
" මොනවා කරන්නද ?
හිත හදාගන්න බලන්න නංගියේ.
මරණය කියන එක කාටත් උරුමයි.
ඒක වළක්වන්න මොන සක්කරයටවත් බැහැ.
වෙලාව ආවහම යන්නම වෙනවා ."
අක්කා යන්න ලෑස්ති වෙලා එහෙම කිව්වේ වෙන කියන්නම දෙයක් නැති නිසා වෙන්න ඇති.
පහුගිය සතිය පුරාම ඔය වචන ටික එක එක විදියට අහලා කාත් එක්ක හරි කතාකරද්දී දැන් සමන්තිගේ කටින් පිටවෙන්නෙත් ඒ වචන ටිකමයි. ගහක් ගලක් වගේ හිටිය ජයසුමන මේ තරම් කබලෙන් තමන්ව දාලා යයි කියලා සමන්තිගේ තුන් හිතකවත් තිබුණේ නැහැ.
කසාදෙට අවුරුදු තිහක් වුණාට දෙන්නගේ ආශ්‍රයට අවුරුදු තිස් පහකටත් වැඩී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය ප්‍රේමවන්තයෙක් වුණු ජයසුමන ස්වාමිපුරුෂයෙක් විදියටත් ඒ නම්බුව රැක්කා. කවදාවත්ම දෙන්නා අතර හිත රිදෙන වචනයක්වත් හුවමාරු වුණේ නැහැ. ඇත්තටම එහෙම ගෙවන ජීවිතයත් ටිකක් නීරසයි කියලා හිතණු වෙලාවලුත් දෙන්නටම තියෙන්න ඇති.
විශ්‍රාම යන්න හරියටම මාසයයි තිබුණේ. ජයසුමනට පපුවේ අමාරුව හැදුණේ කන්තෝරුවේදිමයි. එහෙන්ම ඉස්පිරිතාලෙට ඇතුළු කරලා තිබුණා. සමන්ති යනකොටත් නොවියයුතු සියල්ල සිදුවී අවසන්.
" අන්තිම මොහොතේ දෑහැට පේන මානයේ වත් ඉන්න බැරි වුණානේ.
මට දුක ඒකමයි "
සමන්ති ඇඬුවේ එහෙම කිය කිය.
මරණ ගෙදරට අඳුනන අය වගේම නාඳුනන අයත් ගොඩක් ආවා. හුඟක්ම ජයසුමනගේ ලේඛක හිත මිතුරන්. අනෙත් අය කාර්යාලයේ කට්ටිය.
" අරයත් මේ අතරේ ඇති "
ඒ කලබල අස්සෙත් සමන්තිට හිතුණා.
හත් දවසේ බණ කියවලා එදා උදේ දානය දුන්නට පස්සේ එකම දුවත් සැමියයි දරුවයි එක්ක පිටවෙලා ගියේ පහුවෙනිදා ඉඳලා වැඩට යන්න තිබුණු නිසයි. තනි නොතනියට ඉතුරු වුණු යසෝමත් මහන්සියට නිදි. සමන්තිත් ඉස්සරහා දොර අඩවල් කරගෙනම ඇඳට ගියේ කකුල් දෙකට විවේකයක් දෙන්න හිතාගෙනයි.
ඇඳට ගිය සමන්ති කොට්ටය ඇඳ විට්ටමට තියලා ඒකට හේත්තු වුණා. ජයසුමනගේ කොට්ටය තවමත් ඒ විදියටම තියෙනවා. ඒ කොට්ටය අතට ගත්ත සමන්තී පපුවට තුරුළු කරගත්තා. සමන්තිට දැනුණේ ජයසුමනගේ සුවඳ. ඒ උණුසුම. සමන්තිටත් නොදැනිම වේලිලා තිබුණු කඳුළු උල්පත්වලට පණ ඇවිත් ගලන්නට වුණා. ඒ කඳුළුවලට නිදහසේ ගලන්න ඉඩ ඇරලා සමන්ති ඇස් පියාගත්තා.
