IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුක දියකිරීම

කෙටිකතාව


වෙලාව පහයි.වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යන වෙලාව.පාරේ එකම ගාලගෝට්ටියක්.වාහන බ්‍රේක් ගහන සද්ද,හෝන් ගහන සද්ද ,බැණ අඬගහගන්න සද්ද හැරියට්ට හොඳට පුරුදුයි. තට්ටු පිට තට්ටු නැගුණු බිල්ඩින් වලට ඉර මුවා වෙලා.වේලාසනම කළුවර ගලන්න හේතුව ඒකයි.තනි තට්ටුවේ කුරුමිටි ගෙදරට ලැටිස් අස්සෙන් බැස යන හිරුගේ රැස් කැරැල්ලක් එබෙනවා.හැරියට්ට දැනුණේ මහ පාළු හැඟීමක් .පහුගිය දවස් ටිකේ නම් නර්ස් නෝනලා හරි හිටියා බනින්න,කෑගහන්න.

               ටිකට් කපලත් දවස් දෙකක්ම වාට්ටුවේ බංකුවක් උඩ ඉන්න වූණේ ගෙදර එන්න ක්‍රමයක් නොතිබුණු නිසයි.ගෙවල් දෙකකට එහායින් ඉන්න ෆාරුක් ඒ වාට්ටුවෙම ඉන්න ලෙඩෙක් බලන්න ඇවිත් හැරියට්ව දැකලා ගෙදරට ගෙනත් බැස්සුවා.

" ෆාරුක් ඉස් අ ගුඩ් ෆෙලෝ 
නැත්නම් මම තවම ඉස්පිරිතාලේ"
            හැරියට් තනියම කියවනවා.තනියම කතාකරන එක දැන් හැරියට්ට පුරද්දට ගිහිල්ලා.වචනයක් කතාකරන්න, කතාකරන දේ අහගෙන ඉන්න කෙනෙක් නැතිවෙනකොට තමන් එක්කම හරි කතාකරන්න පුරුදු වෙනවා.අනිත් අතට හැරියට් වගේ ගෑනියකුට කතානොකර ඉඳලා පුරුද්දක් නැහැ.
               හැරියට්ගේ ගෙදර කාමර තුනයි.කාමර දෙකක් තියෙන්නේ ඉස්තෝප්පුව දෙපැත්තේ.ඒ කාමර දෙකෙන් එළියට දොරවල් තියෙනවා.රිචඩ් මැරුණට පස්සේ හැරියට් ජීවත් වෙන්න කීයක් හරි හොයාගත්තේ ඒ කාමර දෙක කුලියට දීලා.විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න පිරිමි ළමයි හය දෙනෙක් ඒ කාමර දෙකේ ඉන්නවා.කෑම බීම නැහැ.කාමරය විතරයි.ලයිට් බිල් ,වතුර බිල් ගෙවලා යන්තම් මාසේ පිරිමහගන්න  ඒ ගාන ඇති.ආණ්ඩුවෙන් මාස් පතා දෙන ආධාර මුදලකුත් ලැබෙනවා.
                   
" වට් හෑස් හැපන්ඩ් ටු දිස් බෝයි"

           බට්ටා ෆෝන් එක අතට ගත්ත හැරියට් ඇහැ ළඟටම කරලා මතකයෙන් නොම්මර ටික එබුවා.වැදිලා වැදිලා නැවතුණා.රාජු කතාකළේ නැහැ.

" මේකා දැන් හිතලම මාව මග අරිනවද කොහෙද?"
         ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ට හැරියට් ලැටිස් අස්සෙන් පාර දිහා බලාගෙන හිටියේ අඳුනන කවුරුවත් පාරේ යනවනම් කතාකරන්න හිතාගෙන.

" කාගෙ හරි අත රාජුට පණිවිඩයක්  යවාගත්තොත් "

" බීලා ලෙඩ වැඩි කරගෙන නම් ආයේ මේ පැත්තේ එනවා එහෙම නෙවෙයි."
         ඊයේ එන්න හදනකොට ලොකු මිසී කිව්වේ සැරෙන්.

