ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේදී කළ දෙසුමක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
මහානාම හාමුදුරුවො, මහාවංශයෙ තමන් වහන්සේ ලියාපු කොටස අවසන් කරන තිස්හත්වැනි පරිච්ඡේදයේ පූර්වභාගය නිමාවට ගෙනෙන්නේ, මහසෙන් රජ්ජුරුවන් ගැන ලියන මෙම ගාථා පාඨයෙන්
“ඒවං පුඤ්ඤමපුඤ්ඤංච, සුබහුං සෝ උපාචිනීති” කියාය.
ඒ කියන්නේ, මහසෙන් රජු පින් පවු දෙකම රැස් කළ බවයි.
මහින්ද චන්ද්‍රසේකර “වාපි” නමින් නවකතාවක් ලියන්නෙ, පින් පවු දෙකම එක්රැස් කළ ඒ මහසෙන් ගැන.
නමෝවිත්තියෙන්ම කිය යුතු කාරණය. මේ නම්, ඓතිහාසික නවකතාවක් බවයි. ඒ නිසා මෙතැනට ඉතිහාසය කියන කාරණය ඉතාම අවශ්‍ය වෙනවා. “එසේ සිදු වූ වග කියන එකයි ඉතිහාසය” කියලා කියන්නේ, මෙතැනදී ඉතිහාසය නිර්වචනය කරන්න මම තෝරාගන්නේ ඉතිහාසඥයෙක් නෙමයි. අපේ ලෝකයේ බිහි වුණු මහම නවකතාකරු වන ලියෝ තොල්ස්තෝයි. තොල්ස්තොයිට ඉතිහාසය ගැනත්, ඉතිහාසඥයන් ගැනත්, ඉතිහාසයට නිර්වචන දෙන සියලුම පඬිවරුන් ගැනත්, කියන්ට ඇත්තේ අමුතුම කතාවක්.
මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය විසින් අපගේ ලෝකයට බිහි කරන ලද මහම ලේඛකයා වන ලියෝ තොල්ස්තෝයි, ස්වකීය මහගත වන යුද්ධය හා සාමය (1865 – 1869) නමැති නවකතාවෙහි කරන අපූර්ව විචිත්‍රවත් චරිත නිරූපණයට අමතරව, ඉතිහාසය පිළිබඳ තම මතය හෙවත් මතවාදය දීර්ඝ විමර්ශනයකට - විවරණයකට - භාජන කරනවා. මහා ලේඛකයා ස්වකීය මහා නවකතාවේ ද්විතීය භාගයෙහි එන රචනා කිහිපයක් මගින්ම, ඉතිහාසය පිළිබඳව පොදු නියාම පද්ධතියක් ස්ථාපනය කිරීමේ ඉතිහාසඥයන්ගේ වෑයම, දැඩි සමච්චලයට ලක් කරනවා. තොල්ස්තෝයිගේ එකී සෝපාහාසාත්මක, එතෙකුදු, අතිශයින්ම විචක්ෂණ මතවාදය සාරාංශ කොට දැක්වීම ඉතාම අසීරුයි. ඓතිහාසික අඛ්‍යාන (historical narratives) පිළිබඳ පිළිගත් සියලු නියාම ප්‍රතික්ෂේප කරන ඔහුගේ මතය නම්, යුද්ධය මෙන් ම ඉතිහාසය ද, අවශ්‍යයෙන්ම දෛවෝපගත ප්‍රතිඵලයක් බවයි. ඉතිහාසයට කිසිදු දිශානතියක් නැතැයි කියන තොලිස්තෝයි, එය කිසියම් නිශ්චිත මෝස්තරයක් තුළ ගොනු කරනු නොහැකි යැයි ද පවසනවා. ඓතිහාසික සිද්ධීන් පිළිබඳ හේතු සාධක අතිශයින්ම විවිධාකාරයි. හැම කල්හිම ඒ හේතු සාධක, දත නොහෙන කාරණා ද වනවා. එසේ හෙයින් අතීත කාලය පහදා දෙතැයි කියන ඓතිහාසික ලේඛනය, අවශ්‍යයෙන්ම කරන්නේ ඒ අතීතය බොරු කිරීමක් පමණකැයි ඔහු සාවඥ ස්වරයෙන් අඟවනවා.
ඉතිහාසය මෙහෙයවන්නේ - ගොඩනගන්නේ - ශ්‍රේෂ්ඨ මිනිසුන්, ජෙනරාල්වරුන්, දේශපාලන නායකයන් සහ (තමන් වැනි) බුද්ධිමතුන් යයි කියන ඉතිහාසඥයන්ට තොල්ස්තෝයි සිනාසුණා.
ඇත්ත වශයෙන්ම ඉතිහාසය නිර්මාණය වන්නේ, ස්වකීය ක්‍රියාවන් ලේඛනගත කරන්ට තරම් වැදගැම්මක් නැත්තා වූ සාමාන්‍ය මිනිසුන් විසින් ගනු ලබන අනන්ත සංඛ්‍යාවක් වන සුළු තීරණවලින්. ගරු ගාම්භීර සිද්ධිවලින් ඉතිහාසය නිර්මාණය වෙතැයි සැලකීම, දුර ඈත සිට තුරු මුදුන් රැසක් දුටු මතින්, ඒ මුළු පෙදෙසෙහිම ඇත්තේ ගස් පමණකැයි තීරණ කරන්නාක් වැනි යැයි, තොල්ස්තෝයි පෙන්වා දුන්නා.
මා කල්පනා කරන හැටියට, වාපි නවකතාව ලියන මහින්ද චන්ද්‍රසේකර වුණත්, කිසියම් පමණකට තොල්ස්තෝයිගේ ඒ අදහස සමඟ එකඟ වන බවක් පෙනෙනවා.
දැන් එතකොට ඓතිහාසික නවකතාව කියන්නේ මොකක් ද?
“ඓතිහාසික නවකතාව” යනු, කිසියම් නවකතා විශේෂයක් පිළිබඳව කරනු ලබන හැඳින්වීමක් මිස, නවකතාවක අභ්‍යන්තර ස්වරූපය සලකා දිය හැකි නිර්වචනයක් නෙමෙයි. එහෙත් බාහිර ස්වරූපය විසින් “ඓතිහාසික” යයි හඳුන්වනු ලබන නවකතා විශේෂයක් සිංහල සාහිත්‍යයෙහි මෙන් ලෝක සාහිත්‍යයෙහිද තියෙනවා.
කිසියම් නවකතාවක්, “ඓතිහාසික” නවකතාවක් වන්නේ, නැතිනම්, එසේ හැඳින්විය හැකි වන්නේ, එය සඳහා ආශ්‍රය කරගනු ලබන ඓතිහාසික පසුබිම, සිද්ධීන් හා ඓතිහාසික පුද්ගලයන් හේතුකොටගෙනයි. එහෙත් එබඳු සීමාවක් තුළ වුණත්, නිර්මාණාත්මක කුසලතා ඇති ලේඛකයකුට, මානුෂික ප්‍රශ්න සියුම් ලෙස විවරණය කර දැක්විය හැකි බව, තොල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය” යන නවකතාවෙනුත්, විලියම් ශේක්ස්පියර්ගේ “ජුලියස් සීසර්” “හතරවැනි හෙන්රි” වැනි නාට්‍යයන්ගෙනුත් මොනවට පළ වෙනවා.
කෙසේ වෙතත්, මෑත යුගයේදී, “ඓතිහාසික නවකතාව” බොහෝ සාහිත්‍ය විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක් වුණා. ඓතිහාසික තථ්‍යභාවයත් සාහිත්යික තථ්‍යභාවයත් එකක් නොව, දෙකක්. මෙසේ සැලකූ බොහෝ විචාරකයෝ, ඓතිහාසික නවකතාවක් තුළ, මනුෂ්‍යත්වය විවරණය කොට දැක්විය නොහැකියයි ද සමකාලීන මානුෂික ප්‍රශ්න සාකච්ඡා කළ නොහැකියයිද තර්ක කරන්නට වුණා. එහෙයින්, ඓතිහාසික නවකතාව යනු, පරස්පර විරෝධී යෙදුමක් බවයි ඔවුන්ගේ මූලික තර්කය වුණේ.
මෙම විචාරකයන්ගේ මතයේ හැටියට කිසියම් නිර්මාණයක් ඓතිහාසික කෘතියක් වන අතර, සාහිත්‍ය කෘතියක්ද විය නොහැකියි. මනඃකල්පිත හෙවත් පරිකල්පිත අංශය වන මනුෂ්‍යත්වයේ යථා ස්වරූපයත්, ඉතිහාසයේ තථ්‍යභාවයත් නිර්මාණය දැක්වීම, අසීරු කාරියකැයි ඔවුන් තර්ක කළා.
“ඓතිහාසික නවකතාකාරයා” ඉදිරියේ අවශ්‍යයෙන් ම පැන නඟින දුෂ්කරතා කිහිපයක්ම තිබෙනවා. ඔහුට සිදු වන්නේ, තමා ප්‍රත්‍යක්ෂයෙන් නොදුටු ලෝකයක් - කාල පරිච්ඡේදයක් - සමාජයක් - නිර්මාණය කිරීම. එම නිර්මාණය යථාර්ථවත් ලෙස කිරීමට ඔහු සමත් වන්නේ ද? ඓතිහාසික නවකතාකාරයා, සමකාලීන ප්‍රශ්න - මානුෂික හා සමාජ ප්‍රශ්න - විෂයය කරගත හැක්කේ ද? මිනිස් සිතෙහි අභ්‍යන්තර ලක්ෂණවලට වඩා, බාහිර සිදුවීම් පෙළක් කෙරෙහි සිය අවධානය යොමු කිරීමට ඔහුට සිදු වෙනවා නොවේද? එපමණක් නොවෙයි. එසේ කිරීමට ඔහු පෙළඹී යාමද ස්වභාවිකයි.
එබඳු තත්වයක් යටතේ “ඓතිහාසික නවකතාව” ගොඩනැඟිය යුතු වන්නේ, සීමිත පසුබිමක් හා සීමිත සමාජ පරිසරයක් මත, එහෙයින් සර්වසම්පූර්ණ වූ විශිෂ්ට “ඓතිහාසික නවකතාවක්” කිරීම, අතිශයින්ම දුෂ්කර කාර්යයක් මෙන්ම ආශ්චර්යවත් කාර්යයක් ද වන බව අමුතුවෙන් කිය යුතු නැහැ.
කෙසේ වෙතත්, ලෝක සාහිත්‍යයට එක් වූ, “ඓතිහාසික පසුබිමක් මත” ගොඩනඟන ලද අපූර්ව සාහිත්‍ය නිර්මාණ කිහිපයක් තිබෙනවා. මේවා අතර ශ්‍රේෂ්ඨතම නවකතා කිහිපයකුත්, දෘශ්‍ය කාව්‍ය කිහිපයකුත් සඳහන් කළ යුතුයි. ශේක්ස්පියර්ගේ “හතරවැනි හෙන්රි”, “ජුලියස් සීසර්”, “ඇන්ටනි ඇන්ඩ් ක්ලියෝපැට්රා” වැනි නාට්‍යත්, ලියෝ තොල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය” චාර්ල්ස් ඩිකන්ස්ගේ “නගරද්වයේ කතාව” වැනි නවකතාත්, විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ. ඒ කෘතීන්වල, ඒවායේ ඓතිහාසික පසුබිමට වඩා, එම පසුබිම මැඩගෙන සිටින මනුෂ්‍යත්වයේ සංකීර්ණ අභ්‍යන්තර ලක්ෂණත්, එහි යථා ස්වභාවයත් මැනවින් විවරණය වනවා.
