වචන අමතක වුණා.

" පුතා හිත නිදහසේ යන්න.මම දුවව මගේ ඇස් දෙක වගේ බලාගන්නම්.කොහොමත් ටික කලකට හරි පුතා මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න එක හොඳයි කියලා මටත් හිතෙනවා."
         අම්මා කිව්වා.
දුව ඇවිත් අපි දෙන්නා අතරින් වාඩිවෙලා සඳුන්ගේ ඇඟට හේත්තු වුණා.
              අම්මා හවස ඇවිත් රෑට උයලා තියලා ගිහින් තිබුණා.සඳුන්ටයි දුවටයි උදේට ගෙනියන්න කෑම අම්මා මහ ගෙදරින්ම හදාගෙන එනවා.සඳුන් කරන්නේ තේකක් හදාගෙන දුවට කිරි එකක් හදලා දෙන එක විතරයි.

" පව් අම්මා.මේ වයසට මොනතරම් මහන්සි වෙනවද?" 
     මම අම්මා තේ හදන දිහාව කුස්සියේ පුටුවකට වෙලා බලාගෙන හිටියා.වොෂ් එකක් දාගෙන ආපු සඳුන් තේ එක බීලා දුවගේ ස්කූල් බෑග් එක ඇදගෙන පොත් ටික බැලුවා.හෝම් වර්ක් ඔක්කොම හවස අම්මා කරවලා තිබුණා.දුවගේ සපත්තු පොලිෂ් කරපු සඳුන් එයාගේ සපත්තු දෙකක් පොලිෂ් කරගත්තා.දුවගෙයි එයාගෙයි උදේට අඳින ඇඳුම් ටිකත් මැදලා තිබ්බා.

" ඉස්සර නම් ඔය වැඩ ඔක්කොම මම තනියම කරගත්තා.වැඩටත් ගියා "
       මට ටිකක් හයියෙන් කියවුණා .ඒක ඇහිලා වගේ සඳුන් පස්ස හැරිලා බැලුවා.
               දුවත් එක්ක ඇඳට ගිය සඳුන් දුවට නින්ද යනකම් " ලේඩි බර්ඩ් " පොතකින් කතාවක් කියලා දුන්නා.මම දුවට එහා පැත්තෙන් ඇඳ විට්ටමට හේත්තු වෙලා හිටියා.දුවගේ සුවඳ දැනෙනකොට හිත වාවන්නේ නැහැ.දුවට නින්ද යන්න ඉස්සර සඳුන්ට නින්ද ගියා.

" පවු ,දවසෙම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලත් විවේකයක් නැහැ."
දන්නෙම නැතුව මටත් නින්ද ගියා.
        උඩ වීසිවෙලා ඇහැරුනේ එලාම් එකේ සද්දෙට.සඳුන්ට නම් ඇහුණු වගක් පේන්න තිබුණේ නැහැ.දෙවෙනි පාරටත් එලාම් එක වදිනකොට මම සඳුන්ව හයියෙන් හෙලෙව්වා .

" නැගිටින්න
නැගිටින්න "
සඳුන් නින්දෙන්ම අනිත් පැත්තට හැරුණා.
          සඳුන්ට ඇහැරුණේ තුන්වෙනි පාරට එලාම් එක වදිනකොටයි.එතකොට විනාඩි විස්සක් විතර ප්‍රමාදයි.
                සඳුන්ට තවම දුවගේ කොණ්ඩේ ගොතාගන්න බැහැ.මම දුවගේ කොණ්ඩය කපන්න හදනකොට සඳුන් තමයි විරුද්ධ වුණේ.

" ඔහොම තිබුණාවේ
චූටි කෙල්ලන්ට කොණ්ඩේ දිගට ලස්සනයි."
            සඳුන් කිව්වා.

කෑම පෙට්ටි දෙකත් අරගෙන ආපු අම්මා දුවගේ කොණ්ඩය ගෙතුවා .හත වෙනකොට සුරංගගේ ත්‍රී වීලරය ගේට්ටුව ළඟට ආවා.දුවව ඉස්කෝලෙට දාගෙන සඳුන් යයි ස්ටේෂන් එකට.ඇක්සිඩන්ට් එකේදි කාර් එක කුඩු පට්ටම් වුණාට පස්සේ සඳුන් වාහනයක් ගත්තේ නැහැ.එයානම් කියන්නේ මීට පස්සේ කවදාවත් වාහන එලවන්නේ නැහැ කියලයි.
                 සඳුනුයි ,දුවයි පිටවෙලා ගියාට පස්සේ ගේ ඇතුලේ පුදුම නිශ්ශබ්දතාවයක්  තියෙන්නේ.දරාගන්න හරි අමාරුයි.ගේත් අස්කරලා , අතුගාලා රෙදි ටිකත් හෝදලා දාලා අම්මත් ගෙදර ගියා.දිනිති අක්කා ඉන්න නිසා අම්මට ඒ ගෙදර වැඩ නැහැ.

" උමංගා ඉන්න කාලේ කවදාවත්ම මට කරදරයක් දීලා නැහැ ."
     දවසක් අම්මා සඳුන් එක්ක කිව්වේ කඳුළු පිහදාන ගමන්.
               දවල් දහය එකොළහ වෙනකොට මට හිතුනා සඳුන්ගේ ඔෆීස් එක පැත්තේ ගිහින් එන්න.ඇක්සිඩන්ට් එකෙන් පස්සේ  මාසයක් විතර ගෙදර ඉඳලා ඔෆීස් යන්න පටන්ගත්ත දවස්වල තනියම අරින්න බය නිසා මමත් එයා එක්කම ගියා.එයා ඕෆ් වෙනකම් නිදි කිර කිර පැත්තක වාඩිවෙලා හිටියා.ඒත් දැන් මම ඒ පැත්තේ යන්න කම්මැලී .කෝච්චි වල,බස් වල තෙරපි තෙරපි යනකොට මට කැරකිල්ල වගේ.දාඩිය ගඳයි වාහන කරච්චලයයි ඉවසන්න බැහැ.
           සමහර දවස්වලට දුවගේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගිහින් ස්කූල් වෑන් එකේ එයත් එක්කම එනවා.පුංචි දරුවෝ රංචුවක් එක්ක එනකොට ඒ දවස්වල මම තුනේ හතරේ පංති වල වැඩ කළ හැටි මතක්වෙනවා.

"  පුංචි එවුන්ට තවම මාව මතක ඇති."

දුව ගෙදර එනකොට මම ටිකක් නින්ද ගිහිල්ලා. නාවලා ඇඳුම් මාරුකරලා අම්මා දුවව එහෙ එක්කගෙන ගියා.දැන් ඉතින් සඳුන් එනකම්ම මට කරන්න වැඩක් නැහැ.පංසල පැත්තේ ගිහින් එන්න හිතුවේ ඒකයි.පංසලට අඩිය තියනකොටම මාව නිවෙනවා.හිතේ කලබල ගතිය නැතිවෙලා යනවා.සංසාරේ ඇවිද්දා ඇතී කියලා හිතෙනවා.සඳුනුයි මායි හමුවුණු මුල්ම භවයත් අවසන් භවයත් මේක නෙවෙයි කියලා දැන් මම දන්නවා.ඒත් දැන් මේ ආ දුර හොඳටම ඇති.අපි දෙන්නම හෙම්බත් වෙලා.ඒත් නිවන කියන්නේ ලේසියෙන් ලඟාකරගන්න බැරි සැනසීමක් කියලත් මට තේරෙනවා.
           බෝ මළුවේ කොනක වාඩිවෙලා දන්න ගාථා ඔක්කොම කියලා වැන්දා.බෝධි පූජා කවිත් කට පාඩමින් කිව්වා.පොඩ්ඩක් භාවනා කරන්න හැදුවම දාහක් දේවල් මතකයට එනවා.
               
" පුතාට යන්න තියෙන්නේ කොයි දවස්වල වගේද?"
හවස අම්මා සඳුන්ගෙන් ඇහුවා.

" ලබන මාසේ පළවෙනිදා ඉඳලයි වැඩ බාරගන්න තියෙන්නේ.ඒත් අවුරුද්දේ දානේ දීලම යන්න පහළොස්වෙනිදා වෙනකම් දින ඉල්ලගත්තා."

