
දාවිත් අයියා අපේ ගෙදර නැවතීමට පැමිණියේ කවදා දැයි මට කිව නොහැක. එහෙත් එය බොහෝ කලකට පෙර විය යුතුයයි මම සිතමි. මට මතකදා සිට දාවිත් අයියා මඳකුදු වෙනස්වී යයි මට නොසිතේ. ඔහුගේ කෙස් ගසක්වත් වැඩියෙන් පැහුණදැයි මම නො දනිමි. ඔහු අපේ පවුලේ කෙනකු නොවන බව ද මා දැන ගත්තේ ස්කෝලයට යෑමට පටන් ගත් පසුවය. දාවිත් අයියා අපේ ගෙදර වූ වැඩවලින් එකක් නියම වශයෙන් කළේ යයි මට කිව නොහැක. ඔහු බොහෝ විට අපේ බක්කි කරත්තය දැක්කුවේය.
ගෙදර සිට හැතැප්ම කාලක් පමණ දුරින් වූ පාසලට නංගිත් මාත් ගියේ බක්කි කරත්තයෙනි. අප දෙදෙන පස්සෙන්ද දාවිත් අයියා ඉස්සරහින්ද වාඩි වී, උදේ භවස, කරත්ත යෑමෙන් ගල්මතු වී වළ ගැසුණු පාරදිගේ බක්කි කරත්තය ' ඩොක් ' ' ඩොක් ' ගා ගිය අයුරු මට දැනුදු සිහිකළ හැක.
හිරු රැසින් මලානික වූ කඳු මැදින් වැටුණු පාර දිගේ දහවල් පාසලෙන් සෙමෙන් එනවිට ' චරි සුද්දෝ ' කියා දාවිත් අයියාකරත්තය දැක්කුවේ පාළු නිදිගන්වන සුලු ගීතයක සුන්දරත්වය හඟවමිනැයි දැන් මට සිතේ. ඔහුගේ රළුවෙන් තොර හඬ වියළි වාතය හා එක් වීමෙන් ඇතිවන පාළු දුක්මුසු භාවය දැනුදු මට සිහිකළ හැකි යයි සිතමි. දාවිත් අයියා ඉඳහිට දුම්කොළ ගැනීමට හන්දිය අසල කරත්තය නැවැත්වූ විට අපට සීනිබෝල ගෙනත් දුන්නේය.
දාවිත් අයියාට අන් කිසිවකු නොසිටි බව මම එකලද දැන සිටියෙමි. ඔහුට දුවක් සිටි මුත්, ඈ කලකට පෙර මියගිය බව මම අම්මාගෙන් දැන ගතිමි. දාවිත් අයියා අපේ ගෙදරට නැවතීමට පැමිණියේ ඊට පසුවය.
මෙසේ පාසලට ගොස් ආපසු පැමිණි එක්තරා දිනක දවහල් කෑමෙන් පසු මම ඉස්තෝප්පුවට වී පොතක වූ පින්තූර දෙස බලමින් සිටියෙමි. ඉස්තෝප්පුවේ එක් පැත්තක තාත්තාගේ කාමරය වෙයි. එහි තාත්තාත් අම්මාත් කථා කරමින් සිටිය බව මට පෙනිණ. ඔවුන් කථා කළ දෙයට මම ඇහුම්කම් නුදුනෙමි. එහෙත් ඔවුන් කී දෙයින් සමහරක් මට ඇසිණ.
" ඕක ගන්න ඇත්තේ දාවිත් අයියාද කියලත් මට විශ්වාස නැහැ '' යි අම්මා වරක් උස්හඬින් කියනු මට ඇසිණ. අම්මා තාත්තාට ළංවී තවත් කිසිවක් කීමුත් මට එය නෑසුණේ ය.
'' මොන බොරුද.......ඒක වෙන්නට බැහැ ' යි තාත්තා ඉක්බිතිව කීවේය.
" කියන්න බැහැ. මට නම් විශ්වාස නැහැ '' යි අම්මා යළිත් කියනු මට ඇසිණ.
මම ඔවුන්ගේ කථාවට කන්යොමා අසා සිටියෙමි. ඔවුන් කථා කරන්නේ ඊයේ නැති වූ අම්මාගේ වළල්ල ගැන බව මට වැටහිණ.
ඊට පෙර දින හවස අම්මාත්, නංගිත් මමත් පන්සලට ගියෙමු. පන්සලට ගොස් ආපසු පැමිණි අම්මා ඇඳ පැළඳ සිටි මාලයත් වළලුත් ගලවා මුහුණ සෝදා ගැනීමට ගියාය. ගමනක් ගොස් ආපසු පැමිණි විගස ඇඳ සිටි බඩු ගලවා කුඩා පෙට්ටියේ දමා අල්මාරියේ තැන්පත් කිරීම අම්මාගේ සිරිතය. බඩු තැන්පත් කිරීමට සුදානම් වු ඈ එක් වළල්ලක් නැතැයි කීවාය. නංගිත් මමත් එවිට මිදුලෙහි වූ මල් වගයක් කඩමින් සිටියෙමු. අම්මා උස් හඬින් කිසිවක් කියනු ඇසී අපි ගෙට දුවගෙන ආවෙමු. ඉන්පසු අපි තිදෙනා ම වළල්ල සෙවුවෙමු. රෑ වනතුරු සෙවු නමුත් අපට වළල්ල සොයාගත නොහැකි විය. රෑවූ පසු නංගිත් මාත් වළල්ල සෙවීම නතර කෙළෙමු.