ඒ එක්කම කොට්ට උරය ඇතුළේ යමක් තදට අහුවෙන බවක් සමන්තිට දැනුණා. අත දාලා බලනකොට යතුරක්. ඒ ජයසුමනගේ ලියන මේසයේ කබඩ් එකේ යතුර. අවුරුදු තිහක කසාද ජීවිතයේ යම්කිසි පැල්ලමක් ඇතිකළා නම් ඇති කළේ ඔය යතුර තමයි. දෙන්නා අතර බෙදා නොගත් යමක් තිබුණානම් ජය සුමනගේ තනි අයිතියට පවරාගෙන තිබුණු ඔය යතුර තමයි.
කොහොමත් නිශ්ශබ්ද ජයසුමන ගෙදර ඉන්න වෙලාවෙන් වැඩි වෙලාවක් හිටියේ කන්තෝරු කාමරයේ. එක්කෝ ලියමින්. නැත්නම් කියවමින්. කොහේ හරි යනවනම් ලියන මේසේ කබඩ් එක ලොක් කරලා ගියා. කවදාවත්ම යතුර අමතක කරලා ගියේ නැහැ. යන යන තැන අරගෙන ගියා. මහා නිධානයක් රකින්න වගේ කබඩ් එක රැක්කා.
" මොනවද අනේ ඔය තරම් ඕකේ රකින්න තියෙන්නේ. "
සමන්ති ඇහුවත් හිනාවෙනවා ඇර උත්තරයක් දුන්නේ නැහැ.
ඒ ගැන හිතන්න මහා ලොකු දෙයක් නැතත් සමන්ති ඒ ගැන හිතුවා. ප්‍රශ්නයක් ඕනම නිසා හිතින් ප්‍රශ්නයක් හදාගත්තා. ඒ ගැන හිතමින් නිදි වැරුවා. සැකය පෝෂණය කරන්න කරණු රැස්කළා. විඳෙව්වා. ඒත් ඒ ජයසුමනට නොදැනෙන්න.
එකත් එකටම වෙන ගැහැනියකගේ පිංතූරයක්, ලියුම් මිටියක්, අර සිංදුවක තියනවා වගේ දම් පාට පුංචි වීදුරු වළල්ලක්, ඒ මොකවත්ම නෙවෙයිනම් වාටියට රෝස මලක් මහපු ලේන්සුවක්වත් ඇතී කියලා සමන්ති සැක කළා. ඒත් සමන්ති දන්න තරමට තමන්ට කලින් ජයසුමනට පෙම්වතියක් ඉඳලා නැහැ.
එහෙනම් තවමත් ආශ්‍රය කරන කෙනෙක්ද ?
වැඩ කරන තැන කෙනෙක්ද ?
ලියන කියන ඉස්තිරියාවක්ද ?
සමන්තී, එක එක දාට සැකය එක එක පැත්තට හැරෙව්වා.ඒත් හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා.
කල්පනාකිරීම අතරමග නවත්තපු සමන්ති පිටි අල්ලෙන් කඳුළු පිහදාගෙන ඇඳෙන් බහැල ජයසුමනගේ කන්තෝරු කාමරයට ගියා. දෙවරක් නොහිතම යතුර ලියන මේසයේ යතුරු හිලට දමලා කැරකෙව්වා.හරිම පිලිවලට අහුරපු ෆයිල් කවර එකින් එක එළියට අරගෙන බලනකොට ඒවායේ තිබුණේ ජයසුමන ලියූ පොත් පත්වල අත්පිටපත්. නැත්නම් පත්තරවල පළවුණු ලිපි.
ඔක්කොම එළියට ගත්තට පස්සේ තමයි දැක්කේ යටම තට්ටුවේ මුල්ලක තියෙන නිල් පාට විල්ලූද පෙට්ටිය.
සමන්තිට එකපාරටම ඇතිවුණේ සතුටක්. ඒක මෙච්චර කල් හොයපු දෙයක් හම්බවුණා වගේ සතුටක්. ගැහෙන ඇඟිලි වලින් සමන්තී පෙට්ටිය ඇරියා.
" තෝඩුවක් "
" රතු පාට ගල් අල්ලපු රිදී පාට පුංචි තෝඩුවක් "
"මේ ඒ තෝඩුව."
අවුරුදු තිස් ගණනකට එහා දවසක සැන්දෑවක, මුහුදු වෙරළේදී අතුරුදන් වුණු තමන්ගෙම තෝඩුව.
එදා තමයි මුල්ම වතාවට ජයසුමන සමන්තිව සිපගත්තේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd