පුනරුත්පත්තිය නැතැයි කියා කියන්නට පුනරුත්පත්තියක් තිබේද? යන ප්‍රශ්නය මේ දිනවල බොහෝ දෙනා විමසති. පුනරුත්පත්තියක් තිබේද නැද්ද යන ප්‍රශ්නය ඊළඟ භවයේ පුනරුත්පත්තිය ලබන්නේ කෙබදු තැනකද? මේ ජීවිතයේදී තමා විසින් කළ යුතු වැඩ කොටසක් නිමකර ගත්තාද? ගෘහ ශීල ප්‍රතිපදාවට හෝ ප්‍රවෘජ්ජා ශීල ප්‍රතිපදාවට අනුව තමන්ගේ ජීවිතය ගත වෙනවාද? යන හැබෑ ප්‍රශ්න තමාගෙන්ම විමසා හෘදසාක්ෂියට එකඟව තමාගෙන්ම පිළිතුරු ලබා ගනු වෙනුවට ඔවුහු එසේ ප්‍රශ්න කරනු ලබති. ඔවුන්ට පුනරුත්පත්තියක් තිබේ දැයි නොවිමසා පුනරුත්පත්තියක් නැතැයි කියන්නට පුනරුත්පත්තියක් තිබේ දැයි කියා විමසන ප්‍රශ්නයේ අමුත්තක් තිබේ. එනිසාම මේ ලිපිය ලියන්නේ පුනරුත්පත්තියක් තිබේද නැද්ද, පුනර්භවයක් තිබේද නැද්ද, පුනරුත්පත්තියත්, පුනර්භවයත් දෙකම එකක් ද නැතිනම් සංකල්ප දෙකක්ද? ශාස්ත්‍රීය වහරේ පුනර්භවය නමැති වචනය සඳහන් සාමාන්‍ය ජනවහරේ පුනරුත්පත්තිය යන වචනය භාවිත කරනු ලබනවාද? යනාදී ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නොවේ. ලියන්නේ පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැතැයි කියා කියන්නට, ලියන්නට පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැතැයි කියා කියන්නට ලියන්නට හෝ වෙනත් විදිහකින් එම අදහස අඟවන්නට පුනරුත්පත්තියක් තිබේද නැද්ද කියා පැහැදිලි කරදීම සඳහාය.

බුදු සමය යනු ලෝකයේ මෙතෙක් බිහිවී ඇති අන්‍ය කිසිදු දර්ශනයකට හෝ ආගමකට හෝ සමාන කළ නොහැකි අසම දහමකි. පිටට මතුවට පෙනෙයි. නමුත් හදාරන්න හදාරන්න එහි පවතින ගැඹුර ද අසාමාන්‍යයි. බුද්ධ දේශනාව වන්නේද බුදු දහම හදාරන්න හදාරන්න එහි ප්‍රභාව පුද්ගලයාට දැනෙන බවය. ධර්මය නොකියවන ඒ අනුව ජීවිත දියුණුව නොදකින කෙනෙකුට ධර්මයේ ප්‍රභාව දැකගත නොහැකිය. එබදු අය තථාගත ශ්‍රී සද්ධර්මයේ සුළගවත් නොවැදුණු අය ලෙස දැක්විය හැකිය.
අනන්තා පරිමාණ වූ ගම්භීර චින්තනයකින් පිරි බුදු සමය මේ ලිපියෙ හි පහසුව සඳහා මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වීමට හැකිය. එනම්,
1. බුදු සමයේ දාර්ශනික අංශය
2. බුදු සමයේ ආගමික අංශය යනුවෙන්ය.
බුදු සමයේ ආගමික අංශය වර්ධනය වෙන්නේ සිංහල සංස්කෘතියද සමග බද්ධ වීමෙන්ය. එසේම ආගමික අංශය පූජා චාරිත්‍ර හා ආගමික වතාවත් හා යාතු කර්ම හා මානසික සහනය සඳහා වෙන්වෙයි. අපේ රටේ බුදු දහම දන්නවා යැයි කියන බොහෝ උගත් නූගත් අය දන්නවා යැයි කියන්නේ ඔය කියන ආගමික අංශයේ තමන්ට දැනෙන සහ තේරුම් යන කොටස් ගැනය. ඒවා පිළිබඳ විවිධ දැනුම් මට්ටම්වල අය යම් යම් අවස්ථාවල තම අදහස පළකරනු ලැබුවත් බුදු දහමේ, ආගමික අංශයවත් ශ්‍රී ලාංකීය ජන සමාජයට සාපේක්‍ෂව පරිපූර්ණ වශයෙන් හදාල කෙනෙකු සොයා ගැනීමද එතරම් පහසු නොවේ.

දාර්ශනික අංශය අතිශයින්ම වෙනස් වූ වෙනත් ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. ආගමික අංශයේ වතාවත් කෙනෙකුට දෘෂ්‍යමාන වුවත් දාර්ශනික ඉගැන්වීම් එසේ එකවර දැකිය නොහැකිය. ඒවා අවබෝධ කරගත යුත්තේ ධර්මයේ උගන්වනු ලබන න්‍යාය හැදෑරීමෙන් සහ භාවිත සමාජය තුළ එකී සංකල්ප අධ්‍යයනය කිරීමෙන්ය. දහමෙහි උගන්වන දාර්ශනික සංකල්ප ගැන වැටහීමක් ලබා ගැනීමට කෙනෙකුට ඤාණයද (ඤාණං උදපාදි), ප්‍රඥාවද (පඤ්ඤා උදපාදි) දෙකම අත්‍යවශ්‍යය. ඤාණය පමණක් පවතින කෙනෙකුට බොහෝ වෙලාවට ඇත්තේ කටපාඩම් කර විභාගයට ලියා ඉන් සමත් වූ අධ්‍යාපන සහතිකයි. අධ්‍යාපන විෂයන් සමත් වූ පමණින් කෙනෙකු ඤාණ (දැනුම) වන්තයකු බවට පත්වුවද ඔවුහු ප්‍රඥාවතුන් නොවෙති. ප්‍රඥාව නැති ඤාණවන්තයෝ ලෝකයේ පමණක් නොව ශ්‍රී ලාංකික සමාජයේ ද සිටිති. එබඳු අය අපේ සිංහල සමාජයේ හඳුන්වනු ලබන්නේ උගත් මෝඩයෝය කියාය. ඤාණය ද ප්‍රඥාව ද සහිත ඇත්තෝද වෙති. හැම ප්‍රඥාවන්තයෙක්ම උගතෙකු නොවුණත් ප්‍රඥාව ජීවිතය හා ආගම අවබෝධ කර ගැනීමට අවශ්‍යය. උගත්කම අවශ්‍ය වෙන්නේ ජීවත්වීම සඳහා හෝ ආගම අවබෝධකර ගැනීම සඳහා නොව රැකියාවක් ලබා ගැනීම සඳහායි.
පුනර්භවය යන සංකල්පය බුදු සමයේ උගන්වනු ලබන දාර්ශනික සංකල්පවලට එක්වෙයි. එය එකවර දැකිය නොහැකිය. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍ය වෙයි. පුනර්භවය තමන් පිළිගන්නේ නැතැයි ඒබ්‍රහම් ටී කොවුර් කීවේය. ඔහු එසේ කීවේ පුනර්භවය සහිත බෞද්ධ ඉගැන්වීම් කියවා අවබෝධ කරගෙන නොව ඒවාට අතගහන්නේ ද නැතිවය. කොවුර් අධ්‍යයනය කරන විට පෙනෙන ප්‍රධාන කාරණය වෙන්නේ හෝ ජන්ම ආගමවත් බුද්ධාගමවත් නියම ආකාරයෙන් හදාරා නැති බවය. කිසියම් ආගමක් හෝ දර්ශනයක් එහි මූලික ඉගැන්වීම්වත් නොදැන එය හරි හෝ වැැර යැයි කියා තර්ක ඉදිරිපත් කිරීම නිවැරදි ක්‍රමය නොවේ. නිවැරදි ක්‍රමය වෙන්නේ කිසියම් විෂයක් හදාරා ඒ පිළිබඳ අදහස් පළ කිරීමය. දාර්ශනික අතින් කොවුර්ට ද වැරදුනේ එතැනය. සාමාජික අතින් ඔහු කිසියම් සේවයක් ද කළේය.