මනුෂ්‍යත්වය හඳුනන “ඓතිහාසික නවකතාකාරයා” සිය කෘතිය සඳහ වහල් කරගන්නේ, ඉතිහාසය විසින් ඉතිරි කරන ලද සුන්බුන් නොව, ඓතිහාසික පසුතලයෙන් හිස නඟා සිටින අපූර්ව වූ මනුෂ්‍යත්වයයි. එහෙයින් එබඳු නවකතාකාරයකු විසින් නිර්මාණය කරනු ලබන චරිත, අසමාන පෞරුෂයකින් යුක්ත වෙනවා. ඔවුන් කාලය ඉක්මවා නැඟී සිටීමටද සමත් වෙනවා. එබඳු චරිත මගින් පමණයි ඓතිහාසික පසුතලයකින් හිස නගා සිටින මනුෂ්‍යත්වය විනිවිද දැකිය හැකි වන්නේ. එබඳු කෘතියක් තුළ සනාතන අගයක් ගැබ් වනවා.
ඉතිහාසය කියන්නේ, සිදු වූ දෙයක්, නවකතාව කියන්නේ, සිදු විය හැකි දෙයක්. ඉතිහාසය යනු සිදු වූ දෙයක් පිළිබඳ වාර්තා කථනයක්. නවකතාව යනු සිදු විය හැකි දෙයක් පිළිබඳ නිර්මාණාත්මක කථනයක්. සිදු වූ දෙයට වඩා සිදු විය හැකි දෙයෙහි සනාතන වටිනාකමක් තියෙනවා. මෙම පිළිගැනීම, ඓතිහාසික නවකතාව විමසීමට උචිත වන සාධාරණ මිනුමක් නොවෙයි ද?
මහින් චන්ද්‍රසේකරගේ “වාපී” නවකතාව ගැන කතා කරද්දී, කිව යුතු මූලික කාරණයත් එයයි. ඔහු ඉතිහාසයේ සුන්බුන්වලින් සොයාගන්න මහසෙන්ගේ ඇට සැකිල්ලත් ලෙයින් මසින් පුරවලා එයට ප්‍රාණයකුත් දෙනවා. එපමණක් නොවෙයි. එයට විමංසනශීලී බුද්ධියකුත්, මානුෂික ප්‍රශ්න ඉදිරියේ ප්‍රතික්‍රියා දක්වන හදවතකුත් දෙනවා.
වාපි කියන්නේ, නවකතාවක් මිසක්, ඉතිහාස කතාවක් නෙමෙයි. අනිත් අතට, ඉතිහාසයෙන් චරිත තෝරගත්තත් නැතත්, හැම නවකතාවක්ම එක ආකාරයට ඉතිහාස කතාවක් බවයි. ග්‍රැහැම් හෆ් නැමැති සුප්‍රකට විචාරකයා කියන්නේ.
ග්‍රැහැම් හෆ්, ස්වකීය An Essay on Criticism නැමැති සුප්‍රකට ග්‍රන්ථයේ The Novel and History යන හිසින් එය දාහත්වැනි පරිච්ඡේදයේ සඳහන් කරන කරුණු කිහිපයක්ම, මෙතැනට අදාළ වෙතැයි සිතෙනවා.
“සියලුම නවකතා ඓතිහාසික නවකතා යයිද, නවකතාවක විශේෂ ගුණයෙහි එක් කොටසක් වනුයේ, එය සමාජ යථාර්ථයේ වාර්තාවකැයි ද කියන අදහසෙහි තේරුමක් ඇත.”
ඓතිහාසික නවකතාවත්, නවකතාවේ ඓතිහාසිකත්වයත් පිළිබඳ දුර්මත නිරාකරණය කරන ග්‍රැහැම් හෆ්ගේ විචක්ෂණ විග්‍රහය, මහින්ද චන්ද්‍රසේකරගේ “වාපී ” නවකතාවටත් අදාළ වෙනවා.
