" නම මොකක්ද? "

" ඔයාගේ නම මොකක්ද? "

දෙවෙනි ප්‍රශ්නය ඇසුවේ සය අවුරුදු පමණ වයසෙහි සිටි මගේ කුඩා නැගණිය විසින් බව සිහින් කට හඬින් මට වැටහිණ. ගෙයි ආලින්දයේ කෙළවර පිහිටි මගේ කාමරයේ ජනේලය අසල හිඳ පොතක් කියවමින් සිටි මට වත්තෙහි කිසිවෙකු සමඟ කතාවෙහි යෙදී සිටි නැගණිය නොපෙනෙයි. කතා ශබ්දය ඇසුණේ අපේ ගෙයි වත්ත ද යාබද වත්ත ද එකිනෙකින් වෙන් කරන තාප්ප බිත්තිය දෙසිනි. එහෙයින් එය නංගී ද යාබද වත්තෙහි කිසිවකු ද ඔවුනොවුන් හා දැන හැඳුනුම්කම් ඇති කොට ගැනීමට ආරම්භ කළ කතාවකැයි මම සිතීමි. අප ඒ ගෙයි වාසයට පැමිණියේ ඊට පෙර දිනය.

"මගේ නම කාන්ති "

යළිත් සිත පොතට යොමු කළ හෙයින් ඔවුන්ගේ සල්ලාපයේ ඉතිරි කොටස මට නො ඇසුණේය.

ඊට දින කීපයකට පසු සිට කාන්ති යන නම අපේ ගෙදර නිතර ඇසෙන්නට විය. කාන්ති අපේ ගෙදරට පළමුවෙන් පැමිණියේ කෙසේ දැයි මම නොදනිමි. නංගී ඈ හා දැන හැඳුනුම්කම් ඇති කරගත් පසු ඈ මෑණියන් හා මිත්‍ර වන්ට ඇතැයි ද ඊට පසු මෑණියන් ඇගේ මවුපියන් සමග ද දැන හැඳුනුම්කම් ඇති කොටගෙන තිබෙන බව ඔවුන් වරක් අපේ ගෙදරට පැමිණීමෙන් මට හැගිණ. කාන්ති දිනකට කීප විටක් අපේ ගෙදරට එයි. නැගණිය ඇගේ නම කියමින් ගෙය මුළුල්ලේ දුවන හඬ ඉස්තෝප්පුවේ කාමරයට වී පොත් කියවන මට නිතර ඇසේ. ඇතැම් විට නැගණිය ද කාන්ති ද ඔවුනොවුන් ලුහුබැඳ දුවන හඬ ද මට ඇසෙයි. මෙසේ ඒ දෙදෙනා ඔවුනොවුන් ලුහුබැඳ දිවීම කෙළවර වන්නේ මහත් සිනාසීමකිනි.

කාන්ති දහසය වන අවුරුද්දෙහි පමණ සිටි රූමත් දැරියකි. මගේ වයස දහ හතක් පමණ විය. නංගිට මෙන් ම මෑණියන්ටද කාන්ති බෙහෙවින් ප්‍රිය වන බව මෑණියන් ඈ කෙරෙහි හැසිරුණු සැටියෙන් මට පෙනිණ. එහෙත් ඈ කිසි විටක මගේ සැලකිල්ලට භාජන නොවී ය. ඈ මා හා මිත්‍ර වීමට තැත් කරන බව සිනා මුසු මුහුණින් යුතුව ඈ නොයෙක් වර මා දෙස බැලූ සැටියෙන් මට වැටහිණ. එහෙත් ඇය හා කතා කිරීමට හෝ ඇය දෙස බලා සිනාසීමට හෝ කිසි විටක මට නොසිතිණ. මා හැසිරුණේ ඈ අපේ ගෙදරට නිතර එන බව නොදන්නා එකකු මෙනි. මා එසේ කළේ දහසය වියෙහි සිටි දැරියක හා මිත්‍රකම් ඇති කොට ගැනීම පොත කියවීමෙන් මේරූ බුද්ධිය ඇති මා වැන්නකුට තරම් නොවෙති යි යන ගර්වය නිසා ද නැති නම් ඈ රූමත් තරුණියක යන අදහස නිසා මගේ යටි සිතෙහි ඇති වූ ලජ්ජාව නිසා දැයි මට කිව නොහැක.