අම්මා කතා කර ඉවර වීමට පෙර දාවිත් අයියා වත්ත පහළ සිට එනු මට පෙනිණ. අම්මා, තාත්තා සිටි කාමරය උඩ සිට මිදුල පහළ මිදුලෙන් වෙන් කරන තාප්පයට මුහුණලා, පිහිටා ඇත්තේය. කාමරයෙහි විශාල කවුළුව ඇර තිබුණ නිසා තරප්පු පේලියෙන් ගොඩ නඟින දවිත් අයියාට ඔහුගේ කථාව ඇසෙන්නට ඇතැයි මට සිතිණ. දාවිත් අයියා ඉස්තෝප්පුවට ගොඩ වෙනු දුටු අම්මා සාලය දෙසට යනු මට පෙනිණ.
සවස තේ වතුර බී යහළුවකුත් සමග මම සෙල්ලම් කිරීමට ගියෙමි. අප සෙල්ලම් කළේ ගෙයි ඉදිරි පස වු පොල් ඕවිටට යාබද වූ තණ පිටියෙහිය. දාවිත් අයියා ඒ අසල වූ ඉඩමක කිසිවක් කරමින් සිටින බව මට පෙනිණ. ඔහු පාත්තියක් උදළුගාන බව මම පසුව දැක්කෙමි. සෙල්ලම් කරන අතර මම දාවිත් අයියා දෙස ඉඳ හිට බැලුවෙමි. වරක් ඔහු උදළු මිටට හේත්තු කොටගත් නිකටින් යුතුව කිසිවක් දෙස බලා සිටිනු මට පෙනිණ. ඔහු එලෙස බොහෝ වේලා සිටිනු මම දැක්කෙමි.
මුහුණ සෝදා ගැනීමෙන් පසු මම වෙනදා මෙන් මල් කැඩීමට ඇල අද්දරට ගියෙමි. ඇල අද්දර එ දෙසට ඇලවූ දෙමට ගසක් වසා ඝන වැඩි විශාල රුක් අත්තන පඳුරක් වෙයි. එහි හැම දිනම් බොහෝ සේ මල් පිපි ඇත. අතුපතර විහිදගත් දෙමට ගස නිසා ඒ අවට පාළු අඳුරු බවක් සවස් කල තිබේ. ඇතැම් දිනයන්හි එය මා තුළ බියක් ද ඇති කරන සුළුය.
රුක් අත්තන පඳුරට ළංව උස්ව වැඩි මලක් කැඩීමට අත එසවූ මට ඉන් ඔබ්බෙහි වූ කිසිවෙක් පෙනිණ. දාවිත් අයියා එහි කුමක් කරත් දැයි වටහාගත නොහැකි වූ මම ඕනෑකමින් එදෙස බැලුවෙමි. එකිනෙකට ළංව වැඩුණු රුක්අත්තන වැල් නිසා දාවිත් අයියාට මා නොපෙනෙයි. ඇලකණ්ඩියෙහි වාඩි වී සිටි දාවිත් අයියාගේ දෙකකුල් ඇලෙහි වතුර දෙසට දිගු කොට තිබුණේය. ඔහුගේ දෙඇස ඇලෙහි එහා ඉවුර දෙසට යොමුවී තිබිණ. ඔහු කිසියම් දෙයක් ගැන කල්පනා කරතියි මට එවේලේ සිතිණ. රතු පැහැති හිරු රැස් සෙමෙන් ගලන දිය කඳත්, දාවිත් අයියා වසා පැතිරෙන්නට විය. මලානික හිරු රැස් නිසා මට ඔහුගේ මුහුණ පෙරට වඩා පැහැදිලිව පෙනේ. ක්‍රමයෙන් ඇළ දෙසට අත දිගු කොට ගත් ඔහුගේ දෙනෙත් විශාල වන්නට විය. එපමණක්ද නොව ඒවා හිරුඑළියෙන් දිලිසෙන බවද මට පෙනිණ. මොහොතකින් මෙතෙක් දෑස පුරා සිටි කඳුළු බිඳු දෙකම්මුල් දිගේ ඇද වැටෙණු මම දැක්කෙමි. දාවිත් අයියා මහත් ශොකයෙන් හඬන බව මට පෙනිණ.
මම සෙමෙන් ඈත් වී ගේ දෙසට ගියෙමි. මා තුළ මහත් ශෝකී භාවයක් ඇති විය. දෑතින් මුහුණ වසාගෙන හඬනගා ඇඬීමට මට සිතිණ. සැදෑ අඳුරෙහි සෙමෙන් නොපෙනී යන දාවිත් අයියා දෙස මම යළිත් ඕනෑකමින් බැලුවෙමි.
මා, ඔහු දුටු අන්තිම වර එයය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දාවිත් අයියා