IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්දපෝෂණය පිටුදැකීමට ඉක්මනින් පිළියම් යොදමු

 

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වෙමින් තිබේ. එක් වාර්තාවකින් දැක්වෙන්නේ ශ්‍රී ලාංකික දරුවන්ගෙන් සියයට 15.1ක් මන්දපෝෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බවය. එය ආසියානු කලාපයේ මන්දපෝෂණයට ගොදුරු වූ එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රතිශතය වන සියයට 8.9ට අනුව ඉහළ අගයකි. එසේම ගෝලීය වශයෙන් සැලකීමේදී ද ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය පවතින්නේ ඉහළ මට්ටමක බවද පෙනී යයි.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ අවුරුදු 05ට අඩු ළමයින් මෙන්ම කාන්තාවන්ද ලක්ෂ 10කට ආසන්න පිරිසක් මන්දපෝෂණයට ගොදුරුව සිටින බවට සමීක්ෂණයකින් හෙළිවී ඇති බවය. සංඛ්‍යාලේඛන අනුව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් පිරිස 300,746කි. කාන්තාවෝ 671,142ක්ද මේ තත්ත්වයෙන් පීඩා විඳිති. පළාත් අනුව සැලකීමේදී වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ආදායම ප්‍රමාණවත් නොවීම, ආහාර ලබාගැනීමට තිබෙන දුෂ්කරතා, නුසුදුසු ආහාර ගැනීමේ පුරුදු සහ විවිධ කායික සහ මානසික ගැටලු‍ මන්දපෝෂණයට ප්‍රධාන හේතු වශයෙන් දැක්වෙයි. ශ්‍රී ලාංකික දරුවන්ට මේ අතුරින් වඩාත්ම බලපා තිබෙන්නේ ආදායම පහළ බැසීම බව හඳුනා ගැනීම අපහසු නැත. ඒ සමඟ ආහාර ලබාගැනීම දුෂ්කර වීම බලාපොරොත්තු විය යුතුය.

මෙරට මන්දපෝෂණ තත්ත්වය සැලකීමේදී වඩාත් විශ්මය දනවන කාරණය වන්නේ බස්නාහිර පළාතෙන් වැඩි පිරිසක් වාර්තා වීමය. ජනගහනය අතින් වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු වන්නට ඇතැයි කිව හැකි වුවද ආර්ථික වශයෙන්ද වඩාත් ඉදිරියෙන් සිටින්නේත් බස්නාහිර පළාතය. එවැනි තත්ත්වයකදීත් මන්දපෝෂණයෙන් පීඩා විඳින වයස අවුරැදු 05 ට අඩු දරුවන් අධික සංඛ්‍යාවක් බස්නාහිරෙන් වාර්තා වන්නේ කෙසේදැයි සොයා බැලීම අවශ්‍යය.

මන්දපෝෂණ තත්ත්වයට රටේ ආර්ථික අර්බුදයේ බලපෑම තදින්ම හේතු වී ඇති බව මේ අනුව පැහැදිලිය. මේ අර්බුදය සමඟ රටේ ජනතාවගෙන් බහුතරයකට තමන් ගෙවමින් සිටි එදිනෙදා ජීවිතය අහිමි විය. එහි උපරිමය වූයේ දිනකට ගන්නා ප්‍රධාන ආහාර වේල් සංඛ්‍යාවද සීමාවලට කොටුවීමය. එහිදී වඩාත්ම පීඩනයට මුහුණ දුන්නේ දරුවන් බව නොරහසකි.

මවුපියන්ට ආහාර ලබාගැනීම දුෂ්කර වෙද්දී එය දරුවන්ට බලපාන බව අප දන්නා සත්‍යයයි. එසේ ලබාගන්නා ආහාරද ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යනවිට අවසානයේ ඇතැම් දරුවන්ට ආහාර අහේනිය හේතුවෙන් පාසල් කාලය තුළදී කලන්තය සෑදුණු බවත් වාර්තා විය. එහිදී දේශපාලනඥයන්ගේ නම් පිළිතුර වූයේ එවැනි දෙයක් තමන්ගේ බල ප්‍රදේශවල පාසල්වල සිදු නොවූ බව කීම පමණි. එහෙත් එවැනි පාසල්වල ගුරු දෙගුරුන් එකතු වී පාසල්වල ආහාර පෙට්ටි නම් සංකල්පයක් ගොඩනංවාගෙන කන්න නැති දරුවන්ට හැකි පමණ ආහාර පාර්සල් සකස් කර ලබාදෙන තුරු සමහරුන්ගේ ඇස් ඇරුණේ නැත. දැන් එවැනි තත්ත්වයක් නැති වුවද මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරුවලින් පෙනෙන්නේ මන්දපෝෂණයට හේතුවන සෙසු කාරණා කෙසේ වුවත් අපේ රටේ ආහාර අහේනිය එකී තත්ත්වයට වඩාත්ම හේතු වී තිබෙන බවකි.

මේ අප දකින්නේ ආර්ථිකය කඩා වැටී වසරක් ඉක්ම යන කාලසීමාවේදී ඇතිවී තිබෙන තත්ත්වයකි. මේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍යය. සමෘද්ධිය, අස්වැසුම වැනි දිළිඳුකම දුරලන වැඩසටහන් තිබියදී පවා මෙසේ මන්දපෝෂණ තත්ත්වයක් පිළිබඳ කරුණු හෙළිවීම එක් අතකින් කනගාටුවට කරුණකි. රටේ ආධාර අවශ්‍යම වන ඉතා පහළම ස්ථරයේ සිටින අන්ත දිළිඳු පිරිසකට ප්‍රමාණවත් ජීවන ආධාරයක් නොලැබීම මෙයට හේතුව දැයි සොයා බැලිය යුතු නොවේද?

රජයේ පමණක් නොව විපක්ෂයේද අවධානය මේ බරපතළ ගැටලු‍වට පිළියම් යෙදීම සඳහා යොමුවිය යුතුය. මන්දපෝෂණය දේශපාලන සටන් පාඨයක් කරගත යුතු නැත.

(***)



අදහස් (0)

මන්දපෝෂණය පිටුදැකීමට ඉක්මනින් පිළියම් යොදමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site