" මේ වතාවෙත් කොහොම හරි ගොඩ දැම්මා .ආයේ නම් ලේසි වෙන එකක් නැහැ."
           ෆෝන් එක අතට ගත්ත හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.

" ඒපාර ඒ මඟුල වැඩකරන්නේ නැහැ"
         හැරියට්ට කියවුණා.

   බෝඩිං වෙලා ඉන්න ළමයින්ට යන්න එන්න එක වෙලාවක් නැහැ.මේ එනවා. මේ යනවා.සමහරු සමහර දවසට දවසෙම නිදාගන්නවා .රෑට එළිවෙනකම්ම ලයිට් දාගෙන වැඩ.ඒකට නම් හැරියට් කැමති නැහැ.ඒත් වචනයක්වත් කියන්නේ නැහැ.

" දේ ආ යෙට් ස්ටුඩන්ට්ස් ,නෝ
තනි නොතනියට වත් මට දැන් ඉන්නේ උන් විතරයි"
             හැරියට් හිත හදාගන්නවා.

" ඒ කොල්ලෙකුට කිව්වොත් ගෙනත් දෙයි.
චා...චා...
දැට්ස් නොට් ගුඩ්
දේ ආ ස්ටිල් චිල්ඩ්රන්"

              හැරියට් බෙර කොට වගේ කකුල් අද්ද අද්ද ඇඳට ගෑටුවා.ටිකක් ඉඳගෙන ඉන්නකොට ඇඳට යන්න හිතෙනවා.ඇඳේ ඇලවෙලා ඉන්නකොට ඒකත් එපා වෙනවා .දවල්ට ටිකක් නින්ද ගියොත් රෑට නින්ද යන්නෙම නැහැ.
         නින්ද යන්න නම් එක බෙහෙතයි තියෙන්නේ .ඒත් දොස්තරලා නම් කියන්නේ ඒක ගත්තොත් මේ පාර  අවසන් නින්දම නිදාගන්න පුළුවන් වෙයි කියලයි.
         හැරියට් ඉපදුණු සමාජයේ ගෑනු බොනවයි කියන එක අරුමයක් නෙවෙයි.හැරියට් ඉපදුනේ මේ කොටහේනේමයි.ඒත් ඒ කාලේ ගෑනු බිව්වේ ගෙදර පෙරාගත්ත වයින්.නත්තල ළං වෙනකොට ගෑනුන්ගේ මුල්ම රාජකාරිය ඒක .පෙරලා බූලිවල දාලා හංගලා තියන්නේ පිරිමින්ගෙන් පරෙස්සම් කරගන්න.
            හැරියට්ගේ මම්මා ටිකක් බිව්වා.ආච්චි මම්මා හොඳට බිව්වා.පප්පත් දිනපතාම බිව්වා.පප්පා වැඩ කළේ නොතාරිස් කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට.හැරියට්ට මතකයි ඒ කාලේ හැමදාම ඉරිදට ගෙදර පාටි. පල්ලි ගිහිං එනකොට පප්පට ස්පෙෂල් ලන්ච් එකක් හදලා තියන්න ඕනෑ.නැත්තම් ගෝරි.පප්පා අඩු වයසින්ම මැරුණේ මේ ලෙඩේ හින්දයි.රිචඩ්ටත් මේ ලෙඩේමයි.
                හිත මෙල්ල කරගන්න හැදුවට හරියන්නේ නැහැ.පොඩි ෂොට් එකක් නැතිව බත් කටක් උගුරෙන් පහළට යන්නේ නෑ.ඇඟට කිසිම පණක් කඳක් නැහැ.හැරියට් කොහොමත් ගෙදර උයන්නේ නෑ.ළඟ බත් ගෙදරකින් උදේටයි දවල්ටයි කෑම එවනවා.රෑට පිටි එකක් හදාගෙන බොනවා.දැන් සතියකට වැඩී ඉස්පිරිතාල ගමන නිසා පොඩ්ඩක් කටේ ගාගන්න බැරි වෙලා.