කොවුර් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිටය. කේරළ ප්‍රාන්තයෙන් ශ්‍රී ලංකාවට කොවුර්ට අමතරව පැමිණියේ කේරළ ගංජාය. ඒවා බී මත්වූවෝද මත් ගතිය වැඩිකමට නැවත උපතක් නැතැයි කියති. කොවුර්ගේ අදහස ඇතුළත් පොතක පිටුවක් පමණක් කියවපු අයද කොවුර්ගෙන් මත්වී පුනරුත්පත්තියක් නැතැයි කියති. එපමණවත් හැදෑරීමක් නැති ඇතැම් අය තම මෝඩකම (මොවුහත්ථ), මන්දභාවය (මන්දත්තා) ප්‍රදර්ශනය කරමින් පුනරුත්පත්තියක් නැතැයි කියති. කෙනෙක් ඊට වඩා පහතට වැටෙමින් වෙනත් වෙනත් දෑ බලාපොරොත්තුවෙන් පුනරුත්පත්තියක් නැතැයි කියති.
කෙනෙක් අදහස් පළකිරීම තවත් අංශයකින් බැලුවහොත් ඔහු අදහස් පළකරනවා යයි කියා කරනු ලබන්නේ සිය මනස එළියට දැමීමයි. මිනිසා කතා කරනු ලබන්නේ ඔහු සිතන විදිහටයි. කෙනෙකු සිතන්නේ ඔහුට සාපේක්‍ෂ ප්‍රඥාවට හෝ මෝඩකමට අනුවයි. කෙනෙකුට අදහස් පහළ වෙන්නේ ඔහු සිතන ආකාරය අනුවයි. තමාට මවක් නැතැයි කියා සිතන්නට ගිය හොත් ඔහුගේ මනසට අදහස් එන්නේ තමන්ට මවක් නැතැයි කියාය. එනිසාම ඔහු ඇතැම් විටක මවගේ ඩී.එන්.ඒ. පරීක්‍ෂා කිරීමටද පෙළඹිය හැකිය. තම පියා පිළිබඳව කර්මය පුනරුත්පත්තිය ආදී කරුණු කාරණා පිළිබඳව එසේය.
කෙනෙකුගේ මනසෙහි ඇති දැඩි පීඩනකාරී ස්වභාවය, යහපත සහ අයහපත කෙරෙහි මිනිසා යෙදවීමට පෙළඹවීම් කරයි. හැදෑරීමෙන් තොරව යම් යම් අදහස් පළකරන්නට යාම තුළින් එකී පුද්ගලයාගේ මානසික විකෘතිභාවයද ඇතැම් විට හෙළි වෙයි. එකී අදහස සඳහා ඔහු ගොඩනගනු ලබන තර්ක ද විකෘති මානසිකත්වයෙන් ගොඩනගනු ලබන්නක් වුවද විකෘති නොවූ මානසික සහිත කෙනෙකුට ද එකවර ඇත්තක් සේ පෙනී යා හැකිය.
පුනරුත්පත්තියක් නැතැයි කියා ද අකිරියවාදීව අදහස් පළ කළ ඇතැම් චින්තකයන් පිළිබඳව තොරතුරු බෞද්ධ දර්ශන ඉතිහාසයේ හමුවෙයි. අකිරියවාදී අදහස් කිසිදු බුද්ධිමත් සමාජයක පිළිනොගනු ලබන්නේ වුවත් පුනරුත්පත්තියක් නැතැයි කීම අසත්‍ය කියමනක් බවත් එකී චින්තා අධ්‍යයනය කර බලන විට ගත හැකි කරුණු කාරණා තිබුණි. නමුත් ශ්‍රී ලාංකීය වර්තමාන සමාජය තුළ පුනරුත්පත්තියක් නැතැයි කියා කියන්නෝ මානසික විකෘතිතාවලින් පෙළෙන්නෝය. අනුවණයා සිය අනුවණභාවය නොදැන සිටීම ද බරපතළ මානසික විකෘතියකි.
සහේතුක සාධක නොමැතිව හිතු මනාප ලෙස අදහස් දැක්වීම ශාස්ත්‍රීය පරීක්‍ෂණයෙන් තොර වූවකි. අශාස්ත්‍රීය බව ප්‍රකට කරන්නකි. ප්‍රඥාවන්ත බව පමණක් නොව නූගත් බවද පළ කරන්නකි. අකුසල් ද රැස්කර ගනී. මරණින් පසු සතර අපායෙන් එකක උත්පත්තිය ලබයි. ධර්ම විරෝධී අදහස් අවබෝධයෙන් තොරව ප්‍රකාශ කිරීම ප්‍රේත අපායේ උත්පත්තිය ලැබීමට හේතුවක් වෙයි.
එක්තරා පූජනීය ස්ථානයකදී පුනරුත්පත්තියක් නැතැයි කියන පුද්ගලයකු මට හමුවිය. ඔහු එකවර මා වෙත පැමිණ මා අමතා කීවේ පුනරුත්පත්තියක් නොමැතිය යන්නයි. පුනරුත්පත්තියක් තිබේ යැයි මා ඔබට කීවාදැයි ඇසූ විට ඔහු නිශ්ශබ්ද විය. ඔබ ප්‍රකාශ කරන්නේ බෞද්ධ සූත්‍ර ධර්මවල පුනරුත්පත්තිය හෙවත් පුනර්භවය පිළිබඳ කරුණු දක්වා නැති බවද, ඔබ ඒවා කියවා තිබේද? නැද්ද කියා ඇසූ විට ඔහු කීවේ ඒ පොතපත කියවීම අවශ්‍ය නැති බවය. ඔබ ප්‍රකාශ කරන්නේ දහමේ අදහසද ලෝකයේ සිද්ධවන සත්‍යයද? ඔබේ අදහස දැයි විමසූ විට ඔහුට පිළිතුරු නොදී සිටීමට නොහැකි බව වැටහිණ.
ඔහු කීවේ තමා ප්‍රකාශ කරනු ලබන්නේ තමාගේ අදහස බවයි. මාධ්‍ය නිදහස ඕනෑවටත් වඩා තිබෙන මේ රටේ ඕනෑ අනුවණයෙකුට තමා දරන අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. නමුත් අනුවණයා අදහස් පළකරනු ලබන්නේ තමා දන්නවා යයි කියා පෑම සඳහාය. එය අමා සිටින නුවණැත්තා තේරුම් ගන්නේ ඔහුගේ අනුවණභාවයේ තරම කොතරම් ද කියාය.
ඔබට තාත්තා කෙනෙක් සිටී දැයි මා විමසුවෙමි. එම ප්‍රශ්නයේදී එයට පිළිතුරු නොදුන් ඔහු වෙනත් කතාවකට මුල පිරීය.
ඔබට අම්මා කෙනෙක් සිටී දැයි මුලින් විමසිය යුතු ප්‍රශ්නය නොවිමසා ඔබට තාත්තා කෙනෙක් සිටීද යන ප්‍රශ්නය විමසීම ගැන ඔබ සිතන්නේ කුමක්දැයි විමසූ විට ඔහු එයටද පිළිතුරු දුන්නේ නැත. මාද පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අසන්නට ගියේ නැත.
එක්තරා පුද්ගලයෙක් සිටියේය. හේ නමින් කෝරක්ඛත්තිය නම් විය. භවය පුරා යන සංසාර ගමනක් නොමැති බව හේ කීවේය. සත්වයා භවය පුරා යනවාය හෝ නොයනවාය යනුවෙන් ප්‍රකාශ කිරීමට බුදු දහම උගන්වන ආකාරයට පුබ්බේනිවාසානුස්සති ඥානය හෝ චුතූපපාත ඤාණය තිබිය යුතුය. එම ඥානය නැති කිසිවකුටත් එසේ ප්‍රකාශ කළ නොහැකිය. එබඳු ඥාන නැතිව යමෙක් ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්නේනම් ඔහු
● මානසික විකෘතිභාවයෙන් පෙළෙන්නේය
● තමන්ගේ අනුවණ බව ප්‍රදර්ශනය කරන්නේය
● ප්‍රසිද්ධිය අපේක්‍ෂා කරන්නේය
● තම දැනුමෙහි තිබිය යුතුම කොටසක් නොමැති බව නොදන්නේය
● කිසියම් සමාජ පීඩනයකින් පෙළෙන්නේය (කුල, ගෝත්‍ර ආදී එකක්ද විය හැකිය.) ආදී කරුණුවලින් එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැකිය.
