IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට කරවන තැනින් ආදර්ශයක් ඕනෑ

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ සහ වංචා සම්බන්ධව චෝදනා එල්ලවන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව විසින්ම සකස් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මේ යෝජනාවේ වැදගත්කම එය කැබිනට් අමාත්‍යවරයකු විසින්ම ඉදිරිපත් කරනු ලැබීමය. ගොවීන්ට කෘෂි උපකරණ ලබාදීම සඳහා පැවැති උත්සවයකදී මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.

මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බව මුලින්ම සඳහන් කළ යුතුය. පාර්ලිමේන්තුවේ පවතින විවාදවල දී පසුගිය දිනවල වඩාත්ම අසන්නට ලැබුණු වචන කිහිපයක් වූයේ සොරකම්, දූෂණ සහ වංචා පිළිබඳවය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ දිනවල එකිනෙකාට බැණවදින අවස්ථා, එක් එක් අය තම තමන්ගේ සාක්කුවල තිබෙන මඩ තලි අතට ගෙන අනෙක් පැත්තට දමා ගසන ආකාරයක් පෙන්නුම් කළේය.

මඩ ගසා ගැනීම්වලින් මුළු පාර්ලිමේන්තු ක්‍රියාදාමයටම එල්ලවන්නේ ප්‍රබල අභියෝගයකි. එක් අතකින් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් එහි ගෞරවයට බරපතළ හානියක් සිදුවෙයි. ඒ අතරේ අරූ හොරා මූ හොරා යනුවෙන් ඇසෙන කෑගැසීම් හේතුවෙන් එම හානිය තවදුරටත් තීව්‍ර වෙයි. මෙය කොතැනින් හෝ නැවැත්විය යුතුය.

පාර්ලිමේන්තුවේ ගෞරවය හෑල්ලු කෙරෙන මේ තත්ත්වය පිටුදැකීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ යෝජනාව හොඳ ප්‍රතිකර්මයකි. හොරකම්, දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා එල්ල කරන අවස්ථාවල ඒ බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ද සභාගත කිරීම හරහා මේ ක්‍රියාදාමයට ප්‍රවේශයක් ගත හැකිවනු ඇත. පාර්ලිමේන්තුව මගින්ම ඒ සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමෙන් මේ ක්‍රියාදාමය ඉක්මන් කරගත හැකිවනු ඇත. එවිට චෝදනා ඔප්පු වුවහොත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීම ක්‍රියාත්මක කළ හැකිවනු ඇත.

එහෙත් මේ අදහස සහ යෝජනාව ලංකාවේ පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සමඟ ගලපාගත් විට පෙනීයන්නේ එය නොකෙරෙන දීගයක් බඳු ක්‍රියාවලියක් බවය. මේ රට අද පවතින ආර්ථික අර්බුදයට ඇද දැමීමේ එක් මූලික සාධකයක් වූයේ රටේ ඉහවහ ගිය දූෂණය සහ වංචාව බව නොපිළිගන්නා කෙනකු නැත.

එසේ නොපිළිගන්නට කෙනෙකු සිටී නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම විය යුතුය. මේ වංචා සහ දූෂණ විෂම චක්‍රයේ බොහෝ මන්ත්‍රීවරු කොටස්කාරයෝ වෙති. එයට ආණ්ඩු පක්ෂ විපක්ෂ කියා භේදයක් නැත. වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල්ලවෙන විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයට කරණමක් ගැසීමෙන් එයින් ගැලවී යා හැකි තරමට අපේ රටේ නීතිය නම්‍යශීලීය.

එහෙම නීති හදාගැනීමට අත ඉස්සූ මන්ත්‍රීවරුන්ට තමන් දූෂකයකු බවට චෝදනා ඔප්පු වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කර ගැනීමට බලය දෙන යෝජනාවකට අත ඔසවනු ඇතැයි බලාපොරොත්තු තැබීමත් නිෂ්ඵලය. අමරවීර අමාත්‍යවරයාගේ යෝජනාව ඉතා යහපත් නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම අපේ රටේ ‘‘සිස්ටම්’’ එකත් සමඟ සිහිනයක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වංචා සහ දූෂණ චෝදනා මෙන්ම විනය පිරිහීමේ චෝදනාද බරපතළ ගැටලු මතුකර තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළදී විපක්ෂ නායකවරයාගේ අතේ තිබූ කතාවේ පිටපත සහිත ලිපිගොනුව පොහොට්ටු මන්ත්‍රීන් පිරිසක් පැහැරගෙන යාමද ඊට සති කිහිපයකට පෙරදී සජබ මන්ත්‍රීවරයකු සෙංකෝලයට අත තැබීම වැනි ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනයද පොදු මහජනතාව අතර ප්‍රබල විවේචනයකට හසුවිය.

මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ මන්ත්‍රීවරියක අතර සිදුවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන්ද විනය පරීක්ෂණ පැවැත්වෙයි. මෙය කිසිසේත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය පවත්වාගෙන යාමට හිතකර තත්ත්වයක් නොවේ. විනය විරෝධීව හැසිරුණු මන්ත්‍රීවරුන් 09 දෙනකුට එරෙහිව පැමිණිලි 06 ක් ලැබී ඇති බවත් ඒ පිළිබඳ විනය පරීක්ෂණ විශේෂ ප්‍රමුඛත්වය ලබාදී ඉක්මනින් අවසන් කරන ලෙසට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටු සභාපති චමල් රාජපක්ෂ මහතාට කථානායකවරයා දැනුම්දී තිබෙන බවත් සඳහන් වේ. ජනතාවට නීති හදන පාර්ලිමේන්තුව මේ තත්ත්වයට මුහුණදීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ කනගාටුවකට වඩා ලජ්ජාවකි.

(***)



අදහස් (3)

රට කරවන තැනින් ආදර්ශයක් ඕනෑ

sisira Thursday, 30 November 2023 05:26 AM

එම යෝජනාවේ නොමැති දෙයක් නම් මන්ත්‍රීවරයකු/ අමාත්‍යවරයකු විසින්ම නොව ඔවුන්ගේ පවුලේ සමීපතමයින්, ඥාතීන් විසින් කරන ලද සොරකම්, දූෂණ සහ වංචා සම්බන්ධව චෝදනා එල්ලවන්නේ නම් ඍජුව හෝ වක්‍රව ඔවුන් බේරාගැනීමට දේශපාලකයින් මැදිහත් වීමට වගකියන්නේ කවුද...?

:       0       1

anta Thursday, 30 November 2023 09:38 AM

ඇයි ලංකාවේ නීතියට අනුව වැරැදි කරුවෙකු වි ඇත්නම් ඒ ගොල්ලොත් මන්ත්‍රී ධුරය අහෝසි කළයුතුයි.

:       0       1

Perera Thursday, 07 December 2023 04:42 AM

එහෙනම් ජනාධිපතිගෙන් පටන් ගනිමු මහබැංකු හොරකම ගැන විමර්ශණයක් කරලා.. මේවා නිකන් බොරු සද්දේ විතරක් තියෙන ක්‍රියාවට කිසිදා නැගෙන්නේ නැති කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site