" ඩොක්ටස් ආ ක්‍රේසි
මේ ඔක්කොම ලෙඩ ඒක නැති නිසයි.පොඩ්ඩක් හරි තිබුණානම් බත් කටක් කන්න තිබුණා"
             
          හැරියට් පවුලේ එකම දරුවා.පප්පා කිව්වේ " මයි ලිට්ල් රෝස් බඩ් " කියලයි.හැරියට් ඉපදුණේ පිරිසුදු කතෝලික පවුලක .පප්පගේ පරම්පරාව එංගලන්තයට නෑකම් කිව්වා .අම්මා මොරටුවේ සිංහල කතෝලික.හැරියට්ට තවම හැටකට වැඩිය නැහැ.ඒත් හැත්තෑ පහක පෙනුමයි .ඒ මේ ලෙඩේ හින්දා.කණ්නාඩියෙන් දැක්කම තමන්ට තමන් අඳුනන්න බැහැ.ඒ කාලේ තිබුණු ලස්සන කොහේ හැංගිලද මන්දා.තමන්ට තමන් මගහැරුණේ රිචඩ්ගේ මරණෙත් එක්ක කියලයි හැරියට් හිතන්නේ.
               හැරියට්ට තවමත් හොඳට සින්දු කියන්න පුළුවන්.ටිකක් වැඩිවුණු දාට පරණ රෙකෝඩ්  ප්ලේයර් එක දාගෙන හයියෙන් සින්දු කියනවා.රිචඩ්ගේ පරණ කෝට් එකක් ඇඳගෙන තනියම නටනවා.උදේට බෝඩිං වෙලා ඉන්න ළමයි

" ඇන්ටිට ඊයේ ටිකක් වැඩි වුණා නේද?"
          අහනකොට නම් හැරියට්ට ලැජ්ජයි .
           ඇඳට වෙලා හිටියට නින්ද යන්නේ නැහැ.මුළු ඇඟේම ඇට කටු කැඩිලා යනවා වගේ දැනෙනවා.ළඟදි ඉඳලා අත් දෙකම ගැහෙනවා.

" ඔය බෙහෙත නැතුව"
              අල්ලපු ගෙදර ඇන්ටනි නම් කියන්නේ එහෙම.

"බීම නිසා හැදුණු ස්නායු අමාරුවක් " ඉස්පිරිතාලෙදි කිව්වා.
          ඇඳෙන් නැගිටලා සාලෙට ගියපු හැරියට් සෙටියේ ඇලවුණා .පප්පයි ,මම්මයි, රිචඩුයි බිත්තියේ පේලියට ඉඳගෙන හැරියට් දිහා බලාගෙන ඉන්නවා.ඒ මූණුවල තියෙන්නේ දුකක්ද ,සතුටක්ද කියලා  හැරියට්ට හිතාගන්න බැහැ.

" ළඟදිම ඔය පේලියට තව එකක් එකතුවෙයි ."
           ළඟදී ගත්ත පිංතූරයක්වත් තමන් ළඟ නැහැ කියලා හැරියට්ට කල්පනා වුණේ ඒ වෙලාවේ.

" මේ ඉන්න විදියට නම් පිංතූරයක් අරගෙනත් වැඩක් නැහැ.පරණ එකක්වත් හොයලා තියන්න ඕනෑ"
        හැරියට් හිතුවා.

තමන් මැරුණොත් මරණේ කටයුතුවලට වත් ටෙරන්ස් එයිද කියලා සැකයි . අවුරුදු ගණනාවකින් ලංකාවට ඇවිත් නැහැ.

" මමී...
හව් ආ යූ "
        කියලා අහලා නැහැ.

" ඉන්න එකෙක් වළදායි.
ගඳ ගහනකන් තියාගෙන ඉන්න එකක් නැහැ.
රිචඩ් ළඟින්ම වැලලුවොත් හොඳයි."
           රිචඩ් මතක් වෙලා හැරියට්ට ඇඬුණා.