ආගමික පොතපතේ ආ පමණින් යමක් නොපිළිගන්න යයි කියන කියමන තුළ ඇත්තේ ඒවා ප්‍රතික්‍ෂේප කරන්න යැයි කියන අදහසක් නොවේ. ඒ තුළ ඇත්තේ ඉගෙනුම් අත්දැකීම් තුළින් දැනුම ජීවිතයට එකතු කර ගත යුතුය යන අදහසයි. දැනුම නොමැති ඥාන සීමා ඉක්මවා අදහස් පළකරන්නට යාම කෙනෙකුගේ අනුවණභාවය පළකිරීමක්ය. එකම අදහසක එල්ලී සිටීමය. එල්ලී සිටින වව්ලකුට ලෝකය පෙනෙන විදිහත් දෙපයින් නැගී සිටින කෙනෙකුට ලෝකය පෙනෙන විදිහත් ඒ ඒ අයට සාපේක්‍ෂව සත්‍ය අර්ථකථනය කළත් ලෝක සත්‍යය පවතින්නේ එතැන නොව ඊට වඩා ගව් ගණනක් ඈතින්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේ හරි හෝ වැරැද්ද දැනගන්න තමන්ට බුද්ධියක් තියෙන්න එපායැ. (ර)
නියම ලිපියකි. අභිධර්මය අධ්‍යයනය කරන්නේ නොමැතිව යමෙක් පුනර්භවයක් නැත කියනවා නම් ඔහු තමන්ට පෙනෙන්නේ නැතුවාට ලොවේ සිටින හැමදෙනාම අන්ධයෝ යැයි සිතූ අන්ධයා වැනිය. (නි)
සල්ගාදු පැරිස්, පිරිමියෙකු හා ගැහැනියක අතර ආදර හැගීම් ඇතිවන්නේ කෙසේද, අපූරු ප්‍රශ්නයක්, හේතු පල වාදය පිළිගන්නවානම් ඔබට හෝ අපේ විද්‍යා දැනුමට හෝ ඒකට උත්තරයක් තියෙනවද (අර දෙවියන්ගේ කැමැත්ත නැත්නම් ස්වභාව ධර්මය නැත්නම් අහඹුවක් නමැති කණා බල්ලන් ගහනවා වගේ උත්තර නැතිව ) අහඹුවක් නිසා කියන්නේ මොකද්ද. හැම දේටම හේතුවක් තිබිය යුතුයි නේද...ආදරය කියන්නේ කරුණාව දුක ඊර්ශ්‍යාව,ආශාව වගේම චෛතසිකයක්. එනම් ශක්ති ස්වරූපයක් .රූපමය ශක්තීන් හා අරූපමය ශක්තීන් ලෙස කොටස් දෙකක් තියෙනවා. චෛතසික යනු අරූපමය ශක්ති ස්වරූපයක්.එම ශක්තීන හා ක්‍රියා (කර්ම) අතර සම්බන්ධය තේරුම් ගන්න ඉස්සරවෙලා අභිධර්මය කියවල තේරුම් ගන්න ,දෙවනුව ඒ පිළිබද තර්ක කරමු. අභිධර්මය තර්කානුකූලව වැරදිය කියල කියන්න උගතෙක් තාම බිහිවෙලා මේ විශ්වයේ බිහිවෙලා නැහැ. (බ)
සල්ගාදු පැරිස් , ඔබ අහබුවක් කියා අදහස් කරන්නේ "සම්භාවිතාවක් ඇත" යන්න වෙන්න ඕනේ. ගහට ගහක් මොරටුවේදී මුණ ගැහීමට සම්භාවිතාවක් තියෙනවා. ඒත් හැගීම් කොහොමද සම්භාවිතාව නිසා සිදුවන්නේ. සල්ගාදු, ඔබ වැනි අදහස් තිබෙන බොහෝ දෙනෙකු (විශේෂයෙන් ඔය උගත් යයි හිතාගෙන සිටින පණ්ඩිතයන්) අහන ප්‍රශ්න වලට වඩා බොහෝ ගැබුරු ධර්ම කාරණා ගැන මිලිදු රජ්ජුරුවෝ මීට අවුරුදු 2000කටත් පෙර නාගසේන මහා රහතන් වහන්සේ සමග වාද කළා.මන් හිතන්නේ අපි ඔක්ක්කොම නාගසේන මහා රහතන් වහන්සේ උපමා සහිතව කර පැහැදිලි කිරීම් කියවන්න ඕනේ. (බ)