"අපි පිරිතක්ම කියමු නේද අම්මේ! "
      ටිකක් වෙලා නිහඬව ඉඳපු සඳුන් කිව්වා.

" මාත් කියන්නමයි හිටියේ" මම කිව්වා.

" පුතා කැමති විදියකට කරමු "

" අපේ ටීචර් තාත්තව මතක්කරන්න කිව්වා "
     දුව එහෙම කිව්වේ නිදාගන්න ගිහින් ඇඳේ පෙරලි පෙරලි ඉන්න ගමනුයි.

" දැන් ටීචර්ට සනීපද?"
           සඳුන්ට මොටද ඒවා. මගේ හිත කිව්වා.

" ඔව් ,ඒත් ඇවිදින්නේ අමාරුවෙන් ."
දුව ඇඳෙන් බැහැලා ඇවිදලා පෙන්නුවා.

" පවු"
සඳුන්ට කියවුණා.
මගේ හිත ඇවිලුණා.

ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සති ගානක් යනකම් සඳුන් හිටියේ කම්පනයෙන්.එදා ඒ ගමන යනකොට දුවව ගෙදර දාලා ගියේ අම්මගේ වදේට.

" රෑ පානේ දුර මළගෙවල් වල යන්න නරකයි "
      අම්මා කීප වතාවක්ම කිවුවා.මගේ බලකිරීමටයි සඳුන් යන්න ලෑස්ති වුණේ.දිලූපගේ මහත්තයා මැරිලා තිබුණේ හාට් ඇටෑක් එකකින්.ඒක නොගිහින්ම බැරි මරණයක්.දිලූපා මගේ හොඳම යාළුවා .
       කුරුණෑගලින් ආපහු එන්න පිටත්වෙනකොටත් දොළහට කිට්ටුයි.සතියම වැඩට ගිහිල්ලා සිකුරාදා වෙනකොට සඳුන් හිටියෙත් මහන්සියෙන් .හයි වේ එකේදි මටත් නින්ද ගියා.සඳුන්ටත් නින්ද යන්න ඇති.කාර් එක දැක්ක මිනිස්සු කිව්වේ,

" පුදුමයි මේකේ පණපිටින් මිනිහෙක් හිටපු එක"
         සඳුන්ට තිබුණේ සීරීම් තුවාල විතරයි.ඇත්තටම ඒක පුදුම බේරිල්ලක්.
          දුවට ඇඳේ හරහට නින්ද ගිහින් තිබුණා.මමත් අයිනකින් ඇලවුණා.බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුණු අපි දෙන්නගේ මගුල් පිංතූරය අතට ගත්ත සඳුන් ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.ලයිට් එක නිව්වට පස්සෙත් සඳුන් හිටියේ ඇහැරගෙන.එයා හිතන්නේ මොනවද කියලා මට නොතේරුනත් ඒ හිතන්නේ අපි ගැන කියලා දැනුනා.
       යාළුවෝ අපි දෙන්නට කිව්වේ 
" සකඳ මලයි බබළු වැලයි කියලා"
  ඒක මොන තරම් ලස්සන උපමාවක්ද? බැන්දට පස්සෙත් අපි දෙන්නා නිතරම හිටියේ එකට.ඒක සසර පුරුද්දක් කියලා දන්නේ මම විතරයි.
            මමත් උදේ සඳුනුයි දුවයි එක්කම පිටවුණා.මට හිතුනා දුවගේ ටීචර්ව බලලා එන්න.සඳුන් ගියේ එයාගේ සිංගප්පූරු ගමන ගැන කියන්න.ඈතදිම සඳුන් එනවා දැකලා ටීචර්  මූණේ මල් පිපුනා.ඒත් ගමන ගැන අහලා මල් පරවුණා.

" හොඳ වැඩේ.තවම යන්නේ කොර ගගහා.ඒත් මට්ටු වෙලා නැහැ." 
              මට කියවුණා.