" මට මොනතරම් ආදරෙන් හිටියද?
හොඳ මිනිස්සුන්ව තමයි ඉක්මනටම ස්වර්ගයට ගෙන්නගන්නේ.
පවුකාර මම ඉතුරු වුණා. "

            හැරියට් ඒ කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා.පියානෝ එක ගැහුව මිස් ඉසබෙල් මැරණේ හදිස්සියෙමයි.පල්ලියේ මංගල්ලේ ළඟ නිසා ෆාදර් කොහෙන්දෝ තරුණ ඉලන්දාරියෙක් හොයාගෙන ඇවිත් තිබුණා.ඒ තමයි රිචඩ්.පල්ලියෙමයි නැවතිලා හිටියේ.පස්සේ දැනගත්ත හැටියට ෆාදර්ට නෑකමක් තියෙන මීගමුව පැත්තේ කෙනෙක්.එතකොට හැරියට්ට පහළොවකට වඩා නැහැ.රිචඩ් අවුරුදු අටක් විතර වැඩිමල්.ඒ තමයි හැරියට්ගේ ජීවිතේ හොඳම කාලය.කොන්වන්ට් එකේ ඉඳලා ආව ගමන්ම කෑවා නොකෑවා පල්ලියට දුවන්නේ ගීතිකා පුහුණු වෙන්නම නෙවෙයි කියලා මම්මා දැනගෙන හිටියේ නැහැ.
                   තලවිල මංගල්ලෙට,මඩු මංගල්ලෙට විතරක් නෙවෙයි මාතර පල්ලියේ මංගල්ලෙටත් කොටහේනෙන් යන කණ්ඩායමට එකතුවෙලා හැරියට්ලත් යනවා.රිචඩුත් ඔය ගමන්වලට එකතු වුණු දවස්වල තමයි දෙන්නගේ ප්‍රේමය මුහුකුරා ගියේ.මම්මට ඉව වැටිලා තිබුණත් පප්පා දැනගන්නකොට අවුරුදු තුන හතරක් ගතවෙලා.දැනගත්ක දවසේ පප්පා යකා නැටුවා.සම්බන්ධය නැවැත්තුවේ නැත්නම් ගෙදර හරියේ තුවක්කුවක් , පිස්තෝලයක් නැතත් රිචඩ්ට වෙඩි තියනවා කියලමයි කිව්වේ.
                හැරියට්ට තහංචි වැටුණා .ගීතිකා කණ්ඩායම තහනම් වූණා.ප්‍රේමයේ ලුණු රස හැරියට්ට විතරක් නෙවෙයි රිදඩ්ටත් හොඳට දැනුණා.රිචඩ්ට හරියට රස්සාවක්වත් ඉන්න තැනක්වත් නැති එක තමයි හේතුව විදියට කිව්වේ.
          රිචඩ් සංගීත කණ්ඩායමක ඕගන් ගහන්න ගියා .දෙවියන්ගේ ආශීර්වාදයෙන් රිචඩ්ලගේ සංගීත කණ්ඩායම රටේ ජනප්‍රිය වුණා.හොඳට වැඩ ලැබුණා.අන්තිමට පප්පගේ කැමැත්තත් ලැබුණා.
               කසාද බැඳලා පදිංචි වුණේ හැරියට්ගේ මහගෙදරමයි.රිචඩ් සංගීත කණ්ඩායම එක්ක රට වටේ ගියා.හැම රෑයකම ප්‍රසංගයක් වැරදුණේ නැහැ.ඒ ගැන වැඩිපුරම ආඩම්බර වුණේ පප්පා.බැඳලා අවුරුදු තුනකට විතර පස්සේ ටෙරන්ස් හම්බවුණා.
              පාටි එකකදි විතරක් ඩ්‍රින්ක් එකක් ගත්ත රිචඩ්ගේ බීම එක පාරටම වැඩිවුණා.මිනිස්සු බොන්නේ ප්‍රශ්න අමතක කරන්න කිව්වට රිචඩ් බිව්වේ ප්‍රශ්න නැතිකමටද කොහෙද.ඒ කාලේ රිචඩ් ගෙදර හිටියොත් පාටි.හැරියට්ටත් බලකරලා ටිකක් පෙව්වා.වයින් විතරක් බිබී හිටපු හැරියට්ට විස්කි බ්‍රෑන්ඩි රස වැටුණා.පප්පට කලින්ම පෙන්ෂන් යන්න වුණේ අසනීප වුණු නිසයි.සිරෝසිස් හැදෙනකොට පප්පට පනස් දෙකයි.ඒත් බීම නම් නැවැත්තුවේ නැහැ .ඉක්මනටම ස්වර්ගස්ථ වුණා .
             මේ පිරිමි දෙන්නම බිව්වයි කියලා ගෝරි දාගන්නේ නැහැ.බොන්න බොන්න හීලෑ වුණා.බීමට තිබුණු කැදරකම නිසාම රිචඩ් සංගීත කණ්ඩායමේ වැඩ මග ඇරියා.කොහොමත් සාමාජිකයෝ වයසට යනකොට ප්‍රේක්ෂක ආකර්ෂණයත් අඩුවේගන ගියා.අලුත් කණ්ඩායම් බිහිවුණා.පස්සෙ කාලෙක පොඩි හෝටලේක සති අන්තයේ  ඕගන් ගහන්න ගියා.
           පුංචි කාලේ ඉඳලම ටෙරන්ස්ට තිබුණේ රට යන පිස්සුව.හරියට ඉගෙනගත්තෙත් නැහැ.පවුලේ ආභාසයෙන් එන ඉංග්‍රීසි කතාව විතරයි සුදුසුකමක් විදියට තිබුණේ.පප්පගේ නෑයෙක්ගේ මාර්ගයෙනුයි ඉතාලි යන්න ලැබුණේ.ඒ ගමනට සල්ලි හොයාගත්තේ වත්තේ පිටිපස්සේ කෑල්ල විකුණලයි.