පුනරුත්පත්තිය සහ පුනර්භවය යනු වචන දෙකකි. එකම ක්‍රියාවක් ඉන් අදහස් කෙරේ. පුනරුත්පත්තිය, පුනර්භවය වෙනුවට යොදාගත් සැහැල්ලු වචනයක් බව මගේ අර්ථකතනයයි. (නි)
ලිපිය පුරාම ඇත්තේ පුනරුත්පත්තිය විශ්වාස නොකරන්නා අනුවනයෙකිය යන්න පුන පුනා පැවසීමට විනා පුනරුත්පත්තිය සත්‍යයකැයි යන්න විස්තර කිරීමට නො වේ. කොවුර්ට අමතරව කේරලයෙන් පැමිණියේ ගංජා යැයි පැවසීමද කොවුර්ට අපහාසයට යොදන ලද්දකි. මෙම ලිපියේ හරවත් යමක් ඇත්තේ නැති බව මගේ මතයයි. (බ)
සිතීම සෑම මිනිසෙකුටම සමාන නොවෙන බව විශ්ව සත්ථයකි.සෑම මිනිසෙකුම එකිය වන බැවින් සිතන විදිහ සමාන නොවේ. නමුත් විශ්ව සත්‍යන් කිසිවකුට වෙනස කළ නොහැක .ඒවා වචන වලින් සහ අදහස් වලින් වෙනස් කිරීමට යන්නා සාමන්‍ය කැපිල පෙනෙන පුද්ගලයකු වෙන එක මේ සමාජයේ සාමන්‍ය තත්වයකි .පොදු මිනිසා තුල ඇත්තේ පුනුරුප්පත්තිය යනු ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාවලියක් යන්නයි .(බ)
පුනරුප්පත්තියක් නැත යනුවෙන් ප්‍රකාශ කරන අය ඒ බව ඔප්පුකරල නෑ. ඒ අය කියන්නේ පුනරුප්පත්තියක් තියනවා කියලා ඔප්පුකරලා පෙනන්න කියලා අනෙක් අයට කියන එක. එතනම තියන්නේ විතර්කයක්. හැබැයි පුනරුප්පත්තියක් තියනවා කියලා විස්වාස කරන්න සමහර සාදක තියනවා. බටහිර වෛද්‍ය වරුන් පවා මෝහනය මගින් පෙර ආත්ම වලට ලෙඩුන් රැගෙන ගොස් ලෙඩ සුවකරපු අවස්ථා තියනවා. ඕන තරම් එවැනි සාදක තියනවා. ඒවා කියවලා බලා තීරණයක් ගන්න. (ර)
පුනර්භවය නැතියි කියන,මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් මම මේ ප්‍රශ්න වලට පැහැදිලි කිරීම් බලාපොරොත්තුවෙමි .හැබැයි බැරිනම් "එක ස්වාභාධමය" කියල අර "එක දෙවියන්ගේ කැමැත්ත" කියන්නාක් මෙන් බේරෙන්නත් පුළුවන්. 1.ඉපදුන ගමන් දරුවෙකු කිරි උරා බීමට දැන ගත්තේ කෙසේද. 2.ඉපදුන ගමන් දරුවෙකු තොල් දෙක තන පුඩුවේ තබා උරණ විට කිරි එන බව දැන් ගත්තේ කෙසේද. 3.ඉපදුන ගමන් වසු පැටවකු නැගිටින්න ඉගෙන ගත්තේ කෙසේද 4.එහෙම නැගිට ගොස් කිරි උරා බොන්න ඉගෙන ගත්තේ කොහොමද. 5.කුරුල්ලන් බිත්තර රැකීමට දැනගත්තේ කෙසේද (බ)
කුමාර, ඉස්සර වෙලා අභිධර්මය කියවන්න , ඊට පස්සේඑක වැරදි නම් තර්කකරන්න. (අ)
වැදගත් ලිපියක්.(හේ)
ඕනෙම අයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබේ. ඒ අනුව පුනරුප්පත්තියක් නැත යනුවෙන් ප්‍රකාශ කරන අය මෝඩයන් ලෙස නින්දා කිරීම බුද්ධිමතෙකු තුලින් බලාපොරොත්තුවන කරුණක් නොවේ. කළ යුත්තේ පුනරුප්පත්තියක් නැත යනුවෙන් අදහස් ප්‍රකාශ කරන අයට පුනරුප්පත්තියක් ඇත යනුවෙන් ඔප්පු කර