දිනක් සවස මා අම්මා සමග තේ බොමින් සිටිය දී විශාල වැස්සක් වැටෙන්ට විය. පොත් ගොඩ ගැසූ මේසය උඩ වූ පොත් වැස්සට තෙමෙන්ට පුළුවනැයි මට සිතුණු හෙයින් මම තේ වතුර බීම ඉක්මනින් අවසන් කොට ජනේලය වසන්නන්ට කාමරයට ගියෙමි. මා එහි ඇතුළු වන විට කාන්ති ජනේලය වසමින් සිටියා ය. ජනේලයේ දෙපියන මෑත් කිරීමට ජනේල රෙද්දට උඩින් දෑත් පිටතට දික් කොට ගත් අත් ඇති ව පා ඇඟිලිවලින් නැගී සිටි ඈ මා කාමරයට ඇතුළු වන හඬ අසා ගෙල කරකවා මා දෙස බැලුවා ය. මා දුටු ඈ කලබල විය. ඈ ජනේලය නො වසා ම එය අසලින් ඉවත් විය. ඈ ජනේලය වැසීමට සිතුවේ මගේ පොත් වැස්සෙන් ආරක්ෂා කිරීමට වුව ද ඇය කාමරයේ සිටිනු දැකීමෙන් මා තුළ ඇති වූයේ කෝපයකි. මා නැති විටක කිසිවෙකු මගේ කාමරයට ඇතුළු වනු මට රිසි නොවෙයි. මගේ පොත් ද කඩදාසි ද අවුල් විය හැකි හෙයින් කිසිවකුට මගේ කාමරයට ඇතුළු වීමට ඉඩ නො දිය යුතු යයි මා අම්මාට කියා තිබුණේ ය. මා තුළ ඇති වූ කෝපය ඇයට නොහැඟවීමට සිතූ මම කාමරයේ මුල්ලක තිබුණු කනප්පුවක් මත වූ කඩදාසි ගොඩක් අවුස්සන්ට වීමි. ජනේලය අසලින් ඉවත් වී මොහොතක් නැවතී සිටි ඈ යළිත් මා දෙස නොබලා ම සෙමින් මා පසු කොට ගොස් කාමරයෙන් පිට විය.

ඈ මගේ කාමරයට ඇතුළුවීම මගේ අසතුටට හේතු වූ බව ඈට වැටහුණේ දැයි මම නොදනිමි. එහෙත් ඈ මා හා උරණ නො වූ බව ඈ හැසිරුණු සැටියෙන් මට වැටහිණ. දිනක් සැන්දෑවේ මා කාමරයෙහි කිසිවක් ලියමින් සිටින විට නංගී සෙමින් කාමරයට ඇතුළු වී ජනේලය අසල තිබුණු මේසය උඩ තිබුණ පොත් ද ප්‍රවෘත්ති පත්‍ර ද අවුස්සමින් කිසිවක් සොයන්ට විය.

" මය පොත් අවුස්සන්ට එපා යි මම ලිවීම නවත්වා ඈ දෙස බලා කෑගැසුවෙමි. නැටි දික් ව සිටින ලෙස කැඩූ විශාල රෝස මලක් ඇගේ අතක විය.

" මෙි මල් දමන්ට මල් පෝච්චිය හොයන්නේ '' යි මගේ කෑගැසීමෙන් තැතිගත් නංගි කීවා ය. අප ඒ ගෙදරට ආ තැන් සිට මගේ කාමරයෙහි වූ ඒ මල් පෝච්චියේ මල් නොදමන ලදී. ගෙයි වත්ත විශාල වුව ද එහි මල් වැවීමට අප විසින් එතෙක් උත්සාහයක් නොකරන ලදී. මල් ලබාගත නොහැකි හෙයින් මම ඊට දෙදිනකට පෙර මල් පෝච්චිය කාමරයේ මුල්ලක බිම තැබුවෙමි.

