IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදු තොරතුරු පිටවීම වැළැක්විය නොහැකිද?

සීනි කොතරම් පැණි රස වුවද පසුගිය දිනවල සීනි සම්බන්ධයෙන් ඇසුණේ තිත්ත කතාවකි. සත 25කට තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් ඒ බදු වැඩි කිරීමට මුවා වී සීනි ආනයනකරුවන් කිහිප දෙනකු රුපියල් කෝටි ගණනින් අයුතු ලාබයක් ලැබූ බවත් ඒ තිත්ත කතාවට පදනම් වී තිබිණි. මේ ආකාරයේම තිත්ත සීනි කතාවක් මීට පෙරද අනාවරණය විය. ඒ ගනුදෙනුවෙන් බඩ කට පිරෙන්නම අයුතු ධනයක් උපයා ගත් වෙළෙඳුන් පිරිසකගේ නම්ගම්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. මෙවර වෙනසකට ඇත්තේ එවැනි අයුතු ලාබ ලැබූ පිරිස තවමත් රහසිගතව සිටීම පමණි.

මෙවැනි මහා පරිමාණ දූෂණ ක්‍රියා සිදුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ බදු සම්බන්ධයෙන් රජය මගින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ තොරතුරු කල් තබාම මේ රටේ ව්‍යාපාරික ජාලය අතට පත්වීමය. මේ බව අනාවරණය කර ඇත්තේද අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මහතා විසිනි. සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙර ව්‍යාපාරිකයන් අතට පත්වූයේ කෙසේදැයි මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රශ්න කර තිබිණි. බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් පමණක් බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්දැයි සහ මේ පිළිබඳ තොරතුරු එළියට ලබාදුන්නේ කවුදැයි සොයාගැනීමට අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය අපිදු අනුමත කරමු. වංචනික ක්‍රියා සහ දූෂණ සිදුවීම වැළැක්වීමට නම් ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී සිටින ජාවාරමුන් අතට රහස්‍ය, සංවේදී තොරතුරු ලැබීමට වැට බැඳිය යුතුය. එහෙත් එය ප්‍රායෝගික නොවන හුදු කල්පිතයක් පමණක් බවද ඒ සමඟ පෙන්වා දිය යුතුය. මහා පරිමාණයෙන් බදු වංචා සිදුකරන ව්‍යාපාරික ජාලය මේ රටේ දේශපාලන සංස්කෘතිය සමඟ පවත්වාගෙන යන්නේ ප්‍රබල සබඳතාවකි. මීට කලින් වතාවේ සිදුවූ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපාරිකයකුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු නොකෙරෙන්නේ එම සංස්කෘතියේ මහිමය හේතුවෙනි. එම අවස්ථාවේද බදු වංචාවට ඇතැම් දේශපාලනඥයන්ගේ තිබූ ගජමිතුරු සබඳතා පිළිබඳ හෙළිදරව් විය. එහෙත් ඒ ගැන සෙවීමට කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය. මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙවර කතා කරන අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවට වන පරීක්ෂණයටද ඊට වඩා වෙනස් ඉරණමක් අත්වීමට ඉඩක් නැත.

වංචා සහ දූෂණ ක්‍රියා වැළැක්වීමට ඉහළින්ම ආදර්ශය පැමිණිය යුත්තේ ආණ්ඩුවේ බලධාරීන්ගෙනි. ඒ සඳහා දූෂණ ක්‍රියා වැළැක්වීමේ පනත සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම පනතේ වගන්ති ක්‍රියාත්මක කිරීමටද අප්‍රමාදව පියවර ගත යුතුය. එහෙත් නීති රීතිවල පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළදී අල්ලස් හෝ දූෂණ පනත යටතේ නඩු පැවරීමක් සිදු වී නොමැති බවද සඳහන් වෙයි. මේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමකින් තොරව කුමන ආකාරයක හෝ පරීක්ෂණයක් පැවැත්වීම ඵල රහිතය. ඒවා නිරපරාදේ මහජන මුදල් නාස්තිවීමක් පමණි.

කුමන තත්ත්වයක් යටතේ වුවද සීනි බදු වැඩි කිරීමේදී බරපතළ වංචාවක් සිදුවී ඇති නම් ඒ පිළිබඳව සෙවීමට විමර්ශනයක් පැවැත්වීම අවශ්‍යය. වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීම කෙසේ වෙතත් අඩුම තරමින් ආණ්ඩුව ඇතුළේ බදු තොරතුරු පිටට යාම වළක්වා ගැනීමට හෝ එය උපකාරයක් වනු ඇත.

(***)



අදහස් (0)

බදු තොරතුරු පිටවීම වැළැක්විය නොහැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31321 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13534 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site