පෙන්වීමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මමද බෞද්ධයෙක්මි. මටද පුනරුප්පත්තිය පිළිබද ගැටළුවක් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ලෝක ජනගහනය අතිශයින් වැඩි වී ඇත . මෙසේ වැඩි වීමට පුනරුප්පත්තිය බලපාන්නේ කෙසේද යන්න පුනරුප්පත්තියක් ඇත යන්න ඔප්පු කර පෙන්වීමෙන් මේ පිළිබද වැරදී මත දරන අය නිවැරදි මගට ගත හැක. (බ)
චන්දි, මිනිහෙකු සහ ගැහැණියක අතර ආදර හැඟීම් ඇතිවන්නේ කෙසේද අහලා බලන්න. පුනරුප්පතිය නිසාද? අනිවාර්යයක් නිසාද? අහඹුවක් නිසාද? (නි)
මා දන්නා සහ ඉගෙනගත් පරිදි, සියලුම ජීවින් සහ අජීවින් හට පුනරුප්පත්තියක් තිබේ. එය සෑමවිටම එකිනෙකට වෙනස් වනවා. උදාහරණයක් සැටියට මනුෂ්‍යයකු මියගියාම වළ දැම්මොත්, මිනිස් සිරුරේ දියර වලින් යම් යම් ගස් පැළෑටි වලට එය ගොස් එතන පුනරුප්පතියක් වෙනස් අකාරයකට වෙනවා. ඇට කටු දිරාගොස් පොහොර වී වෙනත් ක්‍රියාකාරකම් වලින් වෙනස් ආකාරයක දෙයක් ඇතිවී එතනත් පුනරුප්පතියක් වෙනවා. ලෝකයේ සියලුම දේවල් මේ න්‍යායට අයිතිය (නි)
කොචාහිල්, ඔබ නියම උත්තරය කෙටියෙන්ම කීවා. "පණුවන්ට අනුව ශබ්දද ගෙම්බන්ට අනුව රසයද අඥානයනට අනුව පරලොවද පවතින දේ නොවේ" (ර)
මම බැලුවේ මේකේ ප්‍රතිචාර දමන අපේ ලාංකිකයෝ එකිනෙකා පරදවා තමා උගත් කියා පෙන්වීමට ලොකු වචන, ලොකු දාර්ශනික අදහස්, අනෙකා ලියු දෙයට වැරදි කියා තමා හරිය කියා පෙන්වීම කරන හැටි. මේක අපේ සිහලුන්ගේ හැටි. එහෙත් තවම ආගම් වැරදියි කියා විද්වතුන් කියා නැහැ. අද විද්‍යාව කියන එක හෙට අවිද්‍යාව බව ඔවුන්ම කියනවා (නි)
මෙහි පුනරුත්පත්තිය පිලිබදදව කිසිදු තර්කානුකුල අදහසක් පවසා නැත. ඔහේ යන්නම් වාලේ ගොස් ඇත. පුනරුත්පත්තියක් ඇත්නම් එය ඔප්පු කල යුතුයි . බොරුවට වටින් ගොඩින් ශේප් වෙන්නේ නැතුව. (ර)
කැති දෙයක් ඹප්පු කරන්නේ කොහොමද? (හේ)
සහන , තුසිත . අත එසවෙන බව ඔබ දනිතත් එසේ අත එසවෙන ක්‍රියාවලිය ඔබ ( අපේ දැනුම) හරියටම දන්නේ නැහැ.එහෙම දන්නේ නැහැ කියල අත එසවෙන්නේ නැතිව තියෙන්නේ නැහැ. ඔබට අත එසවෙන ක්‍රියාවලිය ඔප්පු කරන්න බැහැ.එහෙත් ඔබේ විඥානයට අනුව අත එසවෙනවා.,. මෑත තියෙන අත එසවෙන ක්‍රියාවලිය දන්නේ නැත්නම් ඈත තියෙන පුනර්භවයක් ගැන කුමන කතාද. විචාරයෙන් තොරව පිළිගැනීමත් විචාරයෙන් තොරව ප්‍රතික්ෂේප කිරීමත් එක වගේම අඥාන කමක්.එක කරන්න බුද්ධියක් ඕනේ නැහැනේ. අපට පුලුවන්නම් අභිධර්මය තරමක් හෝ තේරුම් ගන්න එතනින් පුළුවන් වේවි සත්වයාගේ සිත් පරම්පරාව (ක්‍රියාවලිය) හා සංසාර ගමන් ගැන තරමක් අවබෝධයක් ගන්න.(අ)