මහින්දගේ “වාපී ” නවකතාවේ භාෂාව ගැන මම විශේෂයෙන් කියන්න ඕනෑ. මේ වගේ මධුර මනෝහර ගද්‍ය ශෛලියකින් ලියපු නවකතාවක් මෑත කාලයේ මට කියවන්න ලැබිල නෑ. මේ ශෛලිය තුළ ඉන්නේ කවියෙකුත්, ගීත රචකයෙකුත්. මහින්දට එකෙන් මිදෙන්න බැහැ. පුලුවන් හැම තැනම මෙහි භාෂාව කාව්‍යමය ගුණයෙන් පෝෂණය කරන්න ඔහු උත්සාහ කරල තියෙනවා.
මහින්ද භාෂාවට කාව්‍යාත්මක හා ගීතාත්මක ප්‍රාණයක් දෙනවා. මේ ගුණය මා හඳුනාගත්තේ අපේ ප්‍රවීණ ලේඛකයන් දෙන්නෙකුගෙන්. ඒ තමයි කේ. ජයතිලක සහ මහාචාර්ය සරච්චන්ද්‍ර. මේක විශිෂ්ට භාෂා භාවිතයක් සහිත කෘතියක්.
මහින්ද ලියන්නේ මහසෙන් ජීවත් වුණු ඈත අතීතයට අදාළ කතාවක්. මේ අවදිය චිත්‍රණය කරන්න ඔහු හොඳ අධ්‍යයනයක් කරල තියෙනවා. එය මේ කෘතියේ අගය දෙගුණ කරන විශේෂ කාරණයක්.
අපේ සම්භාවනීය වංසකථාව වූ මහාවංශය මහසෙන් ගැන කතා නොකරන තරම්. ජනප්‍රවාදයේ වුණත් මහසෙන් ගැන දැක්වෙන්නේ තතු ස්වල්පයක් පමණයි. ඒ නිසා පරිකල්පනය පමණටත් වඩා යොදාගන්න කතුවරයාට අවසර ලැබිල තියෙනවා.
එවන් නරපතියෙකු අල්පකොට දැක්වීම අභියෝගයට ලක් කරනු සඳහායි මහින්ද චන්ද්‍රසේකර මෙම නව ප්‍රබන්ධය කරන්නෙ. ඉතිහාසය වසන් කළ මහාසේනගේ මහා චරිතයට සාධාරණය ඉටු කරන්නේ මහින්ද. ඉතිහාස වාර්තා දුර්වල නම්, පුරාකථාත් ප්‍රමාණවත් නැත්නම් කළ හැක්කේ ස්වකීය පරිකල්පනය යොදාගනිමින් මහසෙන් චරිතය ගොඩනැගීමයි. එතනදී ඉතිහාසය සඟවාගත් මහසෙන් කතාව නවකතාවක් බවට පත් වෙනවා. ඇතැම්විට මහසෙන් පිළිබඳ සැබෑ කතාවත් මේ කතාව විය නොහැකිද කියා පාඨකයාට සිතෙන්නට බැරි නැහැ.
ඒ මහින්දගේ මහසෙන් අපේ ද මහසෙන් බවට පත්වීමේ කතාන්දරය තමයි “වාපි” නවකතාව. සැබෑ ඓතිහාසික චරිතත් කාල්පනික චරිතත් යොදාගෙන කතුවරයා නිර්මාණය කරන මෙම කතාන්තරය සැබෑ මහසෙන් වුණත් එහෙම වෙන්ට ඇතිනේද කියා අපට ගෙන හැර පානවා. ඇරිස්ටෝටල් පැවසූ පරිදි “ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්” වන්නේ එතෙන්දී කියා මට හිතෙනවා. මේ දේශනයේ අරමුණ වාපි නවකතාවට එබී බැලීම පමණයි. එය සපුරා විමසා බලන්න පාඨකයාට ඉඩ තබනවා.
(*** සටහන - ගාමිණී කන්දේපොළ)
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්