 

"මට ඕනෑ මලක් නැහැ. යන්න කාමරයෙන් එළියට යි නංගී යළිත් පොත් අවුස්සන්ට වූ බව දුටු මම කෝපයෙන් හඬ නැගීමි. බියපත් වූ ඇය මේසය වෙතින් ඉවත් වී දොර දෙසට යන්ට වූ විට මා තුළ අනුකම්පාවක් ඇති විය. ඇයට ආපසු හඬ ගැසීමට සිතු මම කාමරයෙහි දොර දෙස බැලීමි. කාන්ති කාමරයෙන් පිටත දොර අසල සිටගෙන සිටින බව මා දුටුවේ එවිට ය. කාන්තිගේ ගෙයි වත්තේ රෝස මල් වැවූ පාන්ති ගණනක් ම ඇත. ඈ මගේ මල් පෝච්චියේ දැමීමට නංගීට මල් දී කාමරයට එවන්ට ඇතැයි මට සිතුණේය. මා තමා දෙස බලනු දුටු ඈ කාමරයේ දොර සමීපයෙන් ඉවත් විය. මම නංගී ආපසු නොකැඳවීමි.

ඊට පසු කිසි විටක කාන්ති සිනා මුසු මුහුණින් මා දෙස බැලූ බවක් මට මතක නැත.

ගස්වල බෙහෙවින් මල් පිපෙන කාලය පැ මිණියේ ය. අපේ ගෙදර වත්තේ කොනක පිහිටි ඇසල ගස් දෙකෙහි ද මගේ කාමරය අසල වූ පරණ අඹ ගසෙහි ද අතු පතර මලින් ගැවසී ගියේ ය. වත්තෙහි මුලුවල වැඩුණු වතුසුද්ද ගස් සුදු මලින් වැසුණේ ය. සන්ධ්‍යාවෙහි කාමරයට වී පොත් කියවීමට වඩා ඇවිදින්ට යාම මට ක්‍රමයෙන් ප්‍රිය විය.

අපේ ගෙයි වත්ත ද කාන්ති විසූ වත්ත ද අතර වූ තාප්ප බිත්තියෙහි එක් තැනක් කැඩී ගොස් ඇත. කාන්ති අපේ ගෙදරට එන්නේ තාප්පයේ කැඩී ගිය තැනට උඩින් පැන අපේ වත්තට ඇතුළු වීමෙනි. මගේ කාමරය අසලින් අවුත් අපේ ගෙට ගොඩ වීම ඇගේ සිරිත ය. දිනක් උදයේ මා කාමරයේ ජනේලය අසල හිඳ අලස කල්පනාවක යෙදී සිටින විට කාන්ති ජනේලය අසලින් ගියාය. හිස පහත් කොට ගෙන සිටි මගේ දෙනෙත් කාන්තිගේ දෙපා කෙරෙහි යොමු විය. ඒ පාදයන් දුටු මම විස්මයට පත් වීමි. එපමණ සුන්දර ලෙස සැදුණු පාදයන් ඊට පෙර කිසි කලක මා විසින් නොදක්නා ලදැයි මට සිතිණ. ඇගේ දෙපා දික්ව සිහින්ව වැඩුණේ ය. ඇගේ යටි පතුල් ලා රන්වන් පැහැති ය. එකිනෙකට ළංව සිටි පා ඇඟිලි ඉතා සියුමැලි විය. පරිසමාප්තිය පැමිණි ස්ත්‍රී රූප සෞන්දර්යය මෙසේ විය යුතු යයි විදහා පෑමට තැත් කළ පැරණි ප්‍රතිමා ශිල්පීන් කළ රූපවල පාදයන් ඇගේ දෙපා දැකීමෙන් මට සිහි විය. ඇගේ දෙපා එපමණ මනහර බව මා ඊට පෙර නොදත්තේ කෙසේදැයි මම පුදුම වීමි. ඊට පෙර කිසි විටක මගේ නෙත් ඇගේ පාදයන් කෙරෙහි යොමු නොවීම ඊට හේතුව විය හැකැයිමම සිතමි. ඇගේ පාදයන්ගේ හැඩයෙහි පමණක් නොව ඈ පා සෙමින් තණ බිමෙහි ඔබා ගමන් කළ ආකාරයෙහි ද මම සුන්දරතාවයක් දුටුවෙමි. ජනේලය පසු කොට ගිය ඈ ගෙයි ඉස්තෝප්පුවට ගොඩ වැදුණා ය.

