කවියකු, කෙටිකතා රචකයකු, නවකතාකරුවකු, විචාරකයකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම තීරු ලිපි රචකයකු ද වන තිඹිරියාගම බණ්ඩාර මහතා පාඨක විචාරක සමාජයේ සංවාදයට තුඩු දෙන කෘති රැසක් ලියා පළ කළ අයෙකි.
‘හෙළිදරව්වක්, රන්මසු, වෙසක් කුණාටුව, ගිනි සිසිල, රිදී දිය රැලි බිඳී’ වැනි කාව්‍ය කෘති ද ‘ගුරු ගෙදර බාලයෝ, සඳ එළියේ පිළිසඳර’ වැනි කෙටි කතා සංග්‍රහ ද ‘නොනිදන රැය’ වැනි නවකතා ද තිඹිරියාගම ගේ නිර්මාණාත්මක කෘති අතර කැපී පෙනේ. එසේම ‘අමුතු ඉලන්දාරියා සහ තවත් ලිපි, ශිෂ්‍ටාචාරයේ මීනි වළ කැපීම, යශෝදරාවත රසවින්දනය හා විචාරය’ වැනි විචාර කෘති මෙන්ම ‘බණ්‍ඩාගේ වාක්කිය, ගමේ විත්ති, මනස් සිතුවම, බුදුන්ගේ දේශය, පිබිදෙන සිත’ වැනි තීරු ලිපි සංග්‍රහ කෘති ද පාඨක-විචාරක සමාජයේ වඩාත් ජනප්‍රිය විය. ‘සොළොස්මාන ශාස්ත්‍රීය සඟරාව’ (සමසංස්කරණය චන්ද්‍රරත්න බණ්ඩාර) සහ ‘ඉන්ටවල්’ ළමා සඟරාව තිඹිරියාගම බණ්ඩාර මහතාගේ අලුත්ම නිර්මාණාත්මක දායකත්වය වේ. මෙවර සංවාදය ඔහු සමඟයි.
• සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරමින් කෘති රැසක් ලියා පළ කළ ඔබ සාහිත්‍යය සම්බන්ධයෙන් සිදු කරන නවතම මැදිහත්වීම ගැන දැනගන්න කැමැතියි?
“සොළොස්මස්ථාන’ කියන්නෙ සාහිත්‍ය විෂයට සීමා වූ ලිපි එකතුවක් සහිත ශාස්ත්‍රීය සඟරාවක්. දෙස් විදෙස් සාහිත්‍ය කෘති සහ ප්‍රවණතා තේමා කරගත් ශාස්ත්‍රීය ලේඛන රැසක් මෙහි ඇතුළත් වෙනවා. මෙතෙක් ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවට විමර්ශනයට ලක්නොවුණ විද්වතුන් සහ ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වය මතු පරපුරට හා වත්මනට කියාදීමත් මෙහි අරමුණක්.
‘ඉන්ටවල්’ හරහා මා උත්සාහ ගන්නේ දරුවන්ගේ දැනුම, රසවින්දනය සහ විචාරාවබෝධය දියුණු කිරීමයි. අපේ රටේ දරුවන්ට තම ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා පරමාදර්ශී චරිත හඳුන්වාදෙන පොත්පත්, සඟරා බහුල කළ යුතු කාලයක් මේක. බොහෝ විට අද කාලයේ දරුවන්ගේ මනසට එබිකම් කරන්නේ බොරු වීරයෝ. සැබෑ චරිත හඳුනා ගැනීමේ මගක් ඔවුන්ට නැහැ.
මහා යුද්ධයකින් පසුව මැක්සිම් ගෝර්කි තම හිත මිතුරු ලේඛක එච්.ජී. වේල්ස් ට ලියුමක් යවමින් ඉල්ලා සිටියේ ඔහුගේ රටේ විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනුණ විශිෂ්ටයන්ගේ කතා දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පළ කිරීමට එවන ලෙසයි. යුද්ධයෙන් මළකඩ කෑ දරුවන්ගේ හදවත සහ බුද්ධිය පෝෂණය කිරීම සඳහා ලොව පුරා ජීවත් වූ එබඳු මහා පුරුෂයන්ගේ කතා තම රටේ දරුවන් වෙනුවෙන් පළ කළ යුතු බව ගෝර්කි වේල්ස් ට කීවා.”
• මිනිසා සංකීර්ණ සහ අර්බුදකාරී සමාජයකට හුරු වී සිටින මේ කාලයේ ප්‍රබල ශාස්ත්‍රීය සංවාදයක අවශ්‍යතාව ඔබ නිතර මතු කරන්නේ කවර හේතු පදනම් කොටගෙන ද?
“බොහෝ විට අපේ අවධානය යොමු වන්නේ දේශපාලන හා සමාජ සංස්ථාවල ගරාවැටීම දෙසටයි. ඊට සමාන්තරව විශාල බුද්ධිමය පරිහානියක් තිබෙනවා. ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රවල ප්‍රගමනය සඳහා ලැබෙන සහයෝගය මදි. ශාස්ත්‍ර බුද්ධි පරිහානිය සමාජයේ පදනම් දෙදරීමට බලපාන කරුණක්. සමාජ අවිචාරය මුල් බැසගන්නේ එවිටයි. මිථ්‍යාව මුල් කරගත් සමාජ අගතීන් ඔඩු දුවන්නේ එවිටයි.
පනහ හැටේ දශකවල උගත් මධ්‍යම පන්තිය මීට වඩා විචාරවත් එකක්. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. මුදල් සහ සමාජ බලය පසුපස දුවන ඉහළ සහ පහළ මධ්‍යම පන්තිය අපේ රටේ බුද්ධි පරිහානියේ එක් ප්‍රතිඵලයක්. අපේ රටේ උසස් අධ්‍යාපන ආයතනවලින් සෑහීමකට පත්විය හැකි ශාස්ත්‍රීය කතිකාවක් මතුවන්නේ නෑ. මේ සමාජ සංස්කෘතික අර්බුදය තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමයි කළ යුත්තේ. කොහොමත් මේ සමාජය හරි මඟට ගත හැක්කේ ශාස්ත්‍රීය ප්‍රබෝධයකින් පමණයි.”
• ඔබ මීට දශක කිහිපයකට පෙර පැවැති ශාස්ත්‍රීය ප්‍රබෝධය ගැන මතු කළා. ඒ ප්‍රබෝධයට ශාස්ත්‍රීය සඟරා රැසක් බලපෑවා නේද?
“යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, කුමාරතුංග මුණිදාස, ඩබ්ලියු.ඒ. සිල්වා, ජුලියස් ද ලැනරෝල් වැනි අය ඒ සඳහා ප්‍රබල දායකත්වයක් සැපැයූ බව මතක් කරන්න පුළුවන්.
මේ අය සංස්කරණය කළ සඟරා සමාජ දේශපාලන කතිකාවක් ඇති කිරීම සඳහා බලපෑවා. යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් සංස්කරණය කළ ‘කාලය’ සඟරාව හොඳ නිදසුනක්. වල්පොළ රාහුල හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි වැනි පැවිදි උගතුන්ගේ ලේඛන තියුණු සමාජ, දේශපාලන දැක්මකින් යුක්ත වුණා. ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී මාර්ටින් වික්‍රමසිංහ විශේෂ ත්‍යාගයක් ලැබුවේ ‘රසවාහිනී’ සඟරාවට ඔහු ලියූ ‘බමුණු කුලයේ බිඳ වැටීම’ ලිපියටයි. වික්‍රමසිංහයන් සඳහන් කළ බමුණු කුලය වෙනත් මුහුණුවලින් හිස එසවූ නමුත්, ඒ ලිපිය වැදගත් කතිකාවකට මුල පිරුවා.
ජුලියස් ද ලැනරෝල්ගේ ‘ගුරුකුල’ සඟරාවත් අගනා සාර සංග්‍රහයක්. විද්‍යොදය සරසවියෙන් නිකුත් වූ ‘විදුලකර’ සහ විවිධ කතුවරුන් විසින් සම්පාදිත සාධනා, ධාරා, වීමංසා, සංස්කෘති, පාඨකයා, මාවත, දෙසතිය, කල්පනා, විදර්ශී, සාම විමර්ශී වැනි නොයෙකුත් සඟරා මේ රටේ ශාස්ත්‍රීය කතිකාව පෝෂණය කිරීමට දායක වී තිබෙනවා. මේවා විචාරවත් පාඨකයන් පිරිසක් බිහි කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.
මෙම ලේඛන විශාල සමාජ පෙරළියක් ඇති කිරීමට බලපෑවා යැයි කීමට මා ඉක්මන් වන්නේ නෑ. ඒත් 70 දශකය තෙක් අපට හඳුනාගත හැකි බුද්ධි සම්ප්‍රදායක් මෙරට තිබුණා නම් එම සම්ප්‍රදාය පෝෂණය කිරීම කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් මේ සඟරාවලින් ලබා දී තිබෙනවා.”
• සමාජයක ශාස්ත්‍රීය ශික්ෂණය ඇති කිරීම සඳහා අධ්‍යාපන, සංස්කෘතික අංශවල වගේම දේශපාලකයන්ගේ ද වගකීමක් බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. ලංකාවේ වර්තමානයේ මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොම ද?
“වත්මන් තත්ත්වය ගැන සතුටු වෙන්න බෑ. මෙහිදී මැදිහත් විය යුතු අංශ නිද්‍රාශීලීයි. උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්වය කනගාටුදායකයි. ශාස්ත්‍රීය පර් යේෂණ සඳහා යැයි කාලය සහ ප්‍රතිපාදන වෙන් කරගෙන එතෙර රටවල නිකම් කාලය ගත කරලා ආපහු එන සමහර උගත්තු ඉන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනවලින් කටපාඩම් කරන ගිරවුන් මිස පර් යේෂකයන් බිහි කරන්නේ නැහැ.
තම උපාධි නිබන්ධන සඳහා තේමා තෝරා ගැනීමට අප හමුවට එන ශාස්ත්‍ර ගවේෂකයන් ඉන්නවා. ඔවුන්ට අලුත් තේමාවක් හඳුන්වා දුන්නාම ආචාරයවරුන් ඒවා ප්‍රතික්ෂේප කරන අවස්ථා බහුලයි. ඔවුන් යල්පැන ගිය මාතෘකාවලටයි වැඩි තැනක් දෙන්නේ. ඒ වගේම ශාස්ත්‍රීය කෘති පළ කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා මදි.”
• වාමමාදී, භෞතිකවාදී ස්ථාවරයක හිඳිමින් ඔබ කලක සිට කටයුතු කළ කෙනෙක්. ඒත් ඔබේ මතවාද පොත්පත් ඇතුළු ලේඛන සමාජයේ දෘෂ්ටිමය වෙනසක් ඇති කිරීමට හේතු වුණා යැයි සතුටු වෙන්න පුළුවන් ද?
“යම් නිශ්චිත අරමුණක් ඇතිව දිගු කලක් ඒ වෙනුවෙන් කටයුතු කරන අයකු ඇතැම් විට කලකිරීමට පත්වන අවස්ථා තිබෙනවා. ඒත් අරමුණ යහපත් නම් උත්සාහය අත්හළ යුතු නැහැ.
මගේ ලේඛන හරහා මා බලාපොරොත්තු වන මට්ටමේ දෘෂ්ටිමය වෙනසක් සමාජයෙහි ඇති වුණා යැයි සිතන්න බෑ. ඒත් ලේඛන දේශන සහ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ අප කළ කටයුතුවල සාධනීය ප්‍රතිඵල හමුවන අවස්ථා තිබෙනවා. අලුතින් හිතන මතන පිරිස් හමුවෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආචාර්ය කොවුර්ගෙන් පසුව හේතුවාදී ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා පැරැණි සාමාජිකයන් ද සමඟ නව කතිකාවක් ඇති කිරීමට අපි දායක වුණා.
හිතන තරමේ දෘෂ්ටිමය වෙනසක් නොවීම කෙරෙහි බලපා ඇති එක් පාර්ශ්වයක් නියෝජනය කරන්නෙ ඇතැම් උගතුන් සහ කලාකරුවන්. රැල්ල යන්නෙ අවිද්‍යාව පැත්තට නම් ඒ පැත්තටම හේත්තු වී ශාස්ත්‍ර බුද්ධි සම්ප්‍රදාය පිරිහෙළීමට ඔවුන් දායකවන්නේ අවස්ථාවාදය නිසයි.”
• ලංකාවේ වත්මන් සාහිත්‍ය සංවාදය ගැන මොකද හිතන්නෙ?
“වත්මනේ ගැඹුරු සාහිත්‍ය සංවාදයක් ඇතැයි කීම අපහසු වුණත් තම ශක්ති මට්ටමින් කැප වී වැඩ කරන ටික දෙනෙක් ඉන්නවා. ස්වාධීන විචාර කලාවක් ගොඩනැගී නැති නිසා බොහෝ විට නිර්මාණකරුවන්ටම විචාර වගකීමක් පැවැරී තිබෙනවා. විචාරය වෙනුවෙන්ම කැපවූ පුහුණු විචාරකයන් නොමැති තරම්. ඒකෙ ලොකු වරදක් කියන්නත් බෑ. ලොව කොයි රටකත් නිර්මාණය සහ විචාරය දෙකම කරන අය ඉන්නවා. හැබැයි ස්වාධීන විචාර කලාවක් ගොඩනැගීම සඳහා එය බාධාවක්.
අතීතයේ තිබූ තරමේ ගුරුකුල ප්‍රශ්නයක් නම් නෑ. හැබැයි තමන් අනුදත් සාහිත්‍ය විලාසයන්ගෙන් වෙනස්ව සාහිත්‍යකරණයේ යෙදෙන අය සහ ඔවුන්ගේ කෘති ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. එය ඒ තරම් හොඳ දෙයක් නොවෙයි.
පොත පතට සීමා වී තිබූ විචාරය නූතන තාක්ෂණය අනුව සමාජ මාධ්‍ය මගිනුත් කෙරෙනවා. ඒක සාධනීය ලක්ෂණයක්.”
• අද අප සියල්ලන් සිටින්නේ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්වූ සමාජයක. එබඳු සමාජයක් තුළ ලේඛකයන්ට, කලාකරුවන්ට පැවැරී ඇති වගකීම කෙබඳු ද?
“කොරෝනා වසංගතය මුළුමහත් මානව සංහතියම අනතුරේ හෙළා ඇති අවස්ථාවක්. හැම මිනිසකුගේම සිතෙහි අවිනිශ්චිත බවක් ඇති වෙලා. ලේඛකයාටත් එයින් මිදෙන්න බෑ.
මහාමාරිය රෝගය අලුත්ම සාහිත්‍යයක් බිහිවීම කෙරෙහි බලපෑවා. කොරෝනා රෝගය නිසාත් එවැනි සාහිත්‍යයක් බිහිවෙමින් තිබෙනවා. සාහිත්‍යකරුවාගේ පැත්තෙන් ගත්තොත් කොරෝනා නිසා ඇති වී තිබෙන ශිෂ්ටාචාරයේ අර්බුදය හොඳ සාහිත්‍ය මූලාශ්‍රයක්. මෙය ඉබේ ඇති වූ දෙයකට වඩා මානව ක්‍රියාකාරකම්වලට ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. එමෙන්ම එක් පැත්තකින් මේ හරහා ලෝක ධනවාදයේ අර්බුදය ද මතු වී පෙනෙනවා. මෙහිදී ලේඛකයා සතු වගකීම් පුළුල් වෙනවා.
තවත් පැත්තකින් බැලුවොත් ලේඛකයන්ට, කලාකරුවන්ට මේ වෙලාවෙ තියෙන ප්‍රධාන වගකීමක් තමයි බිඳුණු හිත් හදන එක. ප්‍රිය වචනයෙන්, ආත්ම පරිත්‍යාගයෙන්, සමාජ සත්කාරයෙන් එය කළ හැකියි. මහා සාගතය වෙලාවෙ ඇන්ටන් චෙකොෆ් නම් මහා ලේඛකයා වෙද නළාවක් අරන් පාරට බැස්සෙ මුලින් කී සියලු ගුණ මතු කරමිනුයි.”
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සාහිත්‍ය ක්ෂේත්‍රය අද වඳ පීදිලා වගෙයි