ඒ සිද්දියෙන්  පස්සේ දුව හිටියේ ගොළු වෙලා වගේ .ඒ නිසා ටීචව හම්බවෙන්න සඳුන්ට නිතර නිතර යන්න සිද්ධ වුණා.සති කීපයක් යනකොට දුව සාමාන්‍ය තත්වයට ආවා.ටීචගේ අවධානය සඳුන් පැත්තට හැරුණා.සුළු දෙයටත් සඳුන්ව ගෙන්නවගත්තා.වයස පහුවෙමින් තිබුණත් ටීච බැඳලා හිටියෙත් නැහැ.දවසක් උදේ සඳුන් ඇවිත් යනවත් එක්කම කෙසෙල් ලෙල්ලක් පෑගිලා ටීචර් කකුල කඩාගත්තා.කවුරුවත් දන්නෑ එතෙන්ට කෙසෙල් ලෙල්ලක් ආව විදිය.
          ගෙදර හරි කලබලයි.පිරිත නිසා වගේම සඳුන්ගේ ගමන නිසත් නෑදෑයෝ,යාළුවෝ යනවා එනවා.ඒ අතරේ මං ගැනත් කතා වෙනවා .මමවත් නොදැන හිටපු මගේ ගුණ දොස් ගැන මම අහගෙන ඉන්නවා.සඳුන්ට හරිම වෙහෙස පාටයි .ඔක්කොම බර එයාගේ කර උඩ.මමත් මට කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා හොයලා බැලුවා.
           මගේ අම්මයි තාත්තයි ආවේ පිරිත දවසේ උදේ.ඒ දෙන්නා අවුරුද්දක කාල පරාසයකදී අවුරුදු දහයකින් වයසට ගිහින්.අම්මා ,ඩයි කිරිල්ලත් අත ඇරලා දාලා.කොණ්ඩේ පුලුන් කුල්ල වගේ .මම ඒ දෙන්නත් එක්කම හිටියා. ඒගොල්ලන්ගේ සුවඳ දැනෙනකොට කඳුළු එනවා.මම පුංචි සීරීමක් වත් කරගත්තොත්  තාත්තා කොයි තරම් කලබල වුණාද.
           පිරිත් පටන්ගන්න කලින් අනුශාසනාවෙදි හාමුදුරුවෝ සඳුන්ට කිව්වේ හිත හදාගන්න .ජීවිතයට මුහුණ දෙන්න කියන එකයි.

හාමුදුරුවන්ට වඳිනකොට සඳුන්ට ඇඬුණා.

" අනේ හාමුදුරුවනේ ,මං හරිම පවුකාරයෙක්.උමංගට මේ අපරාධය සිද්ධ කළේ මං"
 මගේ පපුව පැලෙන්න ආවා.

" මහත්තයා, ඒක මහත්තයගේ වරද නෙවෙයි. ඕනම කෙනෙකුට වාහනයක් එලවද්දී නින්ද යන්න ඉඩ තියෙනවා.අධික වෙහෙසත් ඒකට එක හේතුවක්.ඒ වුණත් උමංගා නෝනගේ කර්මයත් ඒකට බලපාලා තියෙනවා"
       හාමුදුරුවෝ සඳුන්ගේ හිත හැදුවා.මම එළිවෙනකම්ම මණ්ඩපය ඉස්සරහ වාඩිවෙලා පිරිත් ඇහුවා.ගිනි ගොඩකට වතුර වක්කරනවා වගේ මගේ හිත නිවිලා යනවා මට දැනුනා.

දවල් දානය වෙලාවේ 
" ඉච්චිතං පච්චිතං තුයියං
කිප්ප මේව සමිජ්ජතූ"
           හාමුදුරුවරු තාලයට ගායනා කරද්දී

" ඉදම්මේ ඤාතීනං හෝතූ"
 කියලා සඳුනුයි දුවයි පැන් වැඩුවා.
           මගේ හිතේ බැඳීම් එකින් එක ලිහි ලිහී යනවග  තේරුණා.මට දැනුනේ අසීමිත සැනසුමක්. හාමුදුරුවරු ආපහු වඩිද්දීම ඉස්සරහ දොරෙන් පිටවුණු මම පාර දිගේම පංසල දිහාට ඇවිදගෙන ගියා.


ෂර්මිලා බංදුනී දංවත්ත