" තිබුණ නම් අද කීයයකට දෙන්න තිබුණු  ඉඩම් කෑල්ලක්ද?"
              හැරියට්ට හීල්ලුණා.
             ටෙරන්ස් ගියා ගියාමයි.මුල් කාලෙදි කතාකළා.සල්ලිත් කීයක්ද එව්වා.ඒත් රිචඩ්ගේ මරණයට වත් ආවේ නැහැ.
             දවසක් රිචඩ් ලේ වමනේ දාගෙන කාමරේ වැටිලා හිටියා.අවසාන කාලේ රිචඩ් කළේ මිනී බෑන්ඩ් එකක පියානෝ එකෝඩියන් එක ගහන එක.ඒකෙන් තමයි දෙන්නා යන්තම් ජීවත්වුණේ.අන්තිමට රිචඩ් එක්තැන් වුණා.ඒත් බීම නැවැත්තුවේ නැහැ.ගෙදර තියන වටිනා බඩු එක එක විකුණ විකුණ රිචඩ්ට බොන්න ගෙනත් දුන්නා.ඒ ආදරයට .බොන්න නැතිව රිචඩ් විඳින දුක බලා ඉන්න බැරිව.කැන්ඩ්ල් හෝල්ඩර්  පවා විකුණුවා.වටිනා දෙයකට ඉතුරු වුණේ සුරුවම විතරයි.