එහි ගොස් ඇගේ පා දෙස තව වරක් බැලීමට මට සිතිණ. කාන්ති ඉස්තෝප්පුවේ හිඳ සිටි මගේ මැණියන් අසල සිට ඇය හා කතා කරමින් සිටියාය. පොත් කියවීමෙන් වෙහෙසට පත් වූ ඇතැම් විටක ඉස්තෝප්පුවේ සක්මන් කිරීම මගේ සිරිතකි. එක තැනක හිඳ ඇගේ පාදයන් දෙස බලා සිටීම නුසුදුසු යයි සිතූ හෙයින් ඇගේ දෙපා කෙරෙහි විටින් විට ඇස් යොමු කරමින් ආලින්දයේ සක්මන් කරන්ට වීමි. ඇගේ පාදයන් පමණක් නොව ඇගේ මුළු රූපය ම බෙහෙවින් සුන්දර යයි මට සිතුණේ‍ය. මදක් උල් වූ නිකටින් ද යුත් ඇයගේ මුහුණෙහි ඊට පෙර මා නුදුටු පියකරු බවක් මම එදින දුටුවෙමි. කරල් දෙකක්ව පිට මැද වැටෙන ලෙස ගෙන කෙස් වැටිය ඇති ව හිස මදක් පසකට ඇල කොට ගැනීම ඇගේ සිරිතකි. ඈ එසේ කිරීම මා නිතර දැක පුරුදු දෙයක් වුව ද එදින මට එය පෙනුණේ ඇගේ ලාලිත්‍යය දියුණු කරන සිරිතක් ලෙසය.

එදා සිට ඇගේ රූපය මට වඩාත් ප්‍රියංකරව පෙනෙන්ට විය. ඇගේ රූපය දැකීම මෙන් ම ඇගේ කටහඬ ඇසීම ද මට ප්‍රිය වුයේ ය. ඈ අපේ ගෙදරට අවුත් නංගී සමග සිනාසී කතා කරන විට මම මහත් අභිරුචියකින් ඇගේ කට හඬට කන් දෙන්ට වීමි. මම ඇය හා කතා කොට කුලුපග වන්ට සිතීමි. ඇය හා කතා කිරීමට තරම් මට ධෛර්යය උපදවාගත නොහැකි විය. එතෙක් මා ඇය හා කතා නො කළ හෙයින් මා ඇය හා කතා කරන්ට වීම අම්මාගේ කුතුහලයට හේතු විය හැකැයි බියක් ඇති විය. ඈ ඉදිරියට පැමිණි විට මා තුළ ඇති වූ දැඩි ලජ්ජාව නිසා මම කලබල වීමි. ඇය ඉදිරියෙහි කතාවේ ශුරයකු ද බුද්ධිමතකු ද ලෙස කතා කිරීමට මම උත්සාහ කළෙමි. එහෙත් ලජ්ජාව නිසා ඈ ඉදිරියෙහිදී මට සාමාන්‍යයෙන් පමණවත් හොඳින් කතා කරගත නො හැකි විය.

මම පෙර මෙන් මගේ කාමරයට වී පොතක් කියවීමෙන් නොව ගෙයි තැනින් තැන හැසිරීමෙන් කාලය ගත කරන්ට වීමි. මා එසේ කළේ කාන්ති ගෙදරට පැමිණෙන විට කාමරයෙන් එළියට අවුත් ගෙයි හැසිරීම අම්මාගේ සැකයට භාජන විය හැකැයි සිතූ හෙයිනි.