තුසිත ,අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙතන කවුරුත් පිළිගන්නවා. එහෙත් ඒ හැම කෙනාම නිවැරදි වෙන්නේ නැහැනේ. සාපේක්ෂ ලෙස ගත් කල මෝඩයන් ඉන්නවා,ප්‍රඥාවතයින් ඉන්නවා,ඒක තමයි යථාර්ථය සහ බුදු දහම. මෝහය නිසානේ ලොව ඇති තතු ඒ ලෙස තේරුම් ගන්න බැරි. එකට පෙර කල ත්‍රිහේතුක කුසලයකින් උප්පත්තිය ලබන්න ඕනේ කියල මන් අහල තියෙනවා.කෙසේ නමුත් "චන්දි" අහන ප්‍රශ්න වලට උත්තර කාට හරි තියෙනවද "සහන" ? (බ)
තුසිත, මේ විශ්වයේ පුනර්බව ධර්මතාවයට යටත්, ඇසට පෙනෙන නොපෙනෙන තව බොහෝ සත්වයන් කොට්ටාශයන් සිටිනවා. ඔවුන් තම කර්ම පල අනුව කලින් කල මිනිස් ලොව ඉපදෙනවා. කෑලි කෑලි තැනින් තැනින් ධර්මය තේරුම් ගන්න උත්සහ නොකර මුල සිට අගට අභිධර්මය කියවා තේරුම් ගන්න පුලුවන්නම් පුනර්භවයේ තාර්කික බව පිළිගන්න පුළුවන් වෙයි.අපි හුගක් අය එහෙම අවබෝධයක් නැතිව නිගමන වලට එනවා. ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි. (බ)
ගමගේ, තමා හරියි කියල හිතන් දේ තමයි කව්රුත් ලියන්නේ, ඔයත් ඇතුළුව . එහෙත් තමා දකින ඇත්ත කියල හිතන් දේ කියන්න කාටත් අයිතියක් තියෙනවා. හැබැයි එක නිවැරදි දේ නොවෙයි වෙන්න පුළුවන්. එක එක මත අතරින් හරි දේ ලබාගන්න. (ර)
ගමගේ, ආගම් හා නූතන විද්‍යාව කාරණා දෙකක්. (ර)
පුනරුත්පත්තිය සහ පුනර්භවය යන දෙකේ වෙනස හඳුනාගැනීම වටිනවා. පුනරුත්පත්තිය සහ පුනර්භවය කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් කතන්දර දෙකක්. මේ දෙක පටළවාගන්න එපා. (නි)
හොඳ ලිපියක්.(හේ)
පුනරුප්පත්තිය සහ පුනර්භවය යනු එකක්ද? මේ ලිපියේ ඒ දෙකම එකක් ලෙසයි දක්වා තිබෙන්නේ. මා කියවා ඇති පරිදි බුද්ධ ධර්මය පුනරුප්පත්තිය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට බුද්ධ ධර්මයේ සඳහන් වන්නෙ පුනර්භවය පිළිබඳවයි. මා ද පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරනවා. හේතුව නම් පුනරුප්පත්තියක් ඇතැයි කීම යනු, ආත්මයක්, මනෝ කායක් සහ අන්තර් භවයක් ඇතැයි කීමයි. නමුත් බුදුදහමට අනුව සියලු සංස්කාරයන් අනාත්ම නොවේද? එසේ නම් කෙසේද පුනරුප්පත්තියක් ඇතැයි කියා විශ්වාස කරන්නේ? නමුත් මා පුනර්භවය විශ්වාස කරනවා. එනම් හේතුඵල සම්බන්ධතා අනුව සංස්කාරයන්ගේ සත්‍ය හැසිරීමයි.
ස්වාමීන් වහන්ස පුනරුතත්පත්තිය තියෙන බවට ඇති සාක්ෂි මොනවාද ? Dr.lan stevenson තම Reincarnation පොතෙන් සිද්ධි ප්‍රකාශ කළාට ප්‍රායෝගිකව ඔප්පු වෙලා නෑ නේද ..?