" ඔය තරම් ඉක්මනට රිචඩ්ට ස්වර්ගයට යන්න පාර කැපුවේ මමද?"
       හැරියට්ට වෙලාවකට හිතෙනවා.මම්මගේ කරමාලේ විකුණලා තමයි රිචඩ්ගේ මළගෙදර කටයුතු කළේ.ටෙරන්ස්ට දැන්නුවත් ඒ පණිවිඩය ලැබුණද කියලා ආරංචියක්වත් නැහැ.බෝඩිමට ළමයි ටික හොයලා දුන්නේ පල්ලියේ ෆාදර්.ෆාදර් තමයි ආණ්ඩුවෙන් ලැබෙන ආධාර මුදලකුත් හදලා දුන්නේ.
            රිචඩ්ගේ මරණෙන් පස්සේ හැරියට්ට රිචඩ් විතරක් නෙවෙයි තමන්වත් නැතිවුණා.මොන කරදර තිබුණත් ලස්සනට ඇඳලා ගෙදරටත් පොඩි මේකප් එකක් දාගෙන හිටපු හැරියට් කොහේදෝ හැංගුණා.ඇස් රතු වෙලා ඇස් යට කළු වෙලා ,කොණ්ඩේ තැන තැන සුදු වෙලා මූණ එල්ලා හැලෙන මේ ගැහැනිය හැරියට්ට වත් අඳුනන්න බැහැ.රිචඩ්ගේ අන්තිම කාලේ බොන්න ගෙනත් දුන්නේ හැරියට්.හැමදාම අරක්කු ගේන්න සල්ලි නැති නිසා අන්තිමට අන්තිමට ගෙනාවේ කසිප්පු.ගෙන්නගන්න කෙනෙක් හොයාගන්න නැති දවසට තැබෑරුම්, කසිප්පු පොළවල් හොයාගෙන යන්න හැරියට්ටම සිද්ධවුණා.
                දැන්නම් හැරියට්ට වයින් ටිකක්, විස්කි ටිකක් තියා අරක්කු ටිකක්වත් බොන්න ලැබෙන්නේ පරණ යාළුවෙකුගේ ගෙදර  පාටියකට කතාකළොත් විතරයි .ඉස්සර වගේ දැන් ගෙවල්වල පාටි දාන්නේ නැහැ.හෝටල්වල තියෙන ඒවට ආරාධනා ලැබුණත් තෑගි ගන්න හැරියට්ට හයියක් නැහැ.පරණ වෙච්ච ගවුම් සාරි ඇඳගෙන යන්නත් බැහැ.ඒ නිසාම අසනීපය පිට දාලා මග අරිනවා.දැන් හැරියට්ට බාර් එකට යන්න අමාරුයි.රාජුට කියලා කියලා තමයි ගෙන්නවගන්නේ.වෙන ත්‍රීවීලර් කාරයෝ නම් හයර් එක වගේ දෙගුණයක් ගන්න වෙලාවලුත් තියෙනවා.රාජු එහෙම කරන්නේ නෑ.හයර් එක විතරයි.
                  ජනවාරි පළවෙනිදා මාග්‍රට්ගේ ගෙදර ගිහින් ආවට පස්සේ හැදුණු බඩේ අමාරුව හොඳ වුණේ නැහැ.වමනෙ යන්නත් ගත්තා.අන්තිමට ලේ වමනේ යනකොට බෝඩිං වෙලා ඉන්න ළමයි දෙන්නෙක් තමයි ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.දොස්තරලා කියන්නත් ඉස්සෙල්ලම හැරියට් දැනගෙන හිටියා මේත් ඒ ලෙඩේමයි කියලා.හැරියට් එදාම හිත හදාගත්තා කලින්ම රිචඩ් ළඟට යන්න පුළුවන්වෙයි කියලා.
          ඉවසන්නම බැරි ඇටන්ඩන් ගෑනු කියන කතා තමයි.බීලා බීලා ලෙඩ හදාගෙන එනවා කියලා පැත්තකට දාලා තියනවා.
           ෆාදර් ගෙදරටත් ඇවිත් අවවාද කළා බොන්න එපා කියලා.

" බොන් නෑ " කියලා හිතුවත් රෑ වෙනකොට,අඳුර ගලනකොට, ලයිට් දානකොට උහුලගන්න බැරි තනිකමක් දැනෙනවා.එතකොට බොන්න හිතෙනවා.
             දැන් නොබී බෑ.ඇඟ වෙව්ලනවා.වමනේ යනවා.කන්න බැහැ.කීප පාරක්ම ඉස්පිරිතාලේ යන්න වුණේ කියන දේ නාහපු නිසයි.මේපාර බඩේ වතුර තිබිලා බට දාලා ඒවා අස්කළා.තමන්ට වැඩි කාලයක් නැහැ කියලා හැරියට්ටම තේරෙනවා.මැරෙන්න කලින් එක සැරයක් ටෙරන්ස්ව දකින්න ආසයි.
         හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.ඒ පාර රාජු කතාකළා.

" රාජු සනා මේ පැත්තේ එනවද?" හැරියට් ඇහුවේ බොහොම ආදරෙන්.

" මේක කරන්න බෑ ඇන්ටී.
ඔන්න මම නං ආයේ ගෙනත් දෙන්නේ නෑ.ඊයේ ෆාදර් හම්බවෙලා මට හොඳටම බැන්නා.හැරියට්ව මරාගන්නද හදන්නේ ඇහුවා."

" ප්ලීස් සනා, අදට විතරයි "

" බෑ,බෑ ඇන්ටී.මට ගෙදරිනුත් බනිනවා.    රාජු ෆෝන් එක කට් කළා.
               හැරියට් ඉඳගෙන කල්පනා කළා.නැගිටලා එහාට මෙහාට ඇවිද්දා.කාමරයට ගිහිං ගවුම මාරුකරගත්තා.සෙරෙප්පු දෙකට කකුල් ඔබාගන්න සටනක් කරන්න වුණා.ඒ තරමටම කකුල් ඉදිමිලා.අල්මාරිය ඇරලා ලාච්චුව අතගාලා අන්තිම පන්දාහේ කොළේ හොයාගත්තා .ඒකත් හෑන්ඩ් බෑග් එකට ඔබාගෙන දොරත් වහගෙන පාරට බැස්සා.එතකොට වෙලාව හයට ඇති.ඒත් හොඳටම අඳුරුයි
             ත්‍රී වීලර් පාක් එකේ නිහාල්ගේ එක විතරයි තිබුණේ.නිහාල් එක්ක සෙල්ලම් බැහැ .හයර් එකේ ගානයි බාර් එකෙන් බෝතලේ ගේනවට දෙසීයයි.ඒත් මොනවා කරන්නද? හැරියට් ඒකට නැග්ගා.
             බාර් එක ළඟ නවත්තපු නිහාල් බැහැලා ගිහින් බාගෙ බෝතලයක් අරගෙන ඇවිත් හැරියට්ට දුන්නා.ආපහු එද්දී හාන්දියෙන්ම බැස්සේ බයිට් එකට මොකුත් ගන්න හිතාගෙන.වඩේ කාරයගෙන් වඩේ කීපයකුත් අරගෙන අතකුත් උස්සගෙන හැරියට් සුදු ඉරෙන්ම පාර පැන්නේ දෙපැත්තත් හොඳට බලලයි.පාරේ මැදක් එනකොටම හැරියට් ළඟින්ම ඇස් කණකරන එළියක් මතුවෙනවා මතකයි.දඩස් ගාන සද්දය හැරියට්ටම ඇහුණා.
            සද්දේ ඇහිලා ත්‍රී වීලර් පාක් එකේ හිටපු රාජු දුවගෙන එනකොටත් සෙනග පිරිලා ඉවරයි.පොලිස් බයිසිකලයක් නවත්තලා රාලාහාමිලා දෙන්නෙක් බැහැලා ආවෙත් එතකොටමයි.
                 පාර මැද වීදුරු කටු.වඩේ වගයකත් හැමතැනම විසිරිලා තිබුණා.ඒ අතරින් සැර ගඳක් එක්ක  දියරයක් ගලාගෙන ගියා.

" වැඩක් නැහැ" රාලහාමිගේ කෙනෙක් කිව්වා

" බීපු ගෑනියෙක්ද කොහෙද" අනිත් රාලහාමි කිව්වා.
            
රාජු ගැහැනියගේ මූණට එබුණා.

" ඕ.... මුරුගා "
          රාජුට කියවුණා



අදහස් (0)

